Print this Article


සොමි ගුණ ගිහිණි පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

සොමි ගුණ ගිහිණි පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

සැදැහැවත් ජනී ජනයාගෙන් තමන් වහන්සේට ලැබෙන ප්‍රත්‍ය පහසුකම් හුදු තම පෞද්ගලික අවශ්‍යතාවයන් හා සුඛ විහරණය උදෙසා පමණක් කැප නොකොට, ඒවා සමස්ත සහෝදර ජනතාවගේ ම සුබසෙත උදෙසා යොදමින් උතුම් සම්බුදු සසුනෙහිත්, මිනිස් බවෙහිත් උත්තුංග පුරුෂාර්ථ සාධනය කරමින් සසුනෙහි වැඩ වෙසෙන මහා යතිවරයෙකි, අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති ඇමරිකාවේ, හිසුස්ටන් බෞද්ධ විහාරාධිපති හා තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරාධිපති සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක උපාධ්‍යාය, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වහන්සේ.

උජුපටිපන්න, සාමීචිපටිපන්න ආදී සඟ ගුණ තම දිවියෙන් ප්‍රකට කරන ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ නිරහංකාරත්වයෙන් ශෝභමාන වූ තෙරනමකි. දුටුවන් පහදවන, ආරෝහ පරිනාහ දේහයෙන් යුතු උන්වහන්සේ නිබඳ සිනාමුසු මුහුණින් ම ක්‍රියා කිරීම නිසා උන්වහන්සේගේ ඇසුර කවුරුත් පි‍්‍රය කරති. උන්වහන්සේ අපිස් බවින් සතොස්ව, සරලව, චාම්ව වැඩ වෙසෙන්නේ නූතන භික්ෂු වංශයට සිළුමිණක් ලෙසිනි. තම හැකිකම් බල පුළුවන්කාරකම්, නිලතල, බලතල, මේ ආදී කිසිවකිනිදු හිස උදුම්මා නොගෙන නිහතමානීව වැඩ වෙසෙන ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ බුදුමඟ තම දිවිමඟ කොටගෙන දිවි හිමියෙන් ම බුදුමගෙහි ම ගමන් කරන උදාර යතිවරයෙකි.

පර පටි බද්ධ වූ ජීවිකාවකට හිමිකම් කියන භික්ෂුවකට භින්න රුචික අදහස් උදහස් තිබිය නොහැකි ය. සැදැහැති, දායක කාරකාදීන්ගේ ප්‍රත්‍යය පහසුවෙන් දිවි පෙවෙත ගෙවන භික්ෂූන්ගේ පිළිවෙත ගිහියාට වඩා ඉඳුරාම වෙනස් විය යුතු ය. වරෙක බුදුරජාණන් වහන්සේ භික්ෂුව උපමා කළේ සඳුටය. (චන්දෝපමා) චන්ද්‍රයාට, භේදයක් නැත. දුගී පැලටන්, රජමැදුරටන් එකසේම තම සොමිකිරණ භේදයකින් තොරව ලබා දේ. එ පරිද්දෙන් භික්ෂුව තම යුතුකම් හා වගකීම් අභේදයකින් යුතුව ඉටුකළ යුතු ය.

අපේ පන්නිල ආනන්ද නායක හාමුදුරුවෝ එබඳු සොඳුරු භික්ෂු චරිතයකට උරුමකම් කියන මහ තෙර නමකි. ඒ බව වඩාත් පසක් වන්නේ උන්වහන්සේගෙන් සිදුවන උදාර වූද අද්විතීය වූ ආගමික, සාමාජික, අධ්‍යාපනික හා සංස්කෘතික මෙහෙවර නිසාම ය. පුරා වසර හතළිහකට ආසන්න කාලයක් යුරෝපා හා ආසියාතික දියුණු රටවල ධර්ම දූත මෙහෙවරෙහි යෙදෙමින් ලබා ගත් අනභිබවනීය, අත්දැකීම් සම්භාරයත්, මහජන සම්බන්ධතාත් පෙරදැරිකරගෙන ශ්‍රී ලාංකික ජන සමාජයට කරනු ලබන හා කරන ලද සේවාවන් වෙනත් කිසිඳු භික්ෂුවකගෙන් හෝ ගිහියෙකුගෙන් නැති තරම් ය. තම කුලය,වර්ගය, ඥාතිත්වය, පක්ෂය, ජාතිය, ආගමික ආදී සියල්ලට ප්‍රමුඛත්වය දී යුතුකම් ඉටුකරන භින්නරුචික සමාජයක අපේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ උක්ත සේවාවන්ට ඒ කිසිවක් මායිම් වුයේ හෝ සීමා වුයේ නැත.

තමන් වහන්සේට දෙස් විදෙස් දායක කාරකාදීන්ගෙන් ලැබෙන ධන ධාන්‍ය සම්පත් බදාගෙන නොවළඳන උන්වහන්සේ, බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදි බෙදාගෙන වැළඳීමට තරම් උතුම් මනෝභාවයක් ගොඩ නගාගෙන තිබීම අතිශයින් ම පැසසිය යුතුම ය. මේ වන විටත් උන්වහන්සේ ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ රජයේ පාසල් දහතුනක පමණ තෙමහල් ගොඩනැගිලි තනා පරිත්‍යාග කොට තිබීම ඊට හොඳම නිදසුනයි. එක් ගොඩනැගිල්ලකට රුපියක් කෝටි තුන හමාරක් පමණ වැයකොට ඇත. මේ වන විට සමහර පාසල්වල වැඩ ආරම්භ කොට ඇත.

පුස්තකාල, විද්‍යාගාර, දේශනා ශාලා, පන්තිකාමර ආදිය ලබා දෙමින් අපේ රටේ දූ දරුවන්ගේ ජීවිකාව ලෝකය සඳහා ආනන්ද නාහිමියන් කරනු ලබන සේවය බෝසත් චර්යාවක් ම ය. උදාර අදහස් ඇත්තවුනට මුළු පොළොව එක් පවුලකි. යන සකු සාහිත්‍යයේ එන උපදේශය අපේ ආනන්ද නාහිමිපාණන්ට ඉතා උචිත ය. ආත්මාර්ථකාමීබවින් මිදුණු කෙනෙකුට පරාර්ථචර්යාව කළ නොහැක්කක් නොවේ. අපේ සමාජය මගේ, අපේ යන පටු හැඟීමෙන් ක්‍රියාකරන්නන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරීගොස් ය. එබඳු පසුබිමක ‘පරත්ථං පටිපජ්ජථ’ යන මහා කාරුණික බුද්ධාපදේශය තම දිවියේ හරය කොටගෙන ආනන්ද නාහිමිපාණන් ක්‍රියා කිරීම නිසා උන්වහන්සේට මහ පොළොවම එක පවුලකි. ඒ නිසාමයි උන්වහන්සේ උත්තුංග සමාජ මෙහෙවර ජාලයක සක්‍රියව යෙදී ඇත්තේ.

ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේට අවශ්‍ය යමක් සමාජයට කිරීම විනා සමාජයෙන් තමාට යමක් වීම නොවේ. ඒ නිසා හුදු පටු ආකල්ප පරමාර්ථ, අපේක්ෂා කිසිවක් නොමැතිව උන්වහන්සේගේ සමාජ පෙළහර අර්ථවත් වී ඇත. යමක් කිරීම සමාජයට මෙහෙයක් කිරීම උන්වහන්සේගේ ඒකායන අරමුණයි. ඒ නිසා උන්වහන්සේ පටු ආකල්ප, අදහස් ගරු නොකළහ. මොනතරම් තර්ජන, ගර්ජන, අවලාද, අපවාද, ගැරහුම්, අවමාන මෙම සමාජ සේවාවන්වල දී පැවතිය ද ඒවා මායිම් නොකර අභිතව ක්‍රියා කිරීමට සෘජු කසේරුකාවක් අපේ පන්නිල ආනන්ද නාහිමියන් තුළ තිබීම නිවට, නියාලු බිය ගුළු, ගිහි පැවිදි සමාජයකට මොනතරම් ආශීර්වාදයක් ද?,

“උක්කාධාරො මනුස්සානං - නිච්චං අපවිතොමයා” යන බුද්ධ දේශන සූත්‍ර පාඨයට අනුව අනුන්ගේ ජීවිත දල්වාගෙන ආලෝකවත් කර ගැනීමට උදව් කරන උදවිය, පහනක් දල්වන අය බුදුරජාණන් වහන්සේගේ නොමඳ ගෞරවයට පැසසුමට, සම්මානයයට, බුහුමනට ලක්වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන නිසා අපේ පන්නිල ආනන්ද නායක හාමුදුරුවන් ද බුදුරදුන් අද වැඩ සිටියහොත් උන්වහන්සේගේ සම්මානයට ලක්වෙති. අපේ පන්නිල ආනන්ද නායක හාමුදුරුවන් බෞද්ධ, සිංහල යැයි පටු හැඟීමක් නැති නිසාමයි. කිතුනු, ඉස්ලාම් භක්තික දරුවන් අධ්‍යාපනය හදාරන පාසල්වලටද තම යුතුකම ඉටු කළේ. එය ගිහි පැවිදි ආදී සියල්ලන්ගේ පැසසුමට ලක්විය යුතු ය. පරිත්‍යාගය උතුම් බෝසත් ගුණයකි. බුදු බව ලබන්නේ ද නිවන් සුව විඳින්නේ ද පරිත්‍යාගය තුළින් තෘෂ්ණාව දුරු කරගත්තෝ ම ය. පාරමිතාවන් පුරන්නෝ නිවන් රසය අත්විඳින්නෝමය. මහායාන දහමේ පරිත්‍යාගය ඉතා උත්කෘෂ්ඨතම සාධු ජන දහමක් ලෙසයි සලකන්නේ. අපේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ මා දකින්නේ මේ සමාජ මෙහෙවර තුළින් බුදු බව සඳහා පාරමී දම් පිරීමට යත්න දරන යතිවරයෙකු ලෙසයි. උල්පතකින් ජලය ගත්තද එහි හිඟයක් නැත. අපේ නායක හාමුදුරුවන්ගේ ධන උල්පත ද සිඳීයාමක් නැත. සොඳුරු සිතිවිලි නිසා උන්වහන්සේට සීවලී මහරහතන් වහන්සේට මෙන් දායක කාරකාදීන්ගෙන් (දෙස් විදෙස්) ඕනෑ තරම් ප්‍රත්‍ය ලැබේ. ඒ නිසා ම උන්වහන්සේ නොපමාව තම කාර්ය සාධනයෙහි අනලස්ව යෙදී ක්‍රියා කරති.

සියලු සත්වයන්ට සුව පහසුව පැතීම නිර්වාණාපේක්ෂකයන්ගේ කාර්යය යි. ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ යථෝක්ත සත් කාර්යය තුළ දක්නට ලැබෙන්නේ ද එයමයි. ගිහි, පැවිදි සෑම බෞද්ධයෙකුගේ ම අත්ත හිත, පරහිතතාවය තිබිය යුතුම ය අපේ ගරුතර පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේත් සොඳුරු සිරිත අර්ථවත්ව ප්‍රකට කරන්නේ යථෝක්ත කර උණු අන් අයගේ ජීවිත හා චරිතායතනය කොට බැලීමෙනි. මිනිස් වර්ගයාගේ සුබසෙත සඳහා අනූපමේය සේවාවක නිරතව වැඩ වෙසෙන පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට තිසරණ සරණින් නිදුක් දිගාසිරි වේවා.