Print this Article


විමලා මහරහත් තෙරණින් වහන්සේ

විමලා මහරහත් තෙරණින් වහන්සේ

විමලා තෙරණියෝ පෙර බුදුවරයන් වහන්සේලා පහළ වූ සමයන් හි ඉපිද මහත්වූ පින් දහම් කරන්නට වූවාය. අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වූ සමයෙහි විශාලා මහනුවර එක්තරා නගර ශෝභනියකගේ දියණියක වී උපන්නා ය. නමින් විමලා වූ ඇය ද මව මෙන් ම වෘත්තිය වශයෙන් නගරශෝභනියක වී කටයතු කළා ය.

සියල්ල සිදුවන්නේ තමාගේ සිතිවිලි හා චේතනාවන් අනුවයි. පෙර සංසාරයේ උපාදාන කරගන්නාවූ දෙයට අනුරූපව ඊළඟ තත්වය සකස් වේ. නගරසෝභනී මව්කුසක උරුමය ලද්දී ඇය විසින් කරනලද කුසල අකුසල සංස්කාරයන්ට අනුරූපවයි.

දින මහමුගලන් මහරහතන් වහන්සේ විසාලා මහනුවර පිණ්ඩපාත චාරිකාවෙහි හැසිරෙන අවස්ථාවෙහි මුගලන් තෙරුන් දුටු විමලාවෝ සුරූපී කතක් නිසාවෙන්, කුසලය ,අකුසලය නොදත් ඇය කාමයට නතුවූ සිතින් යුක්තව සසරගත අකුසල සිතේ මූලික කොට මුගලන් තෙරුන් තම වසඟයට ගැනීමේ සරාගී සිතිවිලි මතුකොට ගත්තා ය.

මුගලන් තෙරුන් වහන්සේ ඇයගේ සිරුරෙහි ස්වභාවය පැහැදිලි කිරීම උදෙසා ධර්මය දේශනා කොට වදාළ සේක. රූපය නමැති මාර වසඟයට හසුවු අයෙකුට එයින් අතමිදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. රූපයේ ආශ්වාදයෙන් සැනසෙන්නකුට එහි ආදීනවය ගොනු කිරීම ප්‍රඥාවෙන් යුක්තව ම සිදුකළ යුතු ය. දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් සමන්විත වන්නාවූ මේ කයෙහි බාහිර ඔපය. සැරසීම නොවී නම් කෙතරම් පිළිකුල් සහගත ද? කොපමණ ධනයෙන් ආඪ්‍ය වූවත් බලයෙන් ආඪ්‍ය වුවත්, මහ බලවන්තයෙකු වුවත්, රූපයේ අනිත්‍යතාව වෙනස් කළ හැකි නොවේ. පඨවි,ආපෝ, තේජෝ , වායෝ සතර මහා ධාතූන්ගෙන් සමන්විත වන්නාවූ මේ රූපයේ අසුභ ස්වභාවය දැකිය හැකිවන්නේ උතුම් ශ්‍රී සදහමින් පමණි.

පුංචි කළලයක් ලෙසින් මව්කුස උපත ලබන දරුවා ක්‍රමයෙන් වැඩි මෙලොවට බිහිවනුයේ මහත් වූ වෙනස්වීම්වලට භාජනය වීමෙනි. ළදරුවිය, ළමාවිය, තරුණ විය, මැදිවිය , මහලු විය, මරණය යන ක්‍රියාදාමයේ ඵලය උරුම කරගනී. සැබැවින්ම ජාති, ජරා, ව්‍යාධි,මරණ යන ගින්නෙන් දැවෙනුයේ රූපයේ වසඟභාවය ඇතිකර ගන්නා නිසාවෙනි. නව දොරකින් කබ, සොටු, සෙම, මුත්‍රා, අසූචි නැහැවෙමින් තිබෙන්නාවූ ඔපමට්ටම් කොටගත් ආලේපවලින් ගවසාගෙන රූපයේ යථා ස්වභාවය සඟවන්නාවු එවන් රුවකින් කොපමණ නම් මිනිසුන් වසඟ කොටගෙන සරාගී භාවයට පත්වනවා ද?

තෙරුවන් සරණගිය විමලාවෝ වර්ණවත්, විචිත්‍ර ආභරණයන් උනා දමා උපාසිකාවක වූවා ය. පසු කලෙක භික්ෂුණීන් සමීපයට පිවිස පැවිදිව වෑයම්කොට නොබෝ කලකින් ම සියලු කෙලෙසුන් දුරුකොට මහරහත් භූමියට පිවිසියා ය. ඒ ලොවට මහත්වූ ආදර්ශයක් ඇතිකරමිනි.

උතුම් අර්හත් භූමියට පිවිස තමන් වහන්සේ ලබන විරාගික, නික්ලේෂී සුවය උදානයට නැඟුවේ මහත්වු ආශ්චර්යයෙනි. එතුළින් විමලා මහරහත් තෙරණින් වහන්සේගේ චරිතය අභිපේ‍්‍රයණ වන්නේ ය. අතීතයේ සිදුවූදේ අතීතයටම දමමින් උන්වහන්සේ අතීතය ආවර්ජනය කරනුයේ උත්තරීතර වූ අර්හත් භූමියට පත්ව නික්ලේශී සිතක උරුමය ලද නිසා ය.

වර්ණයෙන් මෙන් ම රූපසම්පත්තියෙන් ද, වාසනාවෙන් පිරිවර සම්පත්තියෙන් ද, වර්ණමදය, ධනමදය, පිරිවර මදය ගර්වයට පැමිණ, යෞවන මදයෙන් ආඩම්බර වී තරුණකම නිසා අහංකාරයෙන් දැඩිවී නොසන්සුන් මනසින්, අනෙකුත් කාන්තාවන් වර්ණාදී ගුණයන්ගෙන් හැම ආකාරයකින් පහත්කොට සැළකුවාය. අනෙක් කාන්තාවන්ට වඩා වර්ණාදි ගුණයන් ඉක්මවා සිතා අන් අය අවමානට ලක්කළා ය.

නොයෙක් අපවිත්‍ර ද්‍රව්‍යවලින් පිරුණු පිළිකුල් කටයුතු මේ සිරුර මමය, මාගේය යන ලෙසින් සිතා, මගේ සම පාට ගැන්වීමෙන්, කෙස් ආදිය සකසා ගනිමින්, වස්ත්‍රාභරණයෙන් අලංකාරකොට මුවන් අල්වාගනු පිණිස දඬුමුගුරු ආදියෙන් සාදාගත් මාරයාගේ මද්ද වැනි මුවඋගුල් අටවා තබන්නාවූ මුව වැද්දෙකු මෙන් ම මමද මගේ සිරුර වෛශ්‍යාවගේ ගෙදර දොරකඩ අටවා සිටියෙමි.

යෞවන මදයෙන් මත්වු බොහෝ ජනයා පෙළඹවීමට සිනහසෙමින් සුවඳ මල් දම් වස්ත්‍රාභරණාදියෙන් ශරීරයෙහි ප්‍රකෘතිස්වභාවය වසමින් නොයෙක් අයුරින් වංචා කළෙමි.

එසේ ප්‍රමාදව වෙසෙන්නාවූ මම අද, දැන් මහමුගලන් තෙරණුවන්ගේ අවවාදයෙහි පිහිටා සම්බුදු සසුනෙහි පැවිදිව හිස මුඩුකර සඟල සිවුර පොරවා, පිණ්ඩපාත දානය වළඳා ගස්මුලක විවේක අසුනෙක හිඳ අග්‍ර ඵලය උතුම් නිවන් සුව ලැබුයෙමි.

දෙව්මිනිස් සියලු යෝගයන් සිඳ දැමුයෙමි. ආස්‍රව නිමකර සිසිල් වූයෙමි. නිවුණෙමි.

මේ ආකාරයට සියලු සරාගී ජීවිතවලට පණ පොවමින් සංසාරයෙහි නිවීමක් නොදකින්නා වූ සල්ලාලයන්ගේ ගොදුරක් වූ විමලාවෝ සියලු සරාගී සිත් බිඳ හෙලමින් විරාගි සිත් පුුබුදුවා ගත්තා ය. කාම බන්දනයන් සියල්ල බිඳ හෙලමින් කටුක සංසාර දුකින් අතමිදුණු උත්තමාවියක වූයේ පෙර පුරන ලද පාරමි ශක්තියෙනි.

ශ්‍රද්ධාව පෙරටුකොට සියලු ඍද්ධිපාද ධර්මයන් සපුරා රූපයේ අනිත්‍යභාවය රූපය තුළින් ම දැක නැවත පංචඋපාදානස්කන්ධයක් නොලබන්නියක වී, උත්තම ලාභය ලබන්නට සමත් වූ සේක.

සියලු සැරසීම්වල ඇති අනියත, අසාර නිෂ්ඵල බැව් දැක, දැන යථාර්ථයේ සැප විඳින්නට විමලා මහරහත් තෙරණියගේ නික්ලේෂි වදන් උපකාරක වේවා!