Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

බොහෝ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ වෙත ගෞරවාදරයෙන් බුද්ධ පූජාව අප්‍රමාණ භක්තියකින් සිදු කිරීමට ඉදිරිපත් වෙති. බුද්ධ පූජාව ශ්‍රාවකයෙකු විසින් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවධියෙහිදී ම එක්තරා ශ්‍රාවකයකු ට දුන් අවවාදයෙන් වඩාත් පැහැදිලි වෙයි. මෙම සිදුවීම පිළිබඳ විස්තරයක් කරන්න.

පිළිතුර -

බුදුරජාණන් වහන්සේගේ රූපශි‍්‍රය කෙරෙහි ලොල් බවක් දැක් වූ වක්කලී ශ්‍රාවකයාණන් වහන්සේ, දම් සභා මණ්ඩපයෙහි සැමදා උන්වහන්සේගේ අභිමුඛයෙහි සිට තමා වෙතම බලා සිටිනු දුටු බුදුන්වහන්සේ, ‘මා තෙ වක්කලී, යො ධම්මං පස්සති, සො මං පස්සති යො මං පස්සති සො ධම්මං පස්සති’ යනුවෙන් යමෙක් ධර්මය දකී නම් ඔහු මා දකින්නේ ය. ඔහු මා දකී නම් ධර්මයද දකින්නේම, යැයි වදාරා පිළිවෙත් ගරුක බව ම අවධාරණය කළහ.

තවද කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සිංහ සෙය්‍යාවෙන් වැඩ සිටින අවස්ථාවෙහි දී අවට පරිසරයෙහි නොකල්හි මල් පිපී බුදු සිරුරට මල් වගුරුවනු බලා අනඳ හිමියන්ට මෙසේ වදාළහ. ‘ආනන්ද මෙබඳු පූජාවකින් තථාගතයන් වහන්සේට පූජා පැවැත්වීම, ගරු කිරීම නියම සුදුසු දැයක් කළා යැයි අගය කළ නොහැකිය. සිව්වණක් පිරිස නව ලොව්තුරා දහමට අනුගතව පිළිවෙලින් සරුව කරන බුද්ධ පූජාව ම උසස්” යනුවෙන් වදාළහ. මේ අනුව - බුද්ධ පූජාව ආමිස හා ප්‍රතිපත්ති යනුවෙන් ආකාර දෙකකි. මෙයින් ප්‍රතිපත්ති පූජාවම බුදුරජාණන් වහන්සේ අගය කළහ.

ප්‍රශ්නය -

බුද්ධ ධර්මය අනුව කර්මය පිළිබඳ සඳහන් කිරීමෙහිදී චේතයිත්වා කම්මං කරොති’ යන්නෙන් දේශිත ධර්මය පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර -

කම්ම යන වචනයෙහි තේරුම ක්‍රියාව යන්නය. සිතා මතා කරන (චෙතයිත්වා) ඕනෑම කායික මානසික හෝ වාචසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකිය. තුන්දොරින් සිදුකරන ක්‍රියා යන්නෙන් මේ සියල්ල සැළකෙයි. සියලු මිනිස් ක්‍රියා ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ මහණෙනි ! මම චේතනාවම කර්මය කොට කියමි. එසේ නම් චේතනා රහිත, අසංචේතනික ක්‍රියා කර්ම නාමයෙන් ගිණිය නොහැකිය. බුදුන් වහන්සේ, රහතන් වහන්සේ හැර අන් සියලු දෙනාගේම චේතනාත්මක ක්‍රියා කර්ම නම් වෙයි. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් උන්වහන්සේ කුසල් අකුසල් දෙකම ඉක්ම වූහ.