UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොව ඇති උතුම් සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයයි

ලොව ඇති උතුම් සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයයි

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

"යතොච ඛො මෙ භික්ඛවෙ ඉමෙසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථාහං භික්ඛවෙ සදේවකේ ලෝකේ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධො පච්චංඤාසිං ඤාණංච පන මෙ දස්සනං උදපාදී. අකුප්පා මෙ චෙතො විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝති "

සුපින්වත්නි,

සනරාමර ලෝක සිවංකර අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසු බරණැස ඉසිපතන මිගදායේ දී කොණ්ඩඤ්ඤ ආදී පස්වග මහණුන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. මෙම උතුම් ධර්මය දේශනා කිරීමෙන් මානව පරපුරට ඇති වූ ශාන්තිය අපමණය.

චතුරාර්ය සත්‍ය ධර්මය, මනුලොව පහළවීම, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ වග සියලු සත්ත්වයන් දැන ගනීම, ලොව ඇති සියලුම යහගුණ මධ්‍යම ප්‍රතිපදාවට කේන්ද්‍රගතවීම, ප්‍රථමයෙන් කොණ්ඩඤ්ඤ තාපසයාණන් ධර්මය අවබෝධ කර ගැනීම එහීදි ප්‍රධානය.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පසු අතිදීර්ඝ කාලයක් තෙරුවන් පිළිබඳ කිසිම හැඟීමක්, දැනීමක් නැතිව සතර අපායේ දැවි දැවී සත්වයන් මෝහාන්ධකාරයෙන් මංමුලා වී සිටි අවස්ථාවක අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොව පහළවීම කෙතරම් අසිරිමත්ද,

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පෙර ලොව පහළ වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසන සමයෙහි පින්දහම්කොට දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරා, මනුලොව දඹදිව ඉපිද අපගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම ධර්ම දේශනාව අසා උතුම් නිවන පසක් කිරීමට තරම් මහා භාග්‍යයක් ඇති පස්වග මහණුන් වහන්සේලාගේ නාමය වසරින් වසර, යුගයෙන් යුගය ජන හදවත් තුළ සනිටුහන් වන්නේ ය.

උරුවේලා ජනපදයේ දී එක්වන්ව අප සිදුහත් බෝසතුන් සමඟ තවුස්දම් පුරමින් මහා දුෂ්කරක්‍රියා කරන සමයෙහි මොහු කිසිදිනක බුදුබවට පත්වන්නේ නැත යන සංකල්පයෙන් බෝසතුන් අතැර ගිය කොණ්ඩඤ්ඤ ආදී පස්වග තවුසන් නතර වූයේ බරණැස ඉසිපතන මිගදාය නම් වන උයන් පරිසරයේ ය.

කාම සුඛල්ලිකානුයෝගය නම් වූ කම්සැප විඳීමේ අන්තය හා අත්තකිලමථානුයෝගය නම් වූ ශාරීරික හා මානසික පීඩාව මිනිසාගේ සියලු යහගුණ හා ආත්ම ශක්තිය නැතිකොට විමුක්තිමාර්ගය නැතිකරන බව බෝසතාණන් වහන්සේට අවබෝධ වීමට සමකාලීන සමාජ සංස්ථාපනයන් හා ආගමික වත් පිළිවෙත් අනුගමනය කරන්නට සිදු වූ වග බෝධිරාජ කුමාර සූත්‍රය, මහා සීහනාද සූත්‍රය අරිය පරියේෂණ සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

මේ අන්ත දෙකින්ම වෙන් වූ බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම පමණක් නොව චතුරංග සමන්තාගත වීර්ය වැඩීමෙන් ඒ උතුම් චතුරංග සමන්නාගත වීර්යයෙන් ආනාපානසති භාවනාවෙන් පංච නීවරණ ධර්මයන් නැතිකොට ත්‍රිවිද්‍යා ඤාණය උපදවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්වී වදාළ සේක.

දුක්ඛාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂයෙන් දැනීමත්, සමුදයාර්ය සත්‍ය ප්‍රහීණ කිරීමත්, නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කිරීමත්, මාර්ග සත්‍ය අනුගමනය කිරීමත් තමන් වහන්සේගේ ඤාණ කුසලතාවයෙන්ම සිදුවිය.

අප බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රඥා කුසලතාවය නිසා ලොව්තුරා බුදුබවට පත්වූදා සිට අසංඛ්‍යගණන් සත්වයෝ එම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් අමාමහ නිවණින් සැනසුනාහුය. මනුලොව පමණක් නොව කාම, රූප, අරූප ප්‍රධානව මෙම විශ්වයට යථාර්ථ ධර්මයක් පවතින්නේ නම් චතුාරාර්ය සත්‍ය ධර්මයටම සංයුක්ත වන්නේ ය.

යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං යම් හේතුවක් නිසාවෙන් යමක් ඇතිවේද ඒ සියල්ල විනාශ වීම ස්වභාවයයි. යන සනාතන ධර්මය විශ්වය තුළ ක්‍රියාත්මක නොවන තැනක්, දෙයක් නැත්තේමය.

මනුලොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ලොවට පෙන්වා දෙන මෙම සනාතන දහම අවබෝධ කරගන්නේ නම් විශ්ව ශක්තියත් ඉක්මවා යන ස්වශක්තියක් ලබන්නට හැකිවන්නේ ය.

මෙම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව නිසා ලෝකයට ධර්මරත්නයද පහළවීමෙන් එතෙක් ලොව පැවති ආත්මවාදී දේව නිර්මාණවාදී, අන්තවාදී මිථ්‍යා දෘෂ්ටි චින්තාවන් මෙන්ම අපායගාමී තවුස් දම්ද පිළිවෙත්ද අනර්ථකාරී බව අවබෝධ වන්නට විය.

ලොව ඇත්තේ එකම සත්‍යයකි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. සත්වයා තම තමන්ගේ ආකල්ප සත්‍යය මත පෞද්ගලිකව හදාගත් සත්‍යයෙන් යම්කිසි වින්දනයක් ලබන්නේ නමුත් කෙදිනක හෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ප්‍රධාන සන්තාප වේදනාවන්ට යටත්වන්නේමය. මෙසේ මෙම දුක්වේදනා පිළිබඳ බුද්ධියෙන් සිතාමතා ක්‍රියා කරන්නට අදිටන් කරගන්නේ නම් එය සංසාර විමුක්තියට හේතුවාසනාවන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]