Print this Article


පහන් සිතක කවි

බුදු හිමි ගුණ

කියා එසඳේ පසක් කළ හිමි "මම" කියන අරමුණේ හිස් කම
නොයා වෙන්වී බෙදී විසිරී ඇති ජරා මරණය උරුම යම
ගියා වැටහී නුවණ විදසුන් ලබා පහළව හදේ සැනසුම
සොයා ගති ලොව අවිදු දුම පිඹ අතැඹුලකසේ හේතු පල දම


බුදුපියාණන්ගෙන්

දත යුතු සියලු දෑ ම’විසින් දැන ගතිමි
භාවිත කළ යුතුම දෑ භාවිතා කළෙමි
අත්හළ යුතුම දෑ ම’විසින් අත් හළෙමි
එබැවින් මම තිලොවට සම්බුද්ධ වෙමි


නමදිමු මුනිඳු බැතියෙන්

බව දුක් අඳුර දුරු කළ මා හිමි සුගත
නව අරහාදි ගුණයෙන් බැබළුනා සිත
නිරතුරු මහා කරුණා ගුණ පිරුණ සිත
මරු දුර කළ මුනිඳු නමදිමි බැතිනි සිත


පෝදා අරුණැල්ල

අරුණළු උදෑසන හැම සිත තුටුකරන
කොක් රැහැනක් වගෙයි සුදුරෙදි පොරවගෙන
පියවර නගයි බැතිබර ගුණයෙන් සොබන
එදිනට අපේ පන්සල දෙව්ලොව වැන්න


පිළිවෙත් පුරමු

විකසිත පියුම් කෙමියෙහි මල් මකරන්ද
දැක දැක බඹර බිඟු රොන් පොර මනනන්ද
සික පද කඩන්නට බැහැ නොවැ සිල් බින්ද
රැක ගමි දෙනෙත් අනිතෙහි පිහිටා බැන්ද


දෙව්ලොව ගිය උවැසිය

උවසු උවැසියෝ බැතියෙන
හදවත තුළ බැතිපෙම ගෙන
නිහඬව සිහි එළවා ගෙන
සදහම වෙත කන යොමුවූ

දන් දීමේ අනුසස් ගැන
පිබිදී හද සොම්නසයෙන්
දුගී උවැසියක වෘද්ධව
පිනක් කරන සිතිවිලිගත්


සමාධි පිළිමය අභියස හිඳ

අනුරා පුරයේ වියැළුණු රුදු නල
විසුරා දමතිය සැතපුනු සිත් මල
තවරා හද මල සිසිලක් ලෙස විල
සනරාමර බුදුනෙත් මහනෙල් මල

සෙලින් උපන් බුදු රුව හමුවේ
මෙවන් සුවය ඇති නම් මා සිතුවේ
බුදුන් ඇසින් දුටුවා නම් මෙලොවේ
කියන් ලැබෙනු සුව නැත! පින් කෙරුවේ