UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

නාරන්දෙණියේ ධම්මාවාස නා හිමි

කඹුරුපිටියේ බොරළුකැටිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරකසභික. ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය නාරන්දෙණියේ ශ්‍රී ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී රෝහණ පාර්ශ්වය මගින් “විචිත්‍රභාණි සරභඤ්ඤ විශාරද කීර්ති ශ්‍රී නන්දාරාම ධම්මසිද්ධි “ යන ගෞරවනාම සම්මුතිය සහිතව දකුණු පළාතේ උපප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා තිබේ.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ නාරන්දෙණිය නමැති ගම්පියසේ සියාසිංහ පොල්ගහමුල්ලගේ නිමලාවතී මහෝපාසිකා මාතාවගේ හා කැටියපේ ගමආරච්චිගේ දාවිත් අප්පුහාමි මහෝපාසක මහතාගේ පුත්‍රයෙකු ලෙස 1953 මැයි 28 වැනි දින ධම්මාවාස නා හිමි ජන්මලාභය ලැබීය. 1965 මැයි 10 වැනිදා ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වූයේ දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත කහවේ නන්දාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි.

1975 ජුනි 06 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයේදී ධම්මාවාස හිමියෝ උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ. එහිදී උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වූයේ කඹුරුපිටිය විලේගොඩ පිරිවෙන් විහාරාධිපති වලකන්දේ ධම්මසිද්ධි නාහිමි හා කැලණිමුල්ල විජේරත්නාරාමාධිපති පිළිමතලාවේ ධම්මපාල මාහිමියන්ය.

සතිපිරිත් දේශනා පුණ්‍යෙීත්සවයන්හි අනුශාසනා අස්න දේශනය පිළිබඳ බෙහෙවින් ම ප්‍රකට හිමිනමක් වන ධම්මාවාස හිමියෝ 1990 දී අභිනවයෙන් කඹුරුපිටිය බොරළුකැටිය බෞද්ධ මධ්‍යස්ථානය අරඹා එය අනුක්‍රමයෙන් අංග සම්පූර්ණ කොට ප්‍රදේශයේ සැදැහැතියන්ගේ මුදුන්මල්කඩ බවට පත් සිද්ධස්ථානයක් බවට පත් කළහ. ස්වකීය ගුරුදේවයන් වහන්සේට උපහාරයක් ලෙස එහි ශ්‍රී ධම්මසිද්ධි දහම් පාසල ඇරඹූ උන්වහන්සේ එදා මෙදාතුර එහි ප්‍රධානාචාර්ය ලෙස ප්‍රදේශයේ දරු දැරියන් ගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන සේවාවද වෙසෙසින් ඇගයිය යුතුය. විහාරස්ථ කාර්ය සාධක සමිතියේ හා සුධර්මා කුලඟන සමිතියේ අනුශාසක ලෙස ද ක්‍රියා කරයි.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ සමාරම්භක අවස්ථාවේ සිටම තරුණ යතිවරයෙකු ලෙස ඊට සම්බන්ධ වූ ධම්මාවාස හිමියෝ අද වන විට ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය නාහිමිනමක ලෙස සුවිශාල ශාසනික සේවාවක් සිදු කරති. තත් ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ විධායක කාරකසභික ධුරයක් ද දරමින් සංඝ සභාවේ කටයුතුවලට සේම ජාතික, ආගමික හා සංස්කෘතික සේවාවන් කෙරෙහි උන්වහන්සේ දක්වන ඍජු නායකත්වය ඉතා විශිෂ්ඨ මට්ටමක පවතියි.

නාරන්දෙණියේ ශ්‍රී ධම්මාවාස නාහිමියන් අභිනවයෙන් දකුණු පළාතේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් විශේෂ පුණ්‍යෙීත්සව මාලාවක් කඹුරුපිටියේ බොරළුකැටිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ජුනි 11 අභිනව දෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීම ඓතිහාසික කැලණිය රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් සිදු කරනු ලැබු අතර එහි දී දහම් හමුවේ මුලසුන ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප අනුනාහිමියෝ හොබවූහ.


අධි සිල් ලබති

කැස්බෑව නන්දන පිරිවෙනෙහි ඉගෙනුම ලබන කැප්පෙටිපොල සාරානන්ද හිමි හා ශ්‍රී සෝමානන්ද මහ පිරිවෙනෙහි ඉගෙනුම ලබන කැප්පෙටිපොල දීපානන්ද, කැප්පෙටිපොල දේවානන්ද, කැප්පෙටිපොල ඥානානන්ද හිමිවරු 2017 ජුනි 24 වන දින ඌවේ ස්‍යාමවංශික මහා නිකායේ කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථ ශ්‍රී සුමංගල උපෝසථාගාරයේදී උපසම්පදා ශීලය ලබති.

මුන්වහන්සේලා කැප්පෙටිපොල, පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය, ඓතිහාසික තැන්න. ශ්‍රී සෝමානන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, පිළියන්දල, සුවාරපොල, බුද්ධාලෝක මහා විහාරය යන විහාරත්‍රයාධිපති, ඌවේ ස්‍යාම වංශික නිකායේ මහානායක, සද්ධර්ම භාරතීශ්වරාචාර්ය, අග්ග මහා සද්ධම්මජෝතික ධජ ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන අඹේවෙල පඤ්ඤාසාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා විහාරාධිකාරී, වැලිමඩ ගුරු මධ්‍යස්ථානාධිපති, ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විල්ඔය පඤ්ඤාතිලක හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරු වෙති.

උපසම්පදාලාභී හිමිවරුන් පිළිගැනීම, ආශිර්වාද කිරීම, මංගල ධර්මදේශනා ජුනි මස 25,26 දිනයන් හි කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේදී හා පිළියන්දල , සුවාරපොල බුද්ධාලෝක මහා විහාරස්ථානයේදී උත්සවාකාරයෙන් සිදු කරති.


වැලිමඩගම ලංකානන්ද හිමි හෙට්ටිපොල ඤාණවිමල හිමි

අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක, බදුලු , මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිමිපාණන් වහන්සේ ,අස්ගිරිය මහා විහාරයීය සංඝ සභාවේ මහෝපාධ්‍යාය අමුණුපුර පියරතන හිමි අස්ගිරිය කාරක මහා සංඝ සභාවේ කාරක සභික, බදුලු ,මුතියංගන රජමහා විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන හිමි, උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ විහාරවාසී හදුන්ගමුවේ නන්දරතන හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය දැනට නියන්ගොඩ ධර්මාලෝක මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන වැලිමඩගම ලංකානන්ද සාමණේර නම සහ දැනට අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරන හෙට්ටිපොල ඤාණවිමල සාමණේර නම අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේදී මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිපති මහෝපාධ්‍යාය ගොමගොඩ රතනසාර නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.


මහනුවර අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක ,කුරුණෑගල ඇත්කඳ රාජ මහ විහාරාධිපති ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්සි නාහිමියන් සහ අස්ගිරිය මහා විහාරයීය කාරක සංඝ සභාවේ කාරක සභික කර්මාචාර්ය වදුරාගල ධම්මාරාම, ඇත්කද රජමහ විහාරාධිකාරි ,වීරපොකුණේ සුමංගල, තුන්හිටියාවේ රේවත විද්‍යාවේදී අනුරාධපුරයේ අරියජීව සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ දරණාගම කුසලධම්ම හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන්, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක අස්ගිරිය මහා විහාරවාසී උඩුගම සරණතිස්ස සාමණේර හිමියන් පොසොන්පුර පසළොස්වක දින අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේදී වාහලනාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් හා අස්ගිරිය මහා විහාර පරිවෙනාධිපති නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමි. අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාවේ කාරක සභික ගල්ලෑල්ලේ සද්ධාතිස්ස හිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කෙරුණි.


මැණික්හින්න හූරිකඩුව ගල්පිහිල්ළ රාජමහ විහාරය, උඩගම වටගොඩේ ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරය වේරපිටිය බුලුවේතැන්න සිද්ධාර්ථාරාමය කුණ්ඩසාලේ නිතුලේතැන්න රත්මල්විහාරය යන විහාරයන්හි අධිපති මල්වතුමහා විහාරයේ ගල්පිහිල්ල පන්සලේ භාරකාර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ශාසනා රක්ෂක මණ්ඩල අංක එක කලාපයේ ලේඛකාධිකාරි විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති උඩුගොඩ ශ්‍රී ධම්මකන්ධ දෙදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන්ගේ ශිෂ්‍ය මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ ප්‍රාචීන පණ්ඩිත උපාධිය සඳහා පෙනී සිටි පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන මැණික්හින්න හූරිකඩුවේ ගල්පිහිල්ල රජමහ විහාරස්ථ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනේ පරිවේනාචාර්ය රඹුක්වැල්ලේ නන්දාරාම ශිෂ්‍ය නම මල්වතු මහා විහාරයේ මංගල උපෝෂථාගාරයේදී වාහල නාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.


අපවත්වී වදාළ මල්වතු මහා විහාරාධිවාසී මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහ විහාරය අල්ගම ශ්‍රී සංඝරාජ රාජමහ විහාරය, වතුකන ශ්‍රී ශෛලගිරි රාජමහා විහාරය, වැලිවිට ශී‍්‍ර සංඝරාජ පුරාණ විහාරය, කැලණිය බොල්ලගල මානෙල්වතු විහාරය යන විහාරයන්හි විහාරාධිපතිව වැඩ විසූ පණ්ඩිත සාලියපුර ධර්මකීර්ති ශී‍්‍ර සරණංකර විපස්සි නා හිමිපාණන්ගේ සහ කැලණිය බොල්ලෑගල මානෙල්වතු විහාරාධිවාසි අල්ගම ශ්‍රී සංඝරාජ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති විල්ගමුවේ නන්දරතන හිමිගේ ශිෂ්‍ය මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය හදාරන වැලිවිට සරණංකර සාමණේර හිමියන් මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේදී වාහල නාග නාමයෙන් උප සම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]