UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකුගේ අමිල මෙහෙවර

ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකුගේ අමිල මෙහෙවර

අත්‍යුදාර ශාසනික මෙහෙවර සඳහා සිය දිවිය කැප කරමින් සමාජය සුවපත් කිරීමට ආදර්ශවත් යුග මෙහෙවරක් ඉටු කරන සංඝපීතෘන් වහන්සේ පිළිබඳව අපි වරින්වර සටහන් තබමු. අද මෙම ලිපියේ සඳහන් වන සංඝපීතෘන් වහන්සේ පිළිබඳ අපි කිහිප වාරයක් මෙයට පෙර මෙවන් සටහන් තැබුවෙමු. මෙම සටහන ද උන්වහන්සේගේ යුග මෙහෙවරෙහි තවත් ඓතිහාසික මොහොතක් සිහිපත් කිරීම නිමිත්තෙනි.


අභිනව ගොඩනැගිල්ලේ පිරිත් දෙසුමදා

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝ නායක අත්තනගල්ල රජමහා විහාරය, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ථෙරවාදී බුදු දහමේ ව්‍යාප්තියට මහඟු මෙහෙවරක් ඉටු කරන යතින්ද්‍රයන් වහන්සේ නමකි.

එම මහඟු මෙහෙවර නිසාම ලොව ධනවත් පරිත්‍යාගශීලී කලණ මිතුරන් උන්වහන්සේ වෙත දක්වනුයේ මහඟු ගෞරවයකි.

සම්බුදු සසුනේ චිරස්තිථීය පතා අත්තනගල්ල ශ්‍රී පතිරාජ සාමණේර භික්ෂු පුහුණු ආයතනය අරඹා එමඟින් ත්‍රිපිටක දහම ප්‍රධාන ජාත්‍යන්තර භාෂා පුහුණු කරමින් එමඟින් දහම් පිසාසිත ලෝවැසියන් සදහම් අමා දහමෙන් පෝෂණය කිරීමට මුල් වූහ. සැදැහැතියන්ගේ සිත් පහන් කරනු වස් අත්තනගල්ල රජ මහා විහාරය සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණ කළහ. අවට විහාරස්ථාන උදෙසා ද කළ හැකි ආධාර නොපසුබටව සිදු කළේ ය.

අත්තනගල්ල ශ්‍රී පතිරාජ පිරිවෙනෙහි පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා තෙමහල් භික්ෂු නේවාසිකාගාර දෙකක් සහ දෙමහල් නේවාසිකාගාරයක් ද ඉදි කරවුහ.

ගිහි පැවිදි අනාගත පරපුරෙහි නැණ පහන් දැල්වීමට සෙවණ සලසන ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුනාමි විපත පැමිණි විට සිය ගණනක් නිවාස ඉදිකරවාදීමට මුල් වී ක්‍රියා කළහ. රෝහල් ගොඩනැගිලි, පුස්තකාල ආදිය ඉදිකරමින් උන්වහන්සේ විසින් සලසා ඇති මෙහෙවර මෙවන් කෙටි ලිපියකින් සටහන් කළ නොහැකි තරම් මෙහෙවරකි.

උන්වහන්සේ සිදුකළ අනෙකුත් මෙහෙවරට වඩා අධ්‍යාපනයටත්, දහම් පාසල් අධ්‍යාපනයටත්, පමණක් මේ වන විට සිදු කළ හා දැනුදු සිදු කෙරෙන සේවාව සඳහා මෙම ලිපිය සීමා වේ.

ආගමික, සාමාජික, සෞඛ්‍යය ආදී මෙහෙවර රැසක නිරත වූ ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැදෙන වැඩෙන අනාගත පරපුරෙහි අභිවෘද්ධිය පතා පාසල් ගොඩනැගිලි ඉදි කිරීමේ ව්‍යාපෘතියක් මෙයට වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලදී.

එමඟින් වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත් නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙනෙහි දෙමහල් ගොඩනැගිල්ලත්, කඹුරාගල්ල පන්නිල ශ්‍රී ආනන්ද මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, දඹාන ආදිවාසී දරුවන් සඳහා දහම් පාසල් ගොඩනැගිල්ලත්, කිරිඳිවැල ශ්‍රී සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ දෙමහල් කලා සෞන්දර්ය පාසල් ගොඩනැගිල්ලත් මේ වන විට පාසල් හා දහම් පාසල් සිසු දරුවන්ගේ අයිතියට පිරිනමා ඇත.

වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම මෙම 26 වන දා උත්සවාකාරයෙන් සිදු කෙරේ.

තිහාරිය අල් අස්හාර් මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ජූලි මස දී සිසු අයිතියට පැවරීමටත්, අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල අගෝස්තු මාසයේ දී සිසු අයිතියට පත් කිරීමටත් දැනට වැඩ නිමා කරගෙන යනු ලැබේ. වෛද්‍ය සිසුන් 60 දෙනෙකු ඇතුළු පාසල් සිසු දරුවන් 800කට පමණ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් මාසිකව ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ. සෑම මසකම පළවන සෙනසුරාදා දින අත්තනගල්ල රජමහා විහාරයේ දී එය සිදු කෙරේ.

පාසල් හා දහම් පාසල් සිසු දරුවන්ගේ නැණ පහන් දල්වා අනාගතයෙහි ප්‍රබුද්ධ පරපුරක් බිහි කිරීමේ මූලික අරමුණින් සිදු කෙරෙන එම පාසල් ගොඩනැගිලි ඉදි කිරීමේ කටයුතු සඳහා මේ වන විට රුපියල් කෝටි 22 ක පමණ මුදලක් උන්වහන්සේ වැය කර ඇත. උන්වහන්සේ සිදු කරන මහඟු මෙහෙවර සඳහා ප්‍රසාදයට පත් විදේශීය හිත මිතුරන් කරන පරිත්‍යාග එබඳු මෙහෙවරක් ඉටු කිරීමට මුල් වී ඇති බව කෘතවේදීව සිහිපත් කරති.

රට දැය වෙනුවෙන් ඓතිහාසික මෙහෙවරක නිරත පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණින් චිර ජීවනය පතමු.


වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ පන්නිල ශි‍්‍ර ආනන්ද නා හිමි විද්‍යාගාර තෙමහල් ගොඩනැගිල්ල

 

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]