Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - සසර සැරිසරන්නෙකුට අපූර්වතම දේශනාවක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

සොචති පුත්තේහි පුත්තිමා
ගොමිකො ගොහි තථෙව සොචති
උපධීහි නරස්ස සොචතා
නහි සො සොචති යො නිරුධති

පුතුන් ඇති හේ තම පුතුන් (දරුවන්) හේතුකොට ගෙන ශෝක කෙරෙයි. ගව හිමියා ගවයන් හේතුකොටගෙන ම එසේම ශෝක කෙරෙයි. මිනිසාට උපධීහුම ශෝකය සඳහාම හේතු වන්නේ ය. යමෙක් උපධී (කෙලෙස්) රහිත වූයේ ද හේ ශෝක නො කෙරෙයි.

මෙම දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක් ද?

පිළිතුර – (සු.නි. උරග වග්ග ධනිය සූත්‍ර) භෞතික සම්පතින් අහංකාරව සිටි ධනිය ගෝපාලක බුදුරදුන්ට තම සම්පත් පිළිබඳව උද්දමයෙන් කථා කළ අවස්ථාවෙහිදී ඉහත සඳහන් පිළිතුර දේශනා කරන ලදී.

ප්‍රශ්නය – එක් සුවිශේෂ අවස්ථාවක දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි අයකු විසින් අසන ලද පැනයට උන්වහන්සේ දුන් පිළිතුරු යි මේ.

සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති
සච්චං හවෙ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං

මෙලොව පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාව ය. දාන, සීල, භාවනා සද්ධර්මය මනාව පුරුදු පුහුණු කරන, ලද්දේ සදා සුව එළවයි. සත්‍යය සදාකල්හි ‘මියුරස’ වේ. නැණවත් ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨම වේ.

භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම පැන ඇසූ තැනැත්තා කවුද?

පිළිතුර – අලව් යක් භාග්‍යවතුන් වහන්සේගෙන්

කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසු සුචිණ්ණො සුඛ මාවහාති
කිංසු හවෙ සාධුතරං රසානං
කථං ජිවිං ජීවිතමාහු සෙට්ඨං

මිනිසාට අයත් විය යුතු ශ්‍රේෂ්ඨ ධනය කුමක් ද? සැපය සඳහා පුහුණු කළ යුත්තේ කුමක් ද? රස අතරෙන් මධුර රසය කුමක් ද? ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨ යැයි කිවහැක්කේ කුමන පැවැත්මක් අනුව ද? යනුවෙන් අසන ලද පැනයන්ට දුන් පිළිතුරු ය.

ප්‍රශ්නය – පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක් ද? පැහැදිලි කරන්න.

පිළිතුර - සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ‘බුද්ධත්වය සාක්ෂාත් කරගත් රාත්‍රි යාමයෙහි දී උන්වහන්සේ සිය පූර්ව ජන්මයන් දැන ගැනීමෙහි ඤාණය වූ පුබ්බේ නිවාසානුස්සති ඤාණය වැඩූහ.

ප්‍රශ්නය – අකුසල චෛතසිකවලින් එකකි. අනොත්තප්ප චෛතසික ය. පැහැදිලි කරන්න.

පිළිතුර – කාය – වාග් දුශ්චරිතාදීන්ට බිය නොවීම හෙවත් තැති ගැන්මක් ඇති නොවීම ලක්ෂණ කොට ඇති චෛතසිකය අනොත්තප්ප චෛතසිකය යි. අරමුණු ස්වභාවය වරදවා ගැනීමෙහිදී පිළිකුල් නොකරන අහිරිකය මෙන් මෙම අනොත්තප්ප චෛතසිකය ද අරමුණු ස්වභාවය හඳුනා ගැනීමෙහි දී බියක් තැති ගැනීමක් ඇති නොවන්නේ ය. අහිරික – අනෝත්තප්ප යන මේ චෛතසික දෙක සත්වයන් අකුසලයෙහි යොදවන බලශක්ති දෙකකි. මේ ශක්ති දෙකින් තොරව අකුසල් කළ නොහැකි ය.

ප්‍රශ්නය – බුදු දහමට අනුව කර්මයෙහි එක් ප්‍රභේදයක් මෙම ගාථා ධර්මයෙහි ඇතුළුව ඇත. පැහැදිලි කරන්න.

කම්මස්ස කාරකො නත්ථි - විපාකස්සච වේදකො
සුද්ධ ධම්මා පවත්තන්ති - එවෙතං සම්ම දස්සනං

පිළිතුර – කර්මය කාරක නමින් වෙන්කොට හඳුනාගත හැකි තැනැත්තෙක් නැත. විපාකය විඳින පුද්ගලයෙක් නැත. සුද්ධ වූ ස්කන්ධ ධර්මයෝ පමණක් පවත්නාහ. මෙසේ දක්නා විදසුන් නුවණම යහපත් දැකීම වෙයි.

ප්‍රශ්නය – තෘතීය මහාශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත් වූ සංගායනාව සුවිශේෂ නාමයකින් හඳුන්වා තිබේ. ඒ නාමය කුමක් ද? එයට හේතුපාදක වූ කරුණු මොනවා ද?

පිළිතුර – ප්‍රථම ධර්ම සංගායනාව පන්සියයක් මහරහතන් වහන්සේ විසින් කරන ලද හෙයින් ‘පංච සතිකා’ නම් විය. මහාකාශ්‍යප මහ රහතන්වහන්සේ ප්‍රධාන මහතෙරවරුන් විසින් ම කරන ලද බැවින් ‘ථෙරිකා’ ථෙරවාද - ස්ථවිරවාද යන නම්වලින් ද හැඳින් වේ.

ප්‍රශ්නය - මේ අංග නවය නවාංග ශාස්තෘ සාසනය නම් වේ. ඒ මොනවා ද?

පිළිතුර – තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තන්හි දේශනා කොට වදාළ ධර්ම විනය බුද්ධකාලීන යුගයෙහිදීම

1. සුත්ත 2. ගෙය්‍ය 3. ව්‍යොකරණ 4. ගාථා

5. උදාන 6. ඉතිවුත්තක 7. ජාතක 8. අභ්භූතධම්ම

9. වෙදල්ල

යනුවෙන් අංග නමයකට බෙදා වෙන්කරන ලදී.

ප්‍රශ්නය – යථාහි අංග රාසිම්හා

හොති සද්දො රථෙ ඉති
එවං ඛන්ධෙසු සත්තෙසු
හොති සත්තොති සම්මුති

අවයව සමූහය හේතුකොට ගෙන යම් සේ රථය යන ශබ්දයක් වේ ද? එසේම ස්කන්ධ පංචකයක් ඇති කල්හි සත්ත්වයා යන ලෝක ව්‍යවහාරය ඇති වේ. (ස.නි. වජිරසුත්‍ර 1 246) සේ දේශනා පාඨය අනුව ‘සත්ත්වයා, පුද්ගලයා, මම යන සංකල්පයන් විවරණ කරන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

පිළිතුර - සත්ත්වයා යනු සංස්කාර පුංජයක් බවත් ඒ සංස්කාර පුංජය ස්කන්ධ පංචකයක් බවත් මෙම ගාථා පාඨයෙන් පැහැදිලි වෙයි. ස්කන්ධ (කොටස් ගොඩ) පංචකයේ සමවායේ අඛණ්ඩ ප්‍රවෘත්තියෙහි සත්ත්වයා පුද්ගලයා මම යන ප්‍රඥප්ති ඇති වෙයි. බුදු දහමට අනුව සත්ත්වයා පුද්ගලයා මම වෙනස්වන සුළු ස්ථාවරත්වයක් නැති කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායක් පමණකි. මේ සියල්ල කොටස් පහකට බෙදා දැක්වය හැකි ය.