පටු භේද ඉවතලා
මනුෂ්‍යත්වය අගයමු
අත්තනගල්ල රජමහා විහාරාධිපති
මහෝපාධ්‍යාය
ආචාර්ය
පන්නිල ආනන්ද නා හිමි
ලෝක සත්ත්වයා වෙත පතළ මහා කරුණාවෙන් ලොව පහළ වූ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ
පරාර්ථ චර්යාවෙහි යෙදෙමින් ලොවට සැලසූ සෙත කියා ලියා නිමකළ නොහැකි ය.
දුකක්, හිරිහැරයක්, කරදරයක්, විඳීමට අපි අකැමැති වෙමු. ‘මා’ මෙන් නැතහොත් අපමෙන්
දුක්, කරදර, හිරිහැර, විඳීමට අනෙකුත් අය ද අකැමැති බව නිතර සිහියට නගා ගත යුතුව ඇත.
තමාට යම් දුකක් ඇතිවන විට එමගින් කෙතරම් වේදනාවක් ඇතිවේද? එසේනම් තමාට වේදනාව
දැනෙන්නා සේ අනෙකාටද වේදනාව දැනෙන බව අවබෝධ කර ගැනීමෙන් අනෙකුත් අයට වන හිරිහැර
කරදරවලින් දුරුවිය යුතු ය. තමන් ලබන්නට අකැමැති වේදනාවක්, හිරිහැරයක් අන් අයෙකුට
ලබන්නට සැලැස්වීම කෙතරම් නපුරු ක්‍රියාවක්දැයි විමසා බැලිය යුතු ය.
මනුෂ්‍යයා කරන සෑම ක්‍රියාවක දී ම එසේ සිතීමෙන් හදවත් තුළ කරුණාව පහළ වේ. එසේ
දියුණු කර ගන්නා කරුණාව, මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව සියලු සත්ත්වයා දක්වා වර්ධනය කර
ගත හැකි උසස් මානුෂික ගුණධර්මයක් වේ.
බුදුරජාණන් වහන්සේ දිනක් සැවැත්නුවර පිඬු සිඟා වැඩියහ. ඒ අවස්ථාවෙහි දී එක් ස්ථානයක
ළමයි පිරිසක් ගැරඬියකුට හිරිහැර කරමින් සිටියහ. බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම
කළහ. ‘ඔබ කුමක් කරන්නේදැයි’ ඒ ළමයින්ගෙන් විචාළහ. මේ විසකුරු සතාට හිරිහැර කරන බව ඒ
ළමයි කීහ. ‘ඒ ඇයි දැයි’ බුදුරජාණන් වහන්සේ වදාළ විට මෙම සතා තමන් සපා කන බව ඒ ළමයි
කීහ. බුදුරජාණන් වහන්සේ එහි දී වදාළේ තමන් සැප ලැබීමේ අදහසින් අන් අයට පීඩා කිරීම
යහපත් නොවන බව ය. උන්වහන්සේගේ ඒ අවවාදය පිළිගත් ළමා පිරිස කවරදාකවත් යළි සතකුට පීඩා
නොකළහ.
බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් දහම සෑම දෙනාටම එක හා සමාන ලෙස
අවබෝධ කර ගැනීමට දේශනා කොට වදාළ ශාස්තෘන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ ගුරු මුෂ්ටි
වශයෙන් කිසිවක් තබා නොගත්හ. බුදුරජාණන් වහන්සේගේ දහම තුළ එක් ආදර්ශමත් පදනමක් වූයේ
සමානාත්මතාවයයි. එනම් සෑම දෙනාට ම එක හා සමානව සළකා කටයුතු කිරීම ය.
ඇතැම් විට අපගේ පටු අදහස් නිසාම ආත්මාර්ථකාමීව තම මතයෙහි නැතහොත්, අදහසෙහි ම එල්බ
ගෙන ඉදමෙව මච්චං මෝඝ මඤ්ඤං’ තම මතය පමණක් නිවැරැදියි අනෙකුත් මත, අදහස් අසත්‍යය
යැයි කල්පනා කරන පිරිස අප සමාජයේ සුලභ ය. එසේ වනුයේ සම්බුදු දහම පිළිබඳ අවබෝධයක්
නොලැබීමේ හේතුව නිසා ය. බුදුදහම පිළිබඳ සුළු හෝ අවබෝධයක් ඇති තැනැත්තා එබඳු පටු
අදහස්වලින් බැහැර වී ක්‍රියා කරන බව දක්නට ලැබේ.
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ බුදු සිරිත ම සමානාත්මතාවයෙන් පිරි ආදර්ශවත්
වූවකි. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් භාරතීය සමාජය බෙදී වෙන් වී
ගිය යුගයක ලොව පහළ වූ බුදුපියාණන් වහන්සේ පටු මතවාද තුළ බෙදී සිටීමෙන් නොව
ක්‍රියාවෙන් මනුෂ්‍යයා උසස් පහත් වන බව දේශනා කර වදාළහ.
සියලු පටු භේද ඉවත ලා මනුෂ්‍යත්වය අගය කළ බුදුපියාණන් වහන්සේ මිනිස් සිතුම් පැතුම්
උසස් අයුරෙන් පවත්වා ගැනීමෙන් අත්වන දියුණුව අභිවෘද්ධිය දේශනා කළහ. සූර්යයා වෙතින්
ලැබෙන ආලෝකයෙන් දිවා කාලයේ දී මේ මහ පොළොව ආලෝකවත් වන්නා සේ මිනිස් ලොව උපන් උසස්
මනුෂ්‍යයා වෙතින් සියලු දෙනා වෙත ශක්ති පමණක් කළ හැකි කළ යුතු මෙහෙවර පැහැදිලි කළහ.
ඇතැම් විට සමාජයක ජීවත්වන පිරිස ආත්මාර්ථකාමීව පටු අදහස්වලින් යුක්ත වුවහොත් එබඳු
සමාජයක ඇතිවිය හැකි ප්‍රශ්න, ගැටලු අවම කර ගත නොහැකි ය. සමාජයක ඉඳ හිට හෝ බාධක,
ගැටලු ඇතිවුව ද ඒ තුළින් ම ඒවා නිරාකරණය කර ගැනීමට බුද්ධිමත් මනුෂ්‍යයා උත්සාහවත්
වේ.
සමාජයේ වෙසෙන පවුලක් හෝ නිවසක් උදාහරණයක් ලෙස මෙනෙහි කර බලමු. දරුවන් තිදෙනෙකු
සිටින නිවසක ඒ දරුවන් තිදෙනාටම එක ම අයුරකින් එක හා සමානව මවුපිය දෙපළ නොසලකා හැර
එක් දරුවකුට විශේෂ ආකාරයකින් සලකා ක්‍රියා කළහොත් එබඳු නිවසක් තුළ සමගියක්,
සහජීවනයක් උදා නොවේ. ඇතැම් විට එබඳු නිවසක දරුවන් අතර සහෝදරකම ඈත්වී යාමට ඉඩ ඇත.
එසේ එක් නිවසකින්, එක් පවුලකින් ඇතිවන පවුල් අවුල ඇතැම්විට ගමක් නගරයක් නොව රටක්
පුරා වුවද පැතිරයාමට ඉඩ ඇත. වෙසෙසින් ම දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමේ දී
මවුපියවරු බුද්ධිමත්ව කල්පනා කර බැලිය යුත්තේ පවුලක, නිවසක ගමක, පළාතක, රටක දියුණුව
උදාකිරීම කළ හැකි වන්නේ මනුෂ්‍යත්වයේ නාමයෙන් සමඟිය, සහජීවනය වර්ධනය කළ තරමට බව ය.
එසේ නොවුවහොත් රටක, සමාජයක, සහජීවනය වර්ධනය කළ හැකි නොවේ.
මනුෂ්‍යයාගේ ක්‍රියා කලාපය යහපත් වන්නේ නම් එම තැනැත්තා අධ්‍යාත්මික වශයෙන් උසස්
තත්ත්වයකට පත්වීමට ද එය මහෝපකාරීවේ. කරන ක්‍රියා අනුව සමාජයක මනුෂ්‍යයා උසස් පහත්
වන ආකාරය සම්බුදුදහම අවධාරණය කර තිබේ.
බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් වූ බුදුසිරිත විමසා බලන විට උන්වහන්සේගේ දහම
පිළිගැනීමට ආ අන්‍ය මතවාදීන්ට පවා දැක්වූයේ මහත් සහනශීලීත්වයකි. අන්‍ය මත ඉවසා
වදාරමින් ඒවායෙහි ඇති සත්‍ය අසත්‍යය මහා කරුණාවෙන් පෙන්වා වදාළහ. ගිහි කල තම පුතු
රාහුල කුමරුටත්, සුනීත, සෝපාක වැනි අසරණයන් වෙතත් දැක්වූයේ සමානාත්මතාවයයි. මිථ්‍යා
මතධාරීන්ගේ අදහස්වලට සවන් දෙමින් යථාර්ථය වටහාදීමෙන් සත්‍යය අසත්‍යය තම නුවණින්
විමසීමට බුද්ධමත් වන්නැයි සිතීමේ හා විමසීමේ වටිනාකම උදාකර දුන්නේ ද තථාගතයන්
වහන්සේ ය. උන්වහන්සේගේ දහම තමාට එය නිවැරැදි යැයි වැටහේ නම් පමණක් අනුගමනය කළ හැකි
බවත්, එසේ අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලත් උන්වහන්සේ පැහැදිලි කර දුන්හ.
පුද්ගලයාගෙන් පුද්ගලයාට මානසික මට්ටම හෙවත් බුද්ධිමත් බව වෙනස් විය හැකි අතර තරා
තිරම හෝ පටුවාද භේද මනුෂ්‍යයා උසස් පහත් තත්ත්වයට පත් නොකරන බව දේශනා කර වදාළහ.
භාරතීය සමාජය තුළ සෘග්, යජුර්, සාම, අතර්වන් වැනි වේද හැදෑරීමේ අවස්ථාව, බ්‍රාහ්මණ,
ක්ෂත්‍රිය දෙපිරිසට පමණක් සීමා වූ සමයක පහළ වූ බුදුපියාණන් වහන්සේගේ දහම තුළින්
මානුෂික නිදහස තුළ ඇති වටිනාකම පැහැදිලි කර දුන්හ. තමා අයහපතට ඇති අකැමැත්තට
අන්‍යයන් ද අකැමැති බව පෙන්වා තමා ආදර්ශයට ගෙන අයහපතෙත්, පවෙන් වැළකී ජීවත්වීමට
සම්බුදු දහම මඟ පෙන්වා වදාළහ. මනුෂ්‍යයා මුලාවට පත්වීම නිසා වරදට පෙළඹෙන ආකාරයත්
ඉන් සිදුවන අයහපත, අකුසලය තේරුම් ගෙන ඉන් ඈත්වීමටත් බුදුදහම නිසි මග පෙන්වූහ.
මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සිව්බඹ විහරණවලින් යුත් සමාජය සමගිය,
සහජීවනය වර්ධනය කරයි. තමා පමණක් නොව අන්‍ය මනුෂ්‍යයන් පමණක් නොව සියලු සත්ත්වයන්
වෙත සැකයෙන් බියෙන් තොරව ජීවත්වීමට මඟ සැලසිය යුත්තේ බුද්ධිමත් මනුෂ්‍ය සමාජයේ
සහජීවනයේ පදනම මගිනි.
පටු, පවිටු අදහස්වලින් යුත් මනුෂ්‍යයා පරිහානියට පත්වනු මිස මෙලොව හෝ පරලොව
අභිවෘද්ධිය උදාකර නොගන්නා අතර ලෞකික, ලෝකෝත්තර දියුණුවේ මාවතට පිවිසීමට බුද්ධිමත්ව
ජීව්තය ගත කිරීම අත්‍යවශ්‍ය වේ.
- සීසර් සුදුසිංහ
|