Print this Article


දීර්ඝ ඇසුරකින් හඳුනා ගත හැකි සීලය

දීර්ඝ ඇසුරකින් හඳුනා ගත හැකි සීලය
 

මිනිසා රූපයෙන් දැක ගත නොහැකි ය.ස්වල්ප මාත්‍ර දර්ශනයෙන් විශ්වාස කළ නොහැකි ය. කිසිම සංයමයක් නැති තැනැත්තෝ උසස් සංයමයෙන් යුතු ඇත්තන්ගේ පරිහරණීය දෑ දරමින් මෙන් ම ඔවුන්ගේ ආකාරය දරමින් ලොව හැසිරෙති. ස්වර්ණාලේපිත, මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් මෙන් ද, රත්තරන් ගෑ අඩමස්සක් වටිනා ලෝහාභරණයක් මෙන් ද ඇතුළත අපිරිසුදු වුවත් පිටත සෝභමාන කරමින් ඔවුහු හැසිරෙති.

න වණ්න රූපෙන නරෝ සුජාතෝ
න විස්සසේ ඉත්තර දස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකම්මං චරන්ති
පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව
ලෝහඩ්ඪමාසෝව සුවණ්ණඡන්නෝ
චරන්ති ඒකේ පරිවාරඡන්නා
අන්තෝ අසුද්ධා බහි සෝභමානා

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ වසන අවස්ථාවක පසේනදී කෝසල රජු පැමිණ බුදුරදුන් මුණ ගැසුණේ ය. සුහද සාකච්ඡාව අතර විහාරය අසලින් පේනතෙක් මානයේ ජටිලයන්, නිරුවත් නිගණ්ඨයන්, අචේලකයන් , ඒක සාටකයන්, පරිබ්‍රාජකයන් සත් දෙනා බැගින් ගමන් කරමින් සිටියහ. මොවුහු දුෂ්කර ව්‍රත පුරන්නවුන් සේ වැඩුණු කෙස්, නිය, රෝම සහිතව දුහුවිල්ලෙන් අපිරිසුදු වූ ශරීරවලින් යුක්ත වූ හ. මේ පිරිස දුටු කොසොල් මහරජු හුනස්නෙන් නැගිට ඒ පිරිස් දෙස බලා වැඳගෙන “වහන්ස, මම පසේනදි කෝසල රජ වෙමි” ‘හඬගා කියමින් ඒ දෙසට නමස්කාර කළේ ය. නැවත බුදුරදුන් දෙසට හැරුණු රජු ‘ස්වාමීනි, මෙලොව යම් රහත්හු හෝ රහත් මගට බැස ගත්තො හෝ’ වෙද්ද මොවුහු ද ඔවුන් අතර කොටසකැ’යි පැවසී ය.

මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සර්වකාලීන අගයකින් යුතු න්‍යායක් දේශනා කළහ. මහරජ , ගිහි සැප විඳින, අඹුදරු සම්බාධ සහිතව වසන, කසී සළු හා කසී සඳුන් සමඟ මල් ගඳ විළවුන් දරණ , රන් රිදී මසු කහවනු වලින් ජීවිතය සරසන, ඔබ වැනි කෙනකුට මොවුහු රහත් බවට පිළිපන්නැ’යි කියා වටහා ගත නොහැකි ය.

මහරජ, කෙනකුගේ ශීලය දත හැක්කේ ආශ්‍රය කිරීමෙනි. එක්ව විසීමෙනි. එයද කෙටි කලෙකින් නොවේ. බොහෝ කලක් ආශ්‍රය කිරීමෙනි. ඒ පිළිබඳ අවධානයෙන් සිටීමෙනි. අනවධානයෙන් නොවේ. නැණවත් වීමෙනි. නුනුවණව නොවේ.

‘සංවාසෝ ඛෝ මහාරජ සීලං වේදි තබ්බං තඤ්ච ඛෝ දීඝේන අද්ධුනා න ඉත්තරං මනසි කාරතෝ නො අමනසි කාරතෝ. පඤ්ඤාවාත නෝ දුප්පඤ්ඤාවතා”

කෙනෙකුගේ පිවිතුරු බව දැකිය හැකි වන්නේ කථා ව්‍යවහාරයෙනි. එයද දිගු කාලීන ඇසුරිනි. අවධානයෙන් සිටීමෙනි.නැණවතෙකු වීමෙනි. කෙනකුගේ පිවිතුරු බව දැකිය හැකි වන්නේ කථා ව්‍යවහාරයෙනි. එය ද දිගු කාලින ඇසුරිනි. අවධානයෙන් සිටීමෙනි. නැණවතෙකු වීමෙනි. මෙලෙස කෙනෙකුගෙ නැණවත් බව දැකිය හැකි වන්නේ කථා ව්‍යවහාරයෙනි. එය ද දිගු කාලීන ඇසුරිනි. අවධානයෙන් සිටීමෙනි. එසේම කෙනකුගේ , නොසැලෙන ගුණය දැකිය හැකි වන්නේ විපතේදී මුහුණ දෙන ආකාරයෙනි.

සිනහවකින් හෝ දුටු පමණින් හේ සුළු කථා බහකින් හෝ නොවිමසා තීරණ ගන්නා මිනිසුන් ජීවත් වූයේ, වන්නේ අද ඊයේ සිට නොවේ. හදිසියේ ගත් මෙම තීරණ නිසා මුලු ජීවිත කාලයම මානසික වේදනා විඳින ස්ත්‍රී පුරුෂ සාමාජිකයෝ සමාජයේ බහුල වෙති. මුලු ජවිත කාලය ම අසාර්ථක වීමට තත්පරයක දී සිතු සහ ගත් තීරණය බලපායි.

සමාජයටම යම් යම් තීරණ කාවද්දවන්නවුන් අතර රාජ්‍ය පාලකයන් සහ දේශපාලන ක්ෂේත්‍රවල නියුක්ත වූවන්, සමාජ ආර්ථිකය හසුරුවන්නන්, සමාජ මතය ගොඩනඟන මාධ්‍ය කරුවන්, අධ්‍යාපන අංශයේ පරිපාලකයන් සහ ගුරුවරුන් ,ආගමික සංස්ථාවන්හි පූජක හා පූජ්‍ය පක්ෂවල කාලීනව බලවත් වන සංස්ථා සහ එම නායකයෝ වඩා මුල්වන්නෝ වෙති. ඇසෙන පෙනෙන දෑ කෙරෙහි නිවැරදි තීරණවලට පැමිණිමට අවශ්‍ය විවේකය හා චිත්ත ඒකාග්‍රතාව දිළිඳු ආර්ථික පරිසර ඇති සමාජවල දක්නට නො ලැබේ.

ඇති නැති හෝ හැකි නොහැකි හෝ වුව මිනිසා සංකල්පමය සිතිවිලි ගොඩනගයි. නමුත් දිළිඳු, දුබල, මාධ්‍ය හැකියා නැති, තැනැත්තන්ගේ මත සමාජගතවීම සුලබ නොවෙයි. එබැවින් බලවතුන් හා සමාජ නායකයන් තීරණ ගැනීමේ දී වඩාත් විමසන සුලු විය යුතු වෙයි. කුඩා ම සමාජ ඒකකය වන නිවසේ පටන් රාජ්‍යයේ නායකයා දක්වා සියලු නායකයෝ අනිත් කාරණාවලදී මෙන් ම තීරණ ගැනීමේ දී ද බුද්ධිමත් විය යුතු වෙති. එබැවින් ඔවුන් ගන්නා තීරණ බොහෝ කලක් අධ්‍යයනය කර, නැණවත්ව ගත යුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති.

ඔබ වැනි සුඛෝපභෝගි ජීවන රටාවක යෙදෙන කෙනකුට පුද්ගලයන්ගේ සිල්වත් බව, පිවිතුරු බව, නැණවත් බව හා නොසැලෙන ගුණය එක වර හඳුනාගත නො හැකි යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ සාමාන්‍ය කෙනෙකුට නොවේ. එකල ඉන්දියාවේ පැවති රාජ්‍ය රාශියක් යුද්ධයෙන් දිනා මහා අධිරාජයකු බවට පත්ව සිටි පසේනදි කොසොල් මහා රජුටය. ඒ අධිරජු සිදුහත් බෝසතුන්ගේ ජන්ම භූමියේ ද හිමිකරුවායි.

තමා දණ නමා, ශබ්ද නගා වන්දනය කළ ජටිල නිගණ්ඨ ආදි කණ්ඩායම ගැන ඒ මොහොතේ කොසොල් රජු ඉතා සියුම් රහසක් බුදුරජාණන් වහන්සේට හෙළි කරයි. එය කිසිම පාලකයෙක් නොකරන දෙයකි. එනම් එම පිරිස තමන්ගේ චර පුුරුෂයන් බවයි.තව ටික වේලාවකින් කෙස් රැවුල් බා, නියපොතු කපා, නා පිරිසුදුව අලුත් වස්ත්‍ර හැඳ ඒ ඔත්තුකරුවන් තමා හමුවන බව රජු ප්‍රකාශ කරයි. මේ ඝෝෂාව රජු කළේ තමා සිටින දිසාව ඔත්තුකරුවන්ට දැනුම් දීමටයි. සියලු රජවරු දෙස් විදෙස්වලට,දස දිසාවට ඔත්තුකරුවන් යැවීම රාජ්‍ය පාලන සම්ප්‍රදායයි. එය රාජ්‍යාරක්ෂාවට අත්‍යවශ්‍ය වෙයි.