Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධී සමීප භීමතිත්ථ රජ මහා විහාරාධිපති බෙන්තර ජිනානන්ද හිමියෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ගාලු කෝරලයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභිනව නා හිමියන් වෙත අටපිරිකර පූජා කළ අවස්ථාව. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

ගංවතුර සහ නායයෑම්වලින් පරලොව සැපත් වූ සැමදෙනාටම පින් අනුමෝදන් කිරීමත්, සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට හා රටට සෙත් පැතීමත් සඳහා ඉකුත්දා (05) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි. එහි දී අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නා හිිමියන් වෙත ජනාධිපතිතුමන් විසින් දැහැත්වට්ටිය පිළිගැන්වූ අවස්ථාව. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි ඇතුළු මහා නා හිමිවරු සහ අනු නා හිමිවරු ඇතුළු පූජනීය මහ සඟරුවන සහ කතානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් ද සහභාගි වූහ.
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් පවත්වන ලද බත්දන්සල ඉකුත්දා (08) පෙරවරුවේ ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබීය. පොළොන්නරුව පළාතේ ප්‍රධාන සංඝනායක උඩුගම ධම්මානන්ද හිමියන් ප්‍රමුඛ සියක් නමක් විෂයෙහි මහා සාංඝික දානයක්ද පැවැත්විණි. එහිදී ජනාධිපතිතුමා මහ සඟරුවනට දානය පිළිගැන්වූ අවස්ථාව

 මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු අංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා විසින් බෞද්ධ ග්‍රන්ථ සංස්කරණය කරමින් සිදුකරනු ලබන ධර්ම ශාස්ත්‍රීය සේවය අගයමින් අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාව සම්මතයෙන් “ධර්ම සාහිත්‍යශූරී” යන ගෞරව නාමය පිරිනමා ඇත. ශ්‍රී දළදා මාළිගාව මල්වතු අස්ගිරිය උභය මහා විහාරයන්හි පවත්වාගෙන යනු ලබන පැරැණි චිරාගත සම්ප්‍රදායන් හා චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධව බහුශ්‍රැත දැනුමක් ඇතිව ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් සංස්කරණය කර ඇති මීගහකුඹුර මහතාගේ එම සේවය අගයමින් සම්භාවනීය ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද උත්සවයේදී සිය ගෞරව නාම ශ්‍රී සන්නස් පත්‍රය අස්ගිරිමහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියන් විසින් මීගහකුඹුර මහතා වෙත අස්ගිරිය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේදී පිරිනැමූ අවස්ථාව.
- කේ.බණ්ඩාරනායක