Print this Article


කළුතර බෝම්බුවල ශ්‍රී මුනින්ද්‍රාරාමය

කළුතර බෝම්බුවල ශ්‍රී මුනින්ද්‍රාරාමය

ගුණානුස්මරණ ධාතු මන්දිරය හා කෞතුකාගාරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය 24 සිට 28

කළුතර නෑබඩ ප්‍රධාන මාර්ගයේ බෝම්බුවල නගරාසන්නයට නුදුරින් කුඩා කඳු ගැටයක් සහිත රමණීය භූමි භාගයක පිහිටි බෝම්බුවල ශ්‍රී මුනින්ද්‍රාරාම මහා විහාරස්ථානය ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් පුණ්‍ය භූමියකි.

1948 වර්ෂයේ දී ආරම්භ කරන ලද මේ විහාරස්ථානය මේ වන විට සියලු විහාරාංග වලින් සපිරි පූජනීය පින් බිමකි.

බෝම්බුවල ශ්‍රී සෝමානන්ද ස්වාමීන් වහන්සේ හා තෙබුවන ඥාණවිමල ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් කුඩා පොල් අතු මඩුවකින් ඇරඹි මේ විහාරස්ථානය සඳහා අවශ්‍ය ඉඩම් මිලදී ගැනීම සඳහා මුදල් ලබා දී ඇත්තේ පාලයන්ගොඩ විසූ කේ.ඩී. ඇන්නිස් මුදලාලි මහතා විසිනි. එම්.එස්. ප්‍රනාන්දු සහ පුත්‍ර සමාගමේ නිර්මාතෘ දිවංගත එම්.එස්. ප්‍රනාන්දු මුදලාලි මහතා ඊට සිය දායකත්වය ලබා දී ඇත. එසේ ඉදිවූ විහාරස්ථානය දායක කාරකාදීන්ගේ සහයෝගය ඇතිව සංවර්ධනය වන්නට පටන් ගැනිණි. තම ගුරු දේවෝත්තම බෝම්බුවල ශ්‍රී සෝමානන්ද හිමියන්ගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත් බෝම්බුවල ශ්‍රී සෝමවංශ හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් අලංකාර කළුගල් පුවරු උපයෝගී කර ගනිමින් ශ්‍රී සුසිලෝදය සමිතියේ දායකත්වයෙන් විහාරස්ථානයේ ධර්ම ශාලාව ගොඩනගා ඇත. එහි මූලිකව ක්‍රියාකර ඇත්තේ නැසීගිය එස්.පබ්ලිස් මුදලාලි මහතා ය. විහාර මන්දිරය ඉදිකිරීමේ දී පැලවත්තේ විසූ එම්.එස්. ප්‍රනාන්දු මහතා මූලිකත්වය ගෙන ඇති අතර, නව චෛත්‍යය රාජයාණන් ඉදිකිරීම සඳහා සිරි සෝමවංශ හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් වු බෝම්බුවල සිරි සුමන හා නෑබඩ සිරි සුනන්ද යන හිමිවරුන්ගේ විශාල කාර්යය භාරයක් හිමිවී තිබේ.

අටවිසි බුදුරජාණන් වහන්සේලා සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා නැසී ගිය කේ.ඩී. බේනිස් රියදුරු මහතා කැපවීමෙන් ක්‍රියා කර ඇති අතර, ව්‍යාපාරික සිරිල් ධර්මසේන මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉසුරු දම් ශාලාව ද නැසීගිය ටී. ලිවිනිස් මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ මල් අස්න ද නැසී ගිය විදුහල්පති පී.ජේ. වනිගවර්ධන මහතා සහ එම මහත්මිය විසින් ඉදිකරන ලද ඝන්ඨාර කුළුන ද විහාරස්ථානයට ආලෝකයකි.

මේ සියලු කාර්යයන් ඉටු කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළ අපවත්වී වදාළ විහාරාධිපති අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ සම්මාන නායක බෝම්බුවල සිරි සෝමවංශ ස්වාමීන් වහන්සේගෙන් විහාරස්ථානයටත්, ගමටත් සිදුවූ සේවාව කියා නිම කළ නොහැකි ය.

උන්වහන්සේ හා නෑබඩ සිරි සුනන්ද හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසු 2011 වර්ෂයේ දී විහාරාධිකාරි ධූරයට පත් කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූජා භූමි සංවර්ධන නිලධාරි ශාස්ත්‍රපති සාමවිනිසුරු කන්තලේ සාරානන්ද හිමියෝ විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අඩිතාලම දැමූහ.

ඒ අනුව අපවත් වී වදාළ සිරි සෝමවංශ නා හිමියන් හා සිරි සුනන්ද හිමියන් අනුස්මරණය කිරීම සඳහා දෙමහල් ධාතු මන්දිරයක් හා කෞතුකාගාරයක් ඉදිකරන ලදී. ප්‍රදේශවාසීන්ගේ හා පරිත්‍යාගශීලින්ගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ඊට වැය කර ඇත.

එසේම විහාරස්ථානයේ අඩි 300 ක් දිග ආරක්ෂිත බැම්ම, විදුලි පහන් වැට ඉදිකිරීම, දාන ශාලාව නවීකරණය කිරීම, දහම් පාසල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම, විහාරස්ථානය අභියස වාහල් කඩක් ඉදිකිරීම, සාරානන්ද හිමියන්ගෙන් සිදු වූ සේවාවන් අතර වේ. සිරි සෝමානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය ද උසුලමින් කටයුතු කරන උන්වහන්සේ එහි ශිෂ්‍ය සංඛ්‍යාව 750 දක්වා වර්ධනය කිරීමට ද කටයුතු කර ඇත.

අපවත්වී වදාළ බෝම්බුවල සිරි සෝමවංශ නා හිමි

අපවත්වී වදාළ නෑබඩ සිරි සුනන්ද හිමි

විහාරාධිකාරි කන්තලේ සාරානන්ද හිමි

තම දායකකාරකාදීන් විවිධ ප්‍රදේශවල සිද්ධස්ථාන වන්දනා කරවීම, අසරණ අයට පිහිටවීම ඇතුළු සමාජ ප්‍රජාසත්කාරක වැඩ පිළිවෙළක් ද උන්වහන්සේ විසින් ක්‍රියාවට නංවා ඇත.

මේ කටයුතු කරගෙන යාම සඳහා විහාරාධිපති බෝම්බුවල නන්දසිරි හිමියන්ගෙන් සහ විහාරස්ථ කාර්යසාධක සමිතිය. සුසිලෝදය උපාසක සමිතිය හා සිරි සෝමානන්ද දහම් පාසලෙන් ලැබෙන්නා වූ සහයෝගය සාරානන්ද හිමියෝ කෘතවේදී ව සිහිපත් කරති. අප්‍රතිහත ධෛර්යයත්, දැඩි උත්සාහයත් නිසා මේ සියලු කටයුතු කර ගැනීමට උන්වහන්සේට හැකිවී තිබේ.

මේ නිමිත්තෙන් පැවැත්වෙන පින්කමේ වැඩසටහන මෙසේ ය

නොවැම්බර් 24 වෙනිදා පෙරවරු 6.02 ට දෙමහල් ධාතු මන්දිරය හා කෞතුකාගාරය විවෘත කිරිම, පෙරවරු 6.00 ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුම් නීලගිරි ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භය. එම ප්‍රදර්ශනය 27 වෙනිදා දක්වා පැවැත්වේ.

24 වැනිදා සිට 27 වෙනිදා දක්වා පැය තිස්හතේ පිරිත් දේශනාව, 27 දොරකඩඅස්න දේශනාව. එදිනම සවස 3.00 ට දේවදූත පෙරහර බෝම්බුවල මහා විහාරස්ථානයේ සිට කිව්ලවත්ත දක්වා ගමන් කර ආපසු මුනින්ද්‍රාරාම විහාරස්ථානයට ළඟා වීම, 28 දවල් මහා සංඝරත්නය හැට නමක් විෂයෙහි පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකින් පින්කම නිමාවට පත්වේ.

පැවිදි සහභාගිත්වය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි.

රම්බඩගල්ල, මොණරාගල, විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මහානායක එගොඩමුල්ලේ අමරමෝලි මහා නා හිමි ඇතුලු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය.

ගිහි සහභාගිත්වය

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, මතුගම එ.ජා.ප. ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා, හිටපු නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා, කළුතර මහා දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා, කළුතර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා, දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපති චාමර සිල්වා මහතා සහ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනා රණසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් එම අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

එසේ ම ප්‍රදීප්, පියුමාල්, කණිෂ්ක, ප්‍රසන්න හා සෝමසිරි යන මහත්වරුන්ට මෙහිදී ස්තුතිය පුදකළ යුතුබව සාරානන්ද හිමියෝ පවසති.