Print this Article


වෙනසට හේතුව...

වෙනසට හේතුව...

මුහුණ, ඇඟපත සෝදන්නේ නැතිව, කිළිටි ඇඳුම් ඇඳගෙන අපිරිසුදුව ඉන්න අයට කිසිවෙක් කැමැති නෑ. අපිරිසුදුබව අප රෝගී කරනවා. යහළුවෝ, නෑදෑයෝ වගේම සමාජයේ අනෙක් අය පිළිකුල් කරනවා. අපගේ ශරීරය වගේම වචනයත් පිරිසුදු වෙන්නට ඕනෑ. නරක වචන කතා කරන ළමයි සමාජයට ලස්සන නෑ. අන් අය පි‍්‍රය කරන්නේ නෑ. යහපත් වචන කතා කරනවා නම් ‘හොඳ දරුවෙක්’ කියලා වැඩිහිටියන්, ගුරුවරුන් පවා ප්‍රශංසා කරනවා.

දුවේ, පුතේ! බොහොම ඉස්සර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සිටියා. ඒ රජතුමාගේ මංගල හස්ථියා ‘මහිලා මුඛ’ කියන ඇතා. මහිලාමුඛ බොහොම ශක්තිමත්. ලස්සනයි. දකින අයට පි‍්‍රයයි. කරුණාවන්තයි. කීකරුයි. ආචාර සම්පන්නයි.

දවසක් රාත්‍රියේ සොරකමේ යන පිරිසක් මහිලාමුඛ ඇතා සිටින මඩුව සමීපයේ ගැවසුණා. සොරකම් කරන සැටි ගැන කතා කළා. නරක වචනයෙන් එකිනෙකා ඇමතුවා.

“අප රාත්‍රියේ සිටු මැඳුරට යනවා. හොර රහසේම ඊට ඇතුල් වෙනවා. ඒ ශබ්දය ඇසී කවුරු ආවත් පහර දෙන්නට ඕනෑ. කිසි කෙනෙකුට බය වෙන්න එපා. කඩුවෙන් කපා කොටා දමන්නට ඕනෑ.” සොරුන්ගේ මෙවැනි කතා අසළ සිටි මහිලාමුඛ ඇතාට ඇසුණා. දෙවැනි දවසේත් සොරුන් එතනට ආවා. නපුරු, අයහපත් දේ කතා වුණා.

නරක වචන කිව්වා. ‘අප ළඟ කරුණාවක් නෑ. අශීලාචාරයි. මිනිසුන්ට තළා පෙළා හිංසා කර සොරකම් කරන්නට ඕනෑ.' මේ කතා ඇසුණු ඇතා කල්පනා කළා.

“මමත් දරුණුයි. ඕනෑම කෙනකුට පහර දෙනවා.” යි සිතුවා. පසුදින උදෑසනම ඇත් ගොව්වා මහිලාමුඛ සමීපයට ආවා. එක්වරම ඔහු ඔසවා බිම දැම්මා. පයින් පාගා දැමුවා.

ඇත් ගොව්වාට පහර දෙන හස්ථියා දුටු අනෙක් ඇත් ගොව්වන් ඔහු බේරා ගන්නට දුවගෙන ආවා. ඒ අයටද පහර දුන්නා. “කීකරුව සිටි මාගේ මඟුල් ඇතා හිටි හැටියේ දරුණු වුණේ කොහොමද? රජු අමාත්‍යවරයාගෙන් විමසුවා. ඔහු ඇතු සමීපයට ගියා. සොයා බැලුවා. ඇතාට කිසිම රෝගයක් නෑ. කාගේ හෝ නරක ඇසුරක් නිසා මහිලාමුඛ වෙනස් වෙන්නට ඇති. අමාත්‍යවරයා සිතුවා. රාත්‍රියේ සොරකමේ යන සොරු නිතර මේ අසළ ගැවසෙන බව දැන ගන්නට ලැබුණා.

“මඟුල් ඇතාට යහපත් වචන ඇසෙන්නට සලස්වන්න ඕනෑ.” ඇමැති රජුට පැවසුවා.

පසුදාම මහිලාමුඛ සිටි මඩුව සමීපයේ සිල්වත් බමුණන් රැස්වුණා. හොඳ වචන කතා කළා. “අප යහපත් ලෙස ජීවත් වන්නට ඕනෑ. කාටවත් හිංසා කරන්නට හොඳ නෑ. පව් සිදු වෙනවා. සියලු දෙනාට මෛත්‍රිය, කරුණාව දක්වන්නට ඕනෑ.”

මේ වචන මහිලාමුඛ ඇතාට නිතර ඇසුණා. ‘මම මගේ ඇත් ගොව්වාට පහර දුන්නා. ඔහු මට කිසිදු වරදක් කළේ නෑ. මම කළේ මොන තරම් පවක්ද? යහපත් කෙනෙක් වෙනවා.” ඇතා කල්පනා කළා. හැසිරීම වෙනස් වුණා. සන්සුන් වුණා. කීකරු වුණා. ඇතාගේ වෙනස ගැන රජුට උපදෙස් දුන් අමාත්‍යවරයා වුණේ අපේ බෝධි සත්ත්වයන් වහන්සේ.

මේ කතාවෙන් කුඩා දරුවන්ට මහඟු ආදර්ශයක් ලබා දෙනවා.වැඩිහිටියන් කරන කියන දේට ඇහුම් කන් දීම සුදුසු නෑ. අනවශ්‍ය දේ නරක නපුරු වචන කතා කරන්නට හොඳ නෑ. ශීලාචාර වෙන්නට ඕනෑ. වචනය පිරිසුදු කරගන්නට ඕනෑ. පුංචි ළමයි ඇසෙන දකින දේ අනුකරණය කරනවා. හොඳ නරක දන්නේ නෑ. අත්හදා බලනවා. සිත, කය, වචනය පිරිසුදු ළමයින්ට සමාජයේ ආදරය, ගෞරවය ලැබෙනවා. දහම් පොත පත කියවීමෙන්, දහම් කතා ඇසීමෙන් පුංචි ඔබගේ ජීවිතයට බොහෝ ආදර්ශ ලබා ගන්නට පුළුවන්. ඒ පැවතුම් ඔබගේ ජීවිතය ලස්සන කරනවා.