Print this Article


සෝතාපත්ති අංග: සද්ධර්ම ශ්‍රවණය -  දෙලොව යහපතට දහම් අවවාද

සද්ධර්ම ශ්‍රවණය

දෙලොව යහපතට දහම් අවවාද

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දහම් මග අනුගමනය කරන නුවණැති ශ්‍රාවකයන් ලෙස අප නිරතුරුව නිවන් අවබෝධය පිණිස වෙහෙසිය යුතුය. එකී නිවන් මගෙහි පළමු චරණය නම් උතුම් වූ සෝතාපත්ති ඵලයයි. සෝතාපත්ති ඵලයට පත් වූවකු ඒ ක්ෂණයෙහි ම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන ත්‍රිවිධ සංයෝජන ධර්මයන් ප්‍රහීණ කොට නැවත සසර ගමනෙහි සතර අපායාදී නරකයන්හි ඉපදීමට ඇති ඉඩකඩ සපුරා නැති කොට දමා ඉදිරි භව සතක් තුළ ස්වකීය නිවන් අවබෝධය නිශ්චිත කරගනී.

එහෙයින් අප තථාගතයන් වහන්සේ මහත් තෙද ඇති සක්විති රාජ සම්පත්තියටත්, දෙව්ලොව උපතටත් සියලු ලොව අධිපති බවටත් වඩා සෝතාපත්ති ඵලය ම වඩාත් උතුම් වන බව වදාළහ. මෙම උතුම් සෝතාපත්ති ඵලය ලැබීම පිණිස උපකාරී වන අංග සතරක් බුදුන් වහන්සේ විවිධ අවස්ථාවන්හි දී දේශනා කොට වදාළහ.

එම අංග සතර අතුරින් දෙවැන්න නම් සද්ධර්ම ශ්‍රවණය යි. සෝතාපත්ති හෙවත් සෝවන් ඵලයට පත් වීම පිණිස පළමුව සෝවන් මගට පිවිසිය යුතුය. එකී සෝවාන් මගට පිළිපන් උතුමෝ ‘සද්ධානුසාරී’ හා ‘ධම්මානුසාරී’ වශයෙන් දෙවැදෑරුම් වන බව ධර්මයෙහි විස්තර වේ. තථාගතයන් වහන්සේ පිළිබඳ ඇති මහත් වූ පැහැදීම හේතු කොට ගෙන සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා ‘සද්ධානුසාරී’ නම් වේ. දහම් කරුණු මනාව විමසා බලා එහි යථා ස්වභාවය මැනවින් වටහා ගනිමින් සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා ‘ධම්මානුසාරී’ නම් වේ.

මෙසේ සෝවාන් මඟට එළැඹි පුද්ගලයා තම වීර්යය අත් නොහැර සෝවාන් ඵලාවබෝධය පිණිස වෙහෙස වන්නේ නම් එය නියතයෙන් සාක්ෂාත් කළ හැකි ය. යම් කලෙක සෝවාන් ඵලය නියත කරගත් අයෙකු සිටින විටෙක කල්ප විනාශය සිදුවීමට ඉඩ ඇති වුව ද එම පුද්ගලයා සෝවාන් ඵල ලාභියෙකු වන තුරු එම කල්ප විනාශය ප්‍රමාද වන බව අභිධර්ම පිටකයට අයත් ‘පුග්ගලපඤ්ඤත්ති පකරණයෙහි’ විස්තර වේ. එහෙයින් සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ඉතා බලවත් යැයි ධර්මයෙහි දැක් වේ. මෙම උතුම් සෝවාන් ඵල අවබෝධය පිණිස හේතුවන අංග සතර අතුරින් ඉතා වැදගත් අංගයක් ලෙස සද්ධර්ම ශ්‍රවණය හඳුන්වා දිය හැකි ය.

‘සද්ධර්මය’ යනු යහපත් ධර්මය යි. එනම් පුද්ගලයාගේ සසර ගමන කෙළවර කොට උතුම් නිවන් අවබෝධය පිණිස මඟ කියා දෙන ධර්මය යි. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ තෘෂ්ණාව ප්‍රහීණ කොට නිවන් අවබෝධය ලැබීමේ ක්‍රමවේදය ඉගැන්වෙන බුදුන් වහන්සේගේ ධර්මය අප පොදුවේ සද්ධර්මය ලෙස හඳුන්වමු. බුදුන් වහන්සේගේ ධර්මයෙහි ‘පැවැත්ම’ සහ ‘නැවැත්ම’ යන දෙකරුණ සඳහා ම වූ දහම් අවවාද සඳහන් වේ. ‘පැවැත්ම’ යනු මෙලොව පරලොව යන දෙලොව දියුණුව යි. ‘නැවැත්ම’ යනු නිවන් අවබෝධය යි. බුදුන් වහන්සේ පුද්ගලයාගේ ලෞකික දියුණුව උදෙසා ලබාදුන් ධර්මමය අවවාද මෙලොව හා පරලොව සුවය පිණිස හේතු වේ. එහෙත් සෝතාපත්ති අංග යටතේ එන සද්ධර්ම ශ්‍රවණයට ගැනෙන්නේ සසර ‘නැවැත්ම’ හෙවත් නිවන් පිණිස හේතුවන ධර්මය ශ්‍රවණය කිරීම යි.

සද්ධර්ම ශ්‍රවණය පිණිස අවශ්‍ය වන ප්‍රධාන ගුණාංග දෙකකි. එනම් ‘ශ්‍රද්ධාව‘ සහ ‘ඉවසීමයි’. ‘ශ්‍රද්ධාව’ යනු බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් කෙරෙහි ඇතිවන ගෞරවය හා විශ්වාසය සහිත වූ පැහැදීම යි. යමෙකුගේ සිත ශ්‍රද්ධාවෙන් තොර වූ විට කෙතරම් ධර්මය ඇසුවත් ඉන් ප්‍රයෝජනයක් සිදු නොවේ. ශ්‍රද්ධාවෙන් තොරව ධර්මය ඇසීමෙන් එම ධර්මය පිළිබඳ ව සැක ඇතිකරගැනීමත් ඒ තුළින් ධර්මය මනා ව අවබෝධ කරගැනීමට ඇති හැකියාවත් නොලැබී යයි. ‘ඉවසීම’ ද සද්ධර්ම ශ්‍රවණය පිණිස අත්‍යවශ්‍ය වූවකි. යමෙකු තුළ ඉවසීම නැති විට ධර්මයෙහි විස්තර වන ධර්ම කරුණු පිළිබඳ නිවැරදි අවබෝධයක් කිසිවිටෙක ඇති නොවේ. ඉවසීමෙන් යුතුව මනා සංයමයකින් ධර්මය ශ්‍රවණය කළ විට එය මනා ව වටහා ගැනීමටත් එසේ ම පසුව එම ධර්ම කරුණු පිළිබඳ ව නැවත නැවත මෙනෙහි කිරීමටත් හැකියාව ලැබේ.

සද්ධර්මය ශ්‍රවණය කළ යුත්තේ කෙසේ ද? යන පැනයට පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ ‘සුණාථ ධාරෙථ චරාථ ධම්මෙ’ යනුවෙන් දේශනා කළහ. ඒ අනුව සෝවාන් ඵලය අපේක්ෂා කරමින් සද්ධර්මය ශ්‍රවණය කරන නුවණැති පුද්ගලයා නිතර නිතර එය සිදු කළ යුතු ය. එසේ ම එසේ ශ්‍රවණය කළ ධර්මය සිතෙහි හොඳීන් ධාරණය කළ යුතු ය. සිතෙහි ධාරණය කරගත් ධර්මය නැවත නැවත මෙනෙහි කරමින් ඒවායෙහි සැබෑ අරුත වටහාගැනීමට වෙහෙසිය යුතු ය. අනතුරු ව ඒ ධර්මය අනුව තම ජිවිතය සකසා ගත යුතු ය. එසේ ම නිවන් අවබෝධය පිණිස ඉන් ලැබෙන උපදෙස් ද මනාව පිළිපැදිය යුතු ය. එසේ ම ධර්මය ශ්‍රවණයේ දී ‘සුතා’ හෙවත් මනාව ඇසීමත් ‘ධාරතා’ හෙවත් ඇසූ ධර්මය හොඳීන් ධාරණය කරගැනීමත් ‘පරිචිතා’ හෙවත් එය පුරුදු කිරීමත් ‘වචසා පරිචිතා’ හෙවත් එය වචනයෙන් කියමින් පුරුදු කිරීමත් ‘මනසානුපෙක්ඛිතා’ හෙවත් සිතින් මනාව විමසමින් පුරුදු කිරීමත් යන අංග පහෙන් යුතුව කටයුතු කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ලැබිය හැකි උපරිම ඵල අත් කරගත හැකි බව බුදුන් වහන්සේ වදාළහ.