Print this Article


අපේ ඥාතීන්ට කුමක් වේද?

අපේ ඥාතීන්ට කුමක් වේද?

‘ඥාති’ යන වචනයට විවිධ වූ අර්ථ ඇත. ‘ඥාතීන්’ වශයෙන් සැලකෙන විශාල පිරිසක්, පුද්ගලයා වටා සිටී. ඒ අය අතර මව, පියා, දුව, පුතා, අයියා, අක්කා, නංගි, මල්ලී, සහෝදර සහෝදරියන්, නැන්දා, මාමා, ලේලි, බෑණා, මහප්පා, ලොකු අම්මා, පුංචි අම්මා, ආච්චි, ආතා, සීයා, ආත්තම්මා ආදී වශයෙන් පවුල් ඒකක හා සම්බන්ධ වෙන ඥාතීහු සිටිති. මෙම ඥාතීිත්වය හෙවත් සම්බන්ධය, සමාජ සම්මුතියට වඩා අධ්‍යාත්මික බන්ධනයක් වශයෙන් පෙරදිග දර්ශනවල විස්තර කෙරේ.

එනිසා බටහිර සමාජවල පවුල් ඒකකය තුළ පවතින භෞතිකමය වූ ඥාතිත්වයට වඩා අධ්‍යාත්මික වූ අධි භෞතිකමය සම්බන්ධයක් පෙරදිග පවුල්වල තිබේ. බටහිර සමාජවල ඇත්තේ ඓතිහාසික හා සම්බන්ධ වූ නීතිමය ඥාතිත්වයකි. පෙරදිග සමාජවල ඇත්තේ නීතිමය සම්බන්ධය ඉක්මවා ගිය පූජනීය වූ ඥාතිත්වයකි. බෞද්ධ කර්ම න්‍යායට අනුව සසරට සම්බන්ධ වූ ඥාතීහු ද සිටිති.

දරුවන්ට මුලින් ම හමුවෙන ඥාතීහු නම් මවුපියෝ ය. මවුපිය රැකවරණය දරුවන්ට අත්‍යවශ්‍ය ය. දරුවාගේ ආරක්ෂාව, පෝෂණය මෙන් ම අධ්‍යාත්මික ගුණ සංවර්ධනයට අදාළ වූ කරුණාව, මෛත්‍රිය, දයාව ආදියත් මවුපියන්ගෙන් දරුවන්ට ලැබිය යුතු ය. හොඳ, නරක කියාදීම, යහමගෙහි යෙදවීම, සුදුසු අධ්‍යාපනයක් ලබාදීම, සුදුසු වියේ දී ආවාහ, විවාහ කරදීම, තමා සතු සම්පත් සුදුසු සේ බෙදාදීම මවුපියන් විසින් දරුවන්ට කළ යුතු ය. දරුවන් විසින් ද මවුපියන්ට ඉටු කළ යුතු වූ යුතුකම් රාශියක් ඇත. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු ඉටුකිරීම, කුල සිරිත් ආරක්ෂා කිරීම, මවුපියන්ගේ සම්පත් ආරක්ෂා කිරීම, ඔවුන් මියගිය කල්හි පින් අනුමෝදන් කිරීම දරුවන් විසින් කළ යුතු ය. මේවා කළ යුතු යුතුකම් වශයෙන් සලකා නොවේ. පින්කම් සේ සිතමිනි. ගෞරවයෙන් හා කරුණාවෙන් කළ යුතු වූ මවුපිය උපස්ථාන වශයෙනි.

‘මහණෙනි, මව්පියන්ට බ්‍රහ්මයා යැයි ද කියනු ලැබේ. පුබ්බදේව, පුබ්බාචරිය, ආහුණෙය්‍ය යැයි කියති. එයට හේතු කුමක් ද? මහණෙනි, මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ වෙති. මවුපියෝ දරුවන් වර්ධනය කරති. පෝෂණය කරති. මේ ලෝකය දරුවන්ට හඳුන්වා දෙන්නෝ වෙති.’

මහා බ්‍රහ්මයා තුළ ඇති මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණය, මවුපියන් තුළ දරුවන් කෙරෙහි ඇත. එබැවින් මවුපියන් දරුවන්ගේ බ්‍රහ්මයා වන්නේ ය. දෙවියන්ගෙන් මෙන් ම දරුවන්ට ආරක්ෂාව ලැබෙන්නේ මවුපියන්ගෙන් ය. එනිසා මවුපියන් දරුවන්ගේ පූර්ව දේවතාවෝ වෙති. ළදරුවන්ට මුල් ම ගුරුවරයා වන්නේ මවුපියන් නිසා පුබ්බාචාරිය නමින් ද හැඳින්වේ. බොහෝ දුර සිට ගෙනවින් පිළිගන්වන ආහාරපානාදිය පිළිගැනීමට මවුපියන් සුදුසු වන නිසා ආහුණ්‍යෙ නම් වෙයි. එසේ ම දරුවන්ගේ පැවැත්මට මවුපියෝ බොහෝ උපකාර කරති. මෙසේ දරුවන් වෙනුවෙන් මවුපියන් විසින් කෙරෙන පරිත්‍යාගය නිසා දරුවෝත් මවුපියන්ට විශාල ණයකට බැඳුනාක් මෙන් බැඳී සිටිති. එම ණය ගෙවීමක් සේ නො සිතා, මවුපියන්ට කෙරෙන උපස්ථාන, මහා පින්කමක් සේ සලකා දරුවන් විසින් මවුපියන් වෙනුවෙන් කළ යුතු ය. එය ඉහළ ම ඥාති සංග්‍රහයකි. මහ පින්කමකි.

සහලේ ඥාතීහු මෙන් ම පිටස්තර පවුල්වලින් එක්වෙන පිරිස් ද ඥාතිත්වයෙන් බැඳෙති. එය අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඔවුනොවුන් අතර ඇතිවෙන සම්බන්ධයක් බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. යහපත් ලෙසින් සත්පුරුෂයන් සේ බැඳෙන අධ්‍යාත්මික ඥාතිත්වය, සියලු දෙනාගේ ම මෙලොව සහ පරලොව අභිවෘද්ධිය පිණිස හේතු වේ. සද්පුරුෂයන්ගේ ආශ්‍රය නිවන් මඟට යොමුවීමට හේතු වන බව බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වේ. සත්පුරුෂයන්ගේ දැකීමත් සත්පුරුෂ ධර්මවල දක්ෂයෙකු වීමත් සත්පුරුෂයන්ගේ ධර්මවලට අනුව ජීවත්වීමත්, අභිවෘද්ධියට හේතු වන්නේ ය. මංගල සූත්‍රයේ දී ඥාතීන්ට සංග්‍රහ කිරීම මංගල කරුණක් වශයෙන් ද, පරාභව සූත්‍රයේ දී ඥාතීන්ට උදව් නො කිරීම පිරිහීමට හේතුවක් වශයෙන් ද දැක්වේ.

ඥාතීන්ට පෙරදිග සමාජවල ඉතා උසස් තැනක් හිමි වේ. ඥාතිත්වයෙන් බැඳෙන පවුල් ඒකකවල ඇත්තේ අධ්‍යාත්මික සම්බන්ධයකි. එය පවුලේ ආරක්ෂාවටත්, සමගියටත්, ඔවුනොවුන්ගේ සංවර්ධනයටත් හේතු වන්නේ ය. එම තත්ත්වය වර්තමාන සමාජ ව්‍යුහය තුළ වෙනස් වෙමින් පවතින බව, වැඩිහිටි නිවාස, දරුවන් සුරකින ස්ථාන, අනාථ නිවාස ආදිය බිහිවීමෙන් පැහැදිලි වේ. තවද කාර්මීකරණයත්, වාණිජකරණයත්, සන්නිවේදන ප්‍රවර්ධනයත් නිසා සමාජය, පෞද්ගලීකරණය වෙමින් පවතී. එහි දී සෑම කෙනෙක් ම තමා ගැන පමණක් සිතමින් ආත්මාර්ථකාමී ව ක්‍රියා කිරීමට පෙළඹේ. අනුන් ගැන නො සිතා තමාගේ සුඛවිහරණය ගැන පමණක් සිතන මිනිසුන්ගෙන් පිරුණු සමාජයක, මවුපිය, දූ දරු, ගුරු සිසු සබඳතා සුරැකීමට අවස්ථාවක් නො ලැබේ.

සමාජයක යහ පැවැත්මට නම් ශක්තිමත් ආර්ථිකයකුත්, සදාචාරමත් පැවැත්මකුත් අවශ්‍යම ය. ඒ සඳහා උපදෙස් දෙන්නන් විසින් වෘත්ත්‍යාභිමුඛ පාඨමාලාවලට මෙන් ම ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයටත් අවධානය යොමු කළ යුතු ය. එසේ නො වුවහොත් සදාචාරයක් ගැන නො සිතන, දැඩි ආත්මාර්ථකාමී නො සන්සුන් සමාජයක් බිහිවිය හැකිය. එවැනි පරිසරයක ඥාතීත්වයට කුමක් වේද?