UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුරාටත් මෛත්‍රී කරන්න

සතුරාටත් මෛත්‍රී කරන්න

ආදරණීය දුවේ, පුතේ අද මම ඔයාලට කියල දෙන්නේ ජීවිතයට ඉතා වැදගත් ආදර්ශවත් ජාතක කතාවක් ඒ කාලි යකින්නිය පිළිබඳ කතා පුවතයි. මේ කතාව අපේ පුංචි දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් බොහොම වැදගත් වේවි.

සැවැත් නුවර එක තරුණයකු සිටියා. පියා මිය ගියාට පසු තමන්ගේ මවට උපස්ථාන කරමින් සිටි මොහුට සුදුසු කුලයකින් රූමත් කාන්තාවක් ආවාහ කර දුන්නා. එහෙත්, ඇයට දරුවන් සිටියේ නැහැ. ඒ නිසා ඇයට කරුණු පහදා දී වෙනත් තරුණියක් තමන්ගේ පුතාට සරණපාවා දෙන්නට මවට සිදුවුණා. මෙම තරුණියන් දෙදෙනාම සැමියා සමඟ ඉතා සමගියෙන් සතුටින් ජීවත් වුණා.

කාලයකට පසුව පළමුවන බිරිඳ මෙසේ කල්පනා කරන්නට පටන් ගත්තා. ‘මට දරුවන් නැහැ දරුවෙක් ලැබුවහොත් මේ ගෙදර හා ධනයට ස්වාමි වන්නේ ඇයයි. මට ද විපත් පමුණුවන්නට ඉඩ තිබෙනවා. කල් ඇතිව ඊට පිළියම් කරන්නට ඕනෑයි සිතා ආදරය දක්වා ‘යෙහෙළිය දරුවන් නැති කුලය විනාශ වේ. දරුවෙක් ප්‍රාර්ථනා කරන්න. ඒ අපේ සැනසීමට කරුණු ය. දරු ගැබක් හටගත් විගසම මට සැළකරන්න’යි දෙවැනි බිරිඳට කීවා.

මෙලෙස දෙවන බිරිඳට දරුවකු පිළිසිඳ ගත් බව ඇයට දැන ගන්නට ලැබුණා. ඇය බොහෝ මිත්‍ර බව පෙන්වමින් සිට රහසේම දෙවන බිරිඳගේ දරුගැබ උපක්‍රමශීලීව විනාශ කළා. ඇයත් ගෙදර අයත් බොහෝ සේ දුක් වුණා.

ටික කාලයකට පසු දෙවන බිරිඳ නැවතත් ගැබිනියක් වුණා. මේ පුවත ඇය තමන්ගේ මිතුරිය වන පළමුවන බිරිඳට පැවසුවා. බොහොම නොසන්සුන් වූ ඇය රහසේම පෙර පරිදිම ඇය දරු ගැබ විනාශ කර දැමුවා.

මේ සිදුවීම පිළිබඳ දෙවන බිරිඳට පළවන බිරිඳ ගැන සැකයක් ඇති වුණා. ඇය කෙසේ හෝ තම දරු ගැබ විනාශ කරන ලද්දේ ඇය බව දැන ගත්තා. මේ ආකාරයට තුන්වන දරුවාත් පිළිසිඳ ගත්තා. නමුත් ඇය පළවන බිරිඳට ඒ පිළිබඳ කීමෙන් වැළකී සිටියා. කාලයත් සමඟ දරු ගැබ සහිත උදරය දකින විට ඇය කෝපයට පත් වුණා. නැවතත් පළවන බිරිඳ දෙවන බිරිඳගේ දරුගැබ විනාශකළා. මේ පිළිබඳ ඇය දැන ගත්තා.

ඉන් පසු ඇය මෙලෙස ප්‍රකාශ කළා. නුඹ මගේ දරුවන් දෙදෙනාම මරා දැමුවා. දැන් මේ දරුවා සමඟ මම ද මිය යමි. කියා සිටියා. තවද මතු භවයක දී මම යකින්නක්ව ඉපිද නුඹගේ දරුවනුත් මරා දමමියි ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වුණා.

මෙලෙස ඇය යකින්නක්ව ඉපිද කාන්තාවකගේ දරුවන් දෙතුන් විටකම කා දැමුවා. නමුත් තුන්වන වර ඇය දරුවා රැගෙන ගොස් බුදුරදුන් ඉදිරිපිට තැබුවා. බුදුරජාණන් වහන්සේ මේ දරුවා මරණින් මුදවා ගත්තා. ඉන් පසු අර යක්ෂණියට ධර්මය දේශනා කළා. ඒ යක්ෂණියගේ නම කාලි යක්ෂණිය.

බලන්න ආදරණීය දුවේ, පුතේ සංසාරයේ පතාගෙන ආ වෛරය, පළිගැනීමේ චේතනාව නිසා සිදුවන විපත තමන්ට කළ වරද නිසා ඇය වෛරී සිතක් ඇති කරගන්නවා. අවසානයේ මිය යන්නේත් ඒ වෛරී චේතනාවෙන්මයි. ඒ නිසාම ඇය යක්ෂණියක්ව අනිත් කාන්තාවගේ දරුවන් කා දමනවා.

දරුවනේ පුංචි දේටත් තමන්ගේ යාළුවත් එක්ක, සහෝදර සහෝදරියත්, සමඟ තරහ වෙනවා නේද? සමහර වෙලාවට පුංචි වෙලාවකට වෙන්න පුළුවන්. නමුත් සමහර තරහකම් මුළු ජීවිත කාලයකටම පවත්වාගෙන යන අය ඉන්නවා. සමහර විට ඒ අපේ නොදැනුවත්කම නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි දැනුමින්, පෝෂණය වෙලා තියෙනවා. ඒ නිසා මේ පුංචි දරුවෝ කවදාවත් කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්නවත්, වෛරී හැඟීමක් ඇති කර ගන්නවත් එපා.

අප දැකලා තියෙනවා සමහර වැඩිහිටියොත් පුංචි පුංචි වැරදි හිත් අමනාපකම් නිසා තමන්ගේ අසල්වාසීන්, මිතුරන්, නෑදෑයන් සමඟ අමනාප වී ඉන්නවා. ජීවිත කාලයම ඔවුන් සතුරන් ලෙස සිතාගෙන කටයුතු කරනවා. මම නම් ඒ මනුස්සයාගේ මළ ගෙදරටවත් යන්නෙ නැහැ. මට නම් ඒ මිනිස්සුන් දකින්නවත් කැමති නැහැ. ජාති ජාතීත් ඔය මිනිස්සුන්ට මම වෛර කරනවා. ආදී වචන අපට ඇසී තියෙනවා.

ඇයි මේ මියයන ටිකට මේ හිත් අමනාපකම්, ඇයි හිතේ වෛරී හැඟීම්, සුදු ඇඳගෙන පන්සල් ගියාට මල් පූජා කළාට වැඩක් නෑ. අසල්වැසියන් සමඟ තරහින් පුපුර පුපුරා ජීවත් වෙනවානම්, කෙතරම් පින්කම් කළත් ඵලක් වෙන්නේ නෑ.

ඔයාලා අහලා තියෙනවද දීඝායු කුමාරයාගේ කතාව. බලන්න ඔහු තමන්ගේ පියා ඝාතනය කළ පුද්ගලයන්ගෙන් කවදාවත් පළිගත්තේ නැහැ. ඔහුට ඕනෑ තරම් අවස්ථා තිබුණා. ඒත් ඔහු එහෙම කළේ නැහැ. ඔහු දැනගෙන හිටියා කවදාවත් වෛරයෙන් වෛරය නොසංසිඳෙන බවත්, මෛත්‍රියෙන් වෛරය සංසිඳෙන බවත්, බලන්න මේ ජාතක කතා වලින් අපේ ජීවිතවලට කොතරම් ආදර්ශයන් ගන්න පුළුවන් ද? කියලා

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]