Print this Article


බුදුපිළිමයේ උපත - 74: පාපී මාරයා නැවත නැවතත් කළ ආරාධනය

බුදුපිළිමයේ උපත - 74:

පාපී මාරයා නැවත නැවතත් කළ ආරාධනය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුරජාණන් වහන්සේට කල්පයක් වුව ද වැඩවාසය කළ හැකි බව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක ස්වාමින්වහන්සේ ලෙසින් කටයුතු කිරීමට සංසාරයේ පෙරුම්පුරා ගෙන ආ ආනන්ද ස්වාමින් වහන්සේට තෙවරක්ම ප්‍රකාශ කළහ. එහෙත් මාරයා විසින් ඒ අදහසට ඉඩ නොදීම සඳහා ආනන්ද ස්වාමීන් වහන්සේට අවස්ථාව වැළැක්වූ බව ඉතා ප්‍රකට කරුණකි.

මාර පරාජය – සාංචි ස්තූප අංක 1

මේ ගැන මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබට යා හැකියැයි ආනන්ද ස්ථවිරයන්ට වදාළහ. අසුනින් නැගී සිටි ආනන්ද ස්ථවිරයෝ බුදුරජාණන් වහන්සේ වැඳ පැදකුනු කර අසළ වෙනත් ගසක් මුල හිඳගත්හ. ආනන්ද ස්ථවිරයන් එයින් ඉවත්වී ගිය නොබෝ වේලාවකින් පාපිෂ්ට මාරයා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ එකත් පස සිට මෙසේ කීවේය.

“භාග්‍යවතුන් වහන්ස, සුගතයාණන් වහන්ස, ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන සේක්වා. මේ පිරිනිවන් පෑමට කාලයයි. යම් තාක්කල් මාගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවෝ ව්‍යක්ත විනීත, විශාරද, බහුශ්‍රැත ධර්මධර සම්පූර්ණයෙන්ම ධර්මයන්ට පිවිසි නිවැරදි දෙසට නැඹුරුව ධර්මයන් අනුගමනය කරන පිරිසක් බවට පත් නොවෙත්ද ඒ අය තම ගුරුවරුන්ගෙන් ඉගෙන ඒ උගත් දෙය ප්‍රකාශ කරන, දේශනා කරන, පෙන්වා දෙන, පිහිටුවා ලන, විවරණය කරන, විභාග කරන, ඉස්මතු පැන නැගුණ පරමත ධර්මානුකූලව මනාකොට මර්ධනය කරන ප්‍රාතිහාර්ය සහිතව ධර්මය දේශනා කරන පිරිසක් බවට පත් නොවෙත්ද ඒතාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමියි පවිටු මාරයැයි ඔබ වහන්සේ විසින් වදාළ සේක් නොවේද? දැන් ඔබ වහන්සේගේ එම භික්ෂු, භික්ෂුණීහු, උපාසක, උපාසිකාවෝ පිරිස ව්‍යක්තව අනුධර්මයන් අනුගමනය කරන පිරිසක් බවට පත්ව සිටිති. ඒ අය තම ගුරුවරුන් ගෙන් ඉගෙන ප්‍රාතිහාර්ය සහිත ධර්මය දේශනා කරන පිරිසක් බවට පත්ව සිටිති. එහෙයින් භාග්‍යවතුන් වහන්ස! දැන් පිරිනිවන් පාන සේක්වා මේ පිරිනිවන් පෑමට කාලයයි”.

මාර පරාජය ගන්ධාර කැටයමක්

මාර පරාජය හා බුද්ධත්වය අමරාවතී ස්තුප කැටයම

යම්තාක් කල් මේ මාගේ ශාසනික මාර්ගය වන බ්‍රහ්මචර්යාව දියුණුවට පත් නොවේද ව්‍යාප්ත නොවේද, දෙව් මිනිසුන් විසින් මනාකොට ප්‍රකාශයට පත් නොකෙරේද ඒතාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි. පවිටු මාරයා යැයි ඔබ වහන්සේ වදාළ සේක්. නොවේද දැන් බ්‍රහ්ම චර්යාව දියුණුවට දෙව් මිනිසුන් විසින් මනාකොට ප්‍රකාශයට පත් කරන ලද්දේ වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්ස, සුගතයාණන් වහන්ස, දැන් පිරිනිවන් පාන සේක්වා මේ පිරිනිවන් පෑමට කාලයයි. මාරයා විසින් මෙසේ පැවසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “පවිටු මාරය” කලබල නොවන්න. තව නොබෝ දිනකින් තථාගතයාණන්ගේ පිරිනිවන් පෑම සිදුවන්නේ ය. අදින් තෙමසක් ගිය තැන තථාගතයාණේ පිරිනිවන් පාන සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චේතියේ දී එළඹි සිහියෙන් හා අවදි බවෙන් යුතුව ආයු සංස්කාරය අත්හළ සේක. භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ කල්හි බිහිසුණු ලොමු දැහැ ගන්වන භූමි කම්පාවක් ඇතිවිය. දෙව්පෙර පැළිණි (හෙණ පිපිරිණි) එවිට භාග්‍යවතුන් වහන්සේ මේ උදානය ප්‍රකාශ කළ සේක. මුනිතුමාණෝ නිවනද, භවයද තීරණය කරනුයේ භාව සංස්කාරය අත් හළෝය. අධ්‍යාත්මික වින්දනයෙන් හා තැන්පත් සිතින් යුතු උන්වහන්සේ පුනර්භව හේතුව යුද්ධ සැට්ටයක් මෙන් බිඳ දැමුවෝය. මහා පරිනිර්වාණ සූත්‍රය– සිංහල පරිවර්තනය සනත් නානායක්කාර – පි. 38-40 (2015) බෞද්ධ සංස්කෘතිය මධ්‍යස්ථානය)

ඉන් පසු මහා භූමිකම්පාවක් ඇති වූ හෙයින් පුදුමයට පත් වු ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ඊට හේතුව කුමක්ද? යන්න විචාළ බව බුද්ධ චරිතය නම් ග්‍රන්ථය ලියූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා මෙසේ සඳහන් කරයි. “බුදුහු භූමිකම්පාවක් සිදු වෙන හේතු අටක් ආනන්ද හිමියන්ට වදාළ සේක. 1.මහපොළොව ජලය මතද, ජලය වාතය මතද, වාතය අවකාශයෙහිද පිහිටා සිටී. වාතය හමනවාත් සමගම ජලය සැලෙයි. ජලය සැලෙත්ම පොළව සැලෙයි. 2.ඍද්ධිමත් වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වේද මහත් ඍද්ධිමත් දෙවියෙක් හෝ වේද ඔහු විසින් මදක් හෝ පෘථිවි සංඥාව වඩන ලදද ඔහු මේ පොළව කම්පා කරවයි. තදින් ප්‍රකම්පා කරවයි. තදින් වෙවුල්වයි. අනික් හේතු සය (6) මෙසේය. 1.බුදුවරයෙකු මවුකුස පිළිසිඳීම ,ඉපදීම, බුදුවීම, දම්සක් පැවැත්ම, ඉතිරි ආයු කාලය අත හැරීම ,අනුපදිසේස නිර්වාණයට පැමිණීම

(බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් පිටු 345-46-(2007)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 73: වසවර්ති මාරයාගේ පැමිණීම