Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - සූත්‍ර හා අභිධර්ම පිටක දේශනා අනුව ක්ලේශ ධර්ම දසයකි. පැහැදිලි කරන්න.

පිළිතුර - ලෝභ, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්චා, ථීන මිද්ධ, අහිරික, අනොත්තප්ප යනුවෙනි.

ප්‍රශ්නය – විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - සංස්කාරයන් කෙරෙහි වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ සිතට නගාගෙන සිත එහි පුරුදු කිරීමෙන් භවත්‍රයෙහි කිසිවක සිත නොඇලෙයි. කිසිවිටෙකත් සංස්කාර ධර්ම ශුභවාදීව පිළිනොගනී. සංස්කාර ධර්ම පිළිබඳව නැවත වැඩීමෙන් බලවත් ව ගිය විදර්ශනාව උත්ථාන ගාමිණී විදර්ශනා යනුවෙන් නියත වශයෙන්ම නිර්වාණාවබෝධය සඳහා ම සිත යොමු කරන බව සඳහන් වෙයි.

ප්‍රශ්නය - පින් කළ අය සුගතිගාමි වෙති. ධර්මයට අනුව සුගති යන්න පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර – කාමාවචර, රූපාවචර, අරූපාවර යැයි මූලික අවස්ථා තුනකි. කාමාවචර සුගති මනුස්ස, චාතුම්මහාරාජික, තාවසිංසයයාමය, තුසිත, නිම්මාණ රති, පරනිම්මිත වසවත්ති යනුවෙන් සත්වැදෑරුම් වෙයි.

ප්‍රශ්නය - මිනිස් ලොව උපත ලද අයෙක් තමන් කළ කුසල කර්මයන්ගේ විපාක වශයෙන් මහා සම්පත් ඇති මහා සාර කුලවල උපත ලබන බව බෞද්ධ පොත පතෙහි සඳහන් වෙයි. මෙම මහාසාර කුල කීයක් තිබේද? ඒවා පිළිබඳව ඔබ උගත් යමක් සඳහන් කරන්න.

පිළිතුර – මහාසාර කුල 05 කි.

1. ගෘහපති මහාසාර සම්පත්තිය

2. බ්‍රාහ්මණ මහාසාර සම්පත්තිය

3.කෂ්ත්‍රිය මහාසාර සම්පත්තිය

4. ප්‍රදේශ මහාසාර සම්පත්තිය

5. චක්‍රවර්ති මහාසාර සම්පත්තිය යනුවෙනි.

ප්‍රශ්නය - විනය පිටකය ග්‍රන්ථ වශයෙන් ගත් විට 5 කි. පරිවාර පාලි එක ග්‍රන්ථයකි. පරිවාර පාලි ග්‍රන්ථයට අයත් ධර්ම කොටස් පැහැදිලි කරන්න.

පිළිතුර – පඤ්ඤාත්ති, ආපත්ති, විපත්ති, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත, ධම්ම වේදල්ල වශයෙනි.

ප්‍රශ්නය - නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යනුවෙන් ධර්මයට පර්යාය (විස්තර) සටහනක් ධර්ම ග්‍රන්ථවල අපට බෙහෙවින් දක්නට ලැබේ. පැහැදිලි කරන්න.

පිළිතුර - සෝවාන් මඟ ඵල, සකෘදාගාමි මඟ ඵල, අනාගාමි මඟ ඵල, අර්හත් මඟ, ඵල, නිර්වාණය යනුවෙන් එය දැක්වේ.

ප්‍රශ්නය - තෙළෙස් ධූතාංග මොනවාද? බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ තෙළෙස් ධූතාංග පිළිබඳව සටහනක් කරන්න.

පිළිතුර – පංසුකුලිකංග, තෙචීවරිකාංග, පිණ්ඩපාතිකංග, සපදාන චාරිකංග, ඒකාසනිකංග, පත්ත පිණ්ඩිකංග, බලුපච්ඡා භන්ති කංග, ආරඤ්ඤකංග, රුක්ඛ මූලිකංග, අබිහොකාසිකංග, සොසාතිකංග, යථාසන්තිකංග, සොසජ්ජිකංග ලෙසය.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝජ්ජ සූත්‍රයෙහි දී බෞද්ධ ජීවන මාර්ගයට සුදුසු වෘත්තීන් කිහිපයක් ඉදිරිපත් කළහ. ඒ මොනවාද?

පිළිතුර – කෘෂිකර්මය – කාසියා වෙළෙඳාම, වණිජ්ජා, ගවපාලනය, හොරක්ඛෙත්ත, රාජ්‍ය සේවය, රාජපොරිසෙන, වෙනත් කිසියම් ශිල්පයක්, සිරිපඤ්ඤනරෙන.

ප්‍රශ්නය - සත්වයා ස්කන්ධ හෙවත් කොටස් 05 කට බෙදනු ලැබේ. මේ බෙදීම පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - සත්ත්වයා පළමු කොට නාම හා රූප වශයෙන් කොටස් දෙකකි. නාමය ස්කන්ධ 04 කට බෙදනු ලැබේ. එවිට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් පහ ලැබේ.

ප්‍රශ්නය - ලංකා ශාසන ඉතිහාසයෙහි ඉතා සුවිශේෂී පුවතක් වංස කතාවල මෙසේ සඳහන් වෙයි. මේ ප්‍රකාශය ඇතුළත් පුවත ගැන විස්තරයක් සපයන්න.

“අහං බුද්ධංච ධම්මංච සරණං ගතො උපාසකත්තං - දෙසෙසිං සක්‍ය පුත්තකස්ස සාසනෙ ත්වාම්පිමානි රතනානි උත්තමානී නරුත්තම චිත්තං පසාදයත් වාන සද්ධාය සරණංවජ’ මම තෙරුවන් සරණ යමි. බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමයාණනි, ඔබ ද සිත් පහදවන ඒ තෙරුවන් සරණ යන්න.

පිළිතුර - අශෝක මහ රජතුමන් විසින් මසකට පමණ කලින් ලක් රජු වෙත එවන ලද මෙම දහම් පණිවිඩය, මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිසේ කාර්යභාරය පිළිබඳ කළ පෙර වදනක් ලෙස සැලකිය හැකිය.