Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය: මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කර ගනී. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන්ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන් කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කථාවලින් පැහැදිලි වෙයි. දුරාචාරය ද මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්ත අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින් ම ය. එය දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.

පිළිතුරු: අංගුත්තර නිකාය පෙළ දහමට අනුව මෙම පාඨය ශබ්ද නගා කියවන්න. “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං රත්තඤ්ඤං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤ” මහණෙනි, යම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේ ද? චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතුරෙහි මේ අග්‍රවෙයි. බෞද්ධ ශාසනික සම්ප්‍රදාය කෙතරම් විනිවිද දක්නා සුළු ද මෙ තනතුර සඳහා ප්‍රශ්නාර්ථයක් හෝ අභියෝගයක් ඡන්න වෙතින් වත් ප්‍රකාශ වූයේ නැත. ඊළඟ අවස්ථා දෙක මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තො ඉද්ධි මන්තානං යදිදං මහා මොග්ගල්ලානො මහා ප්‍රාඥ වූ (නුවණින් යුතු) ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් සාරිපුත්ත හිමියන් ද ඍද්ධිමතුන් අතුරෙන් මහා මොග්ගලාන හිමියන් ද නම කෙරෙන් මුහුණ බලා තනතුරු ප්‍රදානය කළ බවට පසුකාලීන ශ්‍රාවකයන් වහන්සේ අතුරෙන් මතවාද ගොඩ නැඟුණ ද ඒවාට පැවැත්මක් නො ලැබුණේ සුදුස්සාට සුදුසු තැන උන්වහන්සේ විසින් ලබා තිබීම යි. ප්‍රදානයක් නොව ශක්‍යතාවය මත ලබාගත්තකි. එහෙත් අග තනතුරු හා උපස්ථායක තනතුරුවලට පිළිවෙළින් සැරියුත් මුගලන් මහතෙරුන් වහන්සේ හා ආනන්ද හිමියන්ගේ පත්වීම බුදුන් වහන්සේ විසින් ප්‍රදානය කෙරුණකි. ඡන්න මුල් තනතුරු කෙරෙහි බලවත් විරෝධතාවය ප්‍රකාශ කළේ ය. අභිනිෂ්ක්‍රමණ ගමනෙහි මූලික අනුග්‍රාහකයා මෙන්ම බැරෑරුම් වගකීම් ද ඔහු සතු විය. පිය මහ රජාණන් ආදරණීය බිරිඳ හා මාලිගාවෙහි රැකවලුන් සියල්ලන්ගෙන් මේ ගමන පිළිබඳ රහස්‍යභාවය ඔහු විසින් අකුරට ම රැකිණි. ඔහු මේ සියල්ල බුදුරජාණන් වහන්සේ වෙත ඉතා යටහත් ව සැල කළේ ය. එපමණක් නොව සමීපතම හිතවත් සගයා වන ඡන්නට බුදු හිමියන් හමුවීම පවා දුෂ්කර වන බව පැහැදිලි කළේ ය.

සියල්ලට ම ඉතා කරුණාවෙන් සවන් දුන් බුදුරජාණන් වහන්සේ ඡන්න ඉක්මන් නො වන්න. ඔබ මට කළ උපකාර අනන්ත ය. එහෙත් මා පෙන්වා දුන් මාර්ගයේ ඵලයක්වත් ඔබ තවම ලබා නොගත්තෙහි ය .එසේ උත්සාහ නොකොට මෙසේ ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පැවරීම සුදුසු නැති බව දෙතුන් වර පැහැදිලි කළත් බුද්ධ පරිනිර්වාණය තෙක් ම ඔහු මෙල්ල නොවී අවසානයේ සංඝ සම්මුතියෙන් මූලික අයිතිවාසිකම් තහනම් විය (බ්‍රහ්ම දණ්ඩනය)

මේ කරුණුවලින් පැහැදිලි වන එක් කරුණක් නම් සුදුසුකම හැර වෙනත් පෞද්ගලික කරුණු බෞද්ධ මාර්ගයෙහි වැදගත් නොවන බව යි. ඒ නිසාම කෙතෙක් ගැටලු ඇති වූවත් බුද්ධ කාලය තුළ සංඝ සාමගි‍්‍රය පැවැතීමට එය හේතුවක් විය.

ප්‍රශ්නය: සිඟාලෝවාද සූත්‍ර පාඨයට අනුව පුරත්ථම දිසා මාතාපිතරො නැගෙනහිර දිසා (පූර්ව දිසාව පෙරදිග) දෙමව්පියන් ය. මුළු ලොව (අචේතනිය, සචේතනික) පුබුදුවාලන්නේ සූර්යයා ය. ඔහු අවස්ථා හතරක දී එනම් අර්කෝදය වීම්බෝධය, අරුණෝදය, සුර්යෝදය යනුවෙන් තම මෙහෙවර ආරම්භ කොට පච්ඡිම දිසාවෙන් බැස යයි. පවුල මිනිසා සතු උතුම් ඒකකය යි. එහි දෙමව්පියන් අඹු දරු දැසි දස් ආදි සාමාජිකයෝ බොහෝ ය. බෞද්ධ පෙළ දහමට අනුව දේශනා පාඨ ඇසුරෙන් නිවැරැදි දෙමව්පිය දූ දරු සබඳතාවය පැහැදිලි කරන්න.

පිළිතුරු: අංගුත්තර නිකාය, සමචිත්ත වග්ගයේ එන දේශනා පාඨයකි. මේ ‘ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි. මාතුච්චපිතුච්ච’ මහණෙනි,දෙමව්පිය පෝෂණය ප්‍රමාණයකින් කෙළවර කොට දැක්විය නොහැකි යි.

යම් කිසිවකු දෙමව්පිය පෝෂණයෙන් නිදහස්වීමට කැමැතිව, ‘එකෙන අංසෙන මාතරං වපරිහාරෙය්‍ය පිතරං පරිහරෙය්‍ය’ සියවසක් එක් උරහිසක මව ද අනෙක් උරහිසෙහි පියා ද තබා ගනිමින් කිසිවිටකත් බිම නො තබා මළ මුත්‍ර දෙවුරයෙහිම තබා පිරිසුදු කොට සුවඳ ගල්වා නහවා පිරිසුදු කොට බෙහෙත් ගල්වා උණු පැන් සිහිල් පැන් තබා උපස්ථාන කෙරේ ද? දෙමව්පිය උපකාරයෙහි ප්‍රත්‍යුපකාරයක් නොවන්නේ ම ය. බොහෝ සත් රුවන් ඇති මේ මහා පෘථිවියෙහි දෙමව්පියන් සක්විති රජ බවට පත් කළත්, ‘ඉස්සරායි පච්චේ රජ්ජේ පතිට්ඨාපෙය්‍ය‘ ඇති ණයෙන් දරුවන්ට නිදහස් විය නො හැකි ය.

එයට හේතු කවරේ ද? මව්පියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතිය හ. එසේනම්, දෙමව්පියන් උදෙසා කළ යුත්තේ කුමක් ද? බුදුරදුන් වදාළේ ‘එත්තාවතා ඛෝ භික්ඛවෙ මාතා පිතුන්නං කතංච හොතිපතිකතංච අති කතඤ්චාති’ යනුවෙන් මවුපියට උපකාර කරන ලද්දේත් ප්‍රත්‍යුපකාර කරන ලද්දේත් අධික උපකාර කරන ලද්දේත්.

1. ශ්‍රද්ධා නැති දෙමව්පියන්ට ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවාලීම

2. දුසිල්වත්හු සීලයෙහි පිහිටුවාලීම

3. මසුරු වූ දෙමව්පියන් ත්‍යාග සම්පතෙහි පිහිටුවීම

4. අනුවණ ඔවුන් ප්‍රඥාවෙහි පිහිටුවීම යන මෙතෙකින් බව යි

දූ දරු දෙමව්පිය සම්බන්ධයෙන් පිළිබඳ ව සිඟාලෝවාද – මහා මංගල, පරාභව ,වසල ආදී සූත්‍රාගත කරුණුූ නිවස තුළ භාවිතයෙන් ඈත්වීම හේතුවෙන් ඒ හිදැස සඳහා පැමිණෙන්නේ විනාශකාරි දූ පුතුන් පරපුරකි.