Print this Article


නූපන් අකුසල් නූපදවීමට ගන්නා උත්සාහය

නූපන් අකුසල් නූපදවීමට ගන්නා උත්සාහය

තිලෝගුරු අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නිවන් මඟ සඳහා දේශනා කළ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එම අංග අටෙන් එක් අංගයක් ලෙස සම්මා වායාමය සඳහන් කළ හැකි ය.නූපන් අකුසල් නූපදවීමට දරන උත්සාහය සම්මා වායාමය නම් වේ.නූපන් අකුසල් නූපදවීමට කැමැත්ත ඇතිකර ගැනීමට උත්සාහ කිරීමට වීර්යෙන් යුක්තව වෑයම් කළ යුතු ය.

උපන් අකුසල් නැතිකර දැමීමට දරණ උත්සාහයේදී ද පළමු කොට කැමැත්ත තිබිය යුතුය. සතුන් මරමින් සිටින පුද්ගලයෙකු සත්තු මැරීමෙන් වැළකී සිටීමට කැමැත්ත ඇතිකර ගතහොත් පමණක් ඔහු සතුන් මැරීමෙන් වැළකී සිටී.සොරකම, වැරැදි කාමසේවනය ,අසත්‍ය වචන ප්‍රකාශ කිරීම,මත්වතුර පානය කිරීම ,හිස්වචන, දැඩි ලෝභය,තරහව ,මිථ්‍යා දෘෂ්ටිය, ආදී කොට ඉපදී ඇති සියලු අකුසල ධර්මයන් නැතිකර ගැනීමට කැමැත්ත ඇතිකර ගැනීම පළමුව අවශ්‍යවේ.කැමැත්ත තිබූ පමණින් එය සාර්ථක කරගැනීම අපහසු වේ.ඒ සඳහා ද වීර්ය කළ යුතුයි. වෑයම් කිරීම සඳහා සම්මා දිට්ඨිය උපකාරී වේ.සම්මා දිට්ඨියෙන් වැරැදි ස්වභාවයන් අවබෝධකරදීමත්, සම්මා වායාමයෙන් නිර්වාණගාමීත්වයට යොමු කිරීමට උපකාරීවීමත් සිදුවේ.සම්මා වායමය ගොඩනඟාගැනීමට නම්,ප්‍රධාන වශයෙන්ම ශ්‍රද්ධාව මූලික ෙවි. අප ලොව්තුරා සම්මා සම්බුදු අමාමෑණී බුදුපියාණන් වහන්සේ කෙරෙහි අචල පැහැදීමක් තිබීම ශ්‍රද්ධාව ඇතිකර ගැනීමට උපකාරී වන මාර්ගය යි.උන්වහන්සේ සාරාසංඛ්‍යෙ කල්ප ලක්ෂ ගණනක් සංසාර චාරිකාවෙහි සංචාරය කරමින් අවබෝධ කරගත්තාවූ උතුම් නිර්වාණ මාර්ගය පිළිබඳ විශ්වාසයක් තිබීම මූලික අඩිතාලමයි.පෙර කළ අකුසල කර්ම හේතු කොටගෙන බියකරු සංසාර සාගරේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විඳිමින් විය සිදුරෙන් කන කැස්බෑවෙකු අහස බලන්නාසේ අපහසුවෙන් ලබාගත් උතුම් මිනිස් ආත්මභාවයේදීත් අකුසල කර්ම අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ,නැවත ද නැවත ද දුක් ඇති ස්ථානවල ඉපදී කල්ප ගණන් දුක් විඳීමට සිදුවන බව අප විසින් අවබෝධ කරගත යුතු ය. අකුසල් කිරීම සම්පුර්ණයෙන් ම නවතා දැමීමට කැමැත්ත ඇතිකර ගැනීමට නම්,බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මය විශ්වාසයෙන් යුක්තව පිළිගත යුතුය. කර්මය, කර්ම ඵලය විශ්වාස කරමින් සම්මා සම්බුද්ධත්වය පිළිගැනීමට කටයුතු කළ යුතුයි.එසේ වූ විට අකුසල කර්මයන් ඇති නොවන ආකාරයෙන් ජීවත්වීමට විර්යයක් ඇති වේ. බුද්ධ වචනය විශ්වාස කරමින්, එම අකුසල කර්මයන් සඳහා විපාක විඳීමට සිදුවන බවට ඇතිකරගත් අවබෝධයෙන් ම අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට උත්සාහ කළ යුතු වේ. එය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම හෙවත් ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව මුලික කරගෙන වෑයම් කරම්න් විර්ය ගොඩනඟා ගනී. ඇතැම් අකුසල් කල්ප ගණනාවක සිට පැමිණෙන නිසා ම එය එක් ක්ෂණයකින් ඉවත් කළ නොහැකිය. දීර්ඝ කාලීන ක්‍රියාවලියක් ලෙස පුරුදු පුහුණු කළ යුතු ය.තමාගේ ශරීරයෙහි මදුරුවෙකු වැසූ විට එම සතා මරා නොදැමීමට කැමැත්ත ඇතිකර ගැනීමට වෑයම් කරමින් වීර්ය ආරම්භ කළ යුතුයි. මදුරුවා දෂ්ට කිරීම දරාගනිම්න් නොමරා එලවා දැමීමට සිත පුරුදු පුහුණු කළ යුතු ය. ක්‍රමානුකූල ලෙස අපගේ ජීවිත තුළ ඇතිවන සියලු ආකාරයේ අකුසල කර්මයන් මර්දනය කරමින් වීර්ය ආරම්භ කරගැනීමට සිත දැඩි කරගෙන ඒ අනුව කටයුතු කළ යුතු ය. දැඩි අධිෂ්ඨානයකින් යුක්තව අකුසල කර්මයන්ගෙන් වැළකී සිටීමට අඛණ්ඩව කි‍්‍රයා කිරීම අවශ්‍ය වේ.එවැනි ආකාරයෙන් අකුසල් ඉපදීමට අවස්ථාවක් ලබා නොදෙනවා ය යන තත්ත්වයෙන් මනස සකස් කරගත යුතුයි.

එබැවින් සසර සැරිසරන එක් සත්ත්වයෙකුට අනාගත කාලයේදී ලබන්නට වන ජාති දුක්ඛයන්ගේ ප්‍රමාණයක් ද නැත.

ජරා දුක්ඛයන්ගේ, ව්‍යාධි දුක්ඛයන්ගේ,මරණ දුක්ඛයන්ගේ, ශෝක දුක්ඛයන්ගේ, පරිදේව දුක්ඛයන්ගේ, දුක්ඛ දුක්ඛයන්ගේ, දෝමනස්ස දුක්ඛයන්ගේ, අප්‍රිය සම්පයෝග දුක්ඛයන්ගේ, ප්‍රිය විප්පයෝග දුක්ඛයන්ගේ, කැමැති දේ නොලැබීමේ දුක්ඛයන්ගේ, නරකයෙහි ඉපිද ලබන්නට වන දුක්ඛයන්ගේ, තිරිසන්ව ඉපිද ලබන්නට වන දුක්ඛයන්ගේ, ප්‍රේතව ඉපිද ලබන්නට වන දුක්ඛයන්ගේ ප්‍රමාණයක් ද නැත. සසර සැරිසරන සත්ත්වයාට හිමි වන මේ අනාගත දුක්ඛස්කන්ධයාගේ මහත්වය යම් පමණ ද නිර්වාණයේ විශාලත්වය ද එපමණ ම වන්නේය.ඒ දුක්ඛස්කන්ධයාගේ කටුක බව යම් පමණ වේ නම්,නිර්වාණයේ සුඛත්වය ද එපමණ ම වන්නේය.ඒ දුක්ඛස්කන්ධයාගේ රෞද්‍රත්වය යම් පමණ නම්, නිර්වාණයේ සෞම්‍යත්වය ද එපමණ වේ.ඒ දුක්ඛස්කන්ධයේ භයානකත්වය යම් පමණ වේ නම්,නිර්වාණයේ රමණීයත්වය ද එපමණම වේ.