Print this Article


ඉගෙනීම අඩාල කරන සතුරන් කවුද?

ඉගෙනීම අඩාල කරන සතුරන් කවුද?

කායික මානසික නිරෝගී බව හොඳ අධ්‍යාපනයකට බලපාන තීරණාත්මක සාධකයන්. එහෙත් වර්තමානයේ අප දකින්නේ ඉගෙනුම ලබන දරුවන්ගේ මනස අවුල් වියවුල් කරන සාධකයන්ගේ වර්ධනයක්. එක් පසෙකින් ජංගම දුරකථන, පරිගණක ක්‍රීඩා, මුහුණු පොත සමහර රූපවාහිනී වැඩසටහන්. තවත් පසෙකින් මත්ද්‍රව්‍යය. මිනිසුන් විසින්ම නිර්මාණය කරගත්, මිනිසුන්ටම බාධා කරන මේ බාධක ‘අභිසංස්කාර බාධක’ ලෙස හැඳින්වෙනවා. ඒ වගේම යහළු මිත්‍රයෝ. දියුණුව, යහපත සලසන කල්‍යාණ මිතුරන් දැන් අඩුයි. අපේ දරුවන් වැඩි පිරිසක් හොඳ මිතුරන් ලෙස ළං කරගන්නේ, හඳුනා ගන්නේ පස මිතුරන්. ඉගෙනීමට බාධා කරන, නරක පැතිවලට යොමු කරන ආශාවන් පසු පස හඹා යන්නට බල කරන මිතුරන්. අවාසනාවකට. ඇතැම් ළමයින්ට එය තේරුම් ගන්නට ශක්තියක් නෑ.

උගන්වන දෙයට ඇහුම්කන් දෙන්නට, තේරුම් ගන්නට, ධාරණය කර ගන්නට සිතේ සංවරය අංශයයි. විවිධ අරමුණු නිසා එක තැනෙක නොසිටින, දුවන පනින සිත තැන්පත් කරගන්නට ‘අරහං’ බුදු ගුණය මඟ පෙන්වනවා. ඉගෙනීමට ගැළපෙන ලෙස අරහං බුදුගුණය ජීවිතයට සමීප කර ගන්නට පුළුවන්. එහි ගුණාත්මක බව අනුව සිත නිරෝගී වෙනවා. අරමුණු දියුණුකරගත හැකි වෙනවා. කුඩා දරුවාගේ සිට පශ්චාත් උපාධිය කරන වැඩිහිටි පිරිස් දක්වා මනසේ ඉහළ නිරෝගීබවක් ඇතිකර ගන්නට හැකි වෙනවා. ආහාරයක නියම පෝෂණය ලැබෙන්නට නම් එය නිවැරැදිව ආහාරයට ගත යුතුයි. අප පුරුදු පුහුණු කරන ගුණාංග ද එවැනියි. නිවැරැදිව ජීවිතයට සමීප කරගත්තේ නම් ලද හැකි ප්‍රතිඵල උසස්.

රහසින් වත් පව් නොකළ හෙයින් ද, කෙලෙසුන් දුරුකළ හෙයින් ද, සියලු දෙව් මිනිසුන්ගේ පූජාවන්ට සුදුසු වන හෙයින් ද බුදුරජාණන් වහන්සේට ‘අරහං’ යැයි කියනවා. කෙලෙස් දුරු කළා යනු සිත වෙහෙසවන, රෝගී කරන සතුරන් නැති කර දැමීමයි. ප්‍රායෝගික ජීවිතයේ දී අසවලා මා සමඟ තරහයි. අසවලා මට මෙහෙම කළා. හැමෝම මට සතුරුකම් කරනවා යැයි සමහරු මැසිවිලි නඟනවා. එහෙත් මේ බාහිර සතුරන්ට වඩා මනසෙහි වැඩෙන සතුරන් භයානකයි. ඒ සතුරා හඳුනාගන්නට ඕනෑ. සිතේ මිතුරුපස වර්ධනය කරගන්නට ඕනෑ. එවිට මනස නිරෝගී වෙනවා.

ඉගෙන ගන්නා දරුවන්ගේ සිතෙහි වැඩෙන සතුරන් කවුද? කම්මැළිකම, ඉගෙනීමට ඇති තරහ ස්වභාවය, භය, මට බැහැ යන සැකය, ඉගෙන ගන්නා මොහොතේ, පාඩම් වැඩ කරන වෙලාවේ සිතේ ඇතිවන කලබල ස්වභාවය ආදියයි. මේ සතුරන් හඳුනාගෙන සිත ශක්තිමත් කර ගන්නා තරමට අපට ජයග්‍රහණය ලැබෙනවා. එයද ප්‍රමාණවත් නොවෙයි. සතුරු හැඟීම් මෙන්ම සතුරු මතකද විනාශ කළ යුතු යි. පාඩම් කිරීමට අලස බවක් දැනෙනවා නම්, මම වීර්ය වඩනවා, කැප වෙනවා යන හැඟීම්වලින් සිත පුබුදුවා ගන්න. රූපවාහිනියට, මුහුණු පොතට ආදී ආශාවන්ට හිත බලකරන මොහොතේම ඒ සතුරන් බව දැන දුරු කරන්න. වහාම ඉවත් වෙන්න. ගණිතයට අකමැතිකම්, ඉංගී‍්‍රසි විෂයයට අකැමැතිනම් එයට කැමැතිබව මතකයෙන් ඈත් කරන්න. මට පුළුවන්, මම උත්සාහ කරනවා යි සිතට පවසමින් සුබවාදී ආශාවන් ඇති කරගන්න.

ඉගෙනීමට විරුද්ධව සමහර ළමයින්ගේ සිතෙහි සතුරු චක්‍ර ගොඩනැඟෙනවා. සමහර විෂයයන් අමාරු යැයි සිතමින් එය දුකක් වේදනාවක් බවට පත්කර ගන්නවා. ඊට හේතුවන මතක ද ඔවුන් සතුයි. උදාහරණ ලෙස පසුගිය විභාගයක ලැබූ අඩු ලකුණු, එසේත් නැතිනම් කොපමණ පාඩම් කළත් අමතක වන ස්වභාවය. එවිට අලසකම, බිය ගතිය ඇතිවෙනවා. මට කරගන්නට බැරිවෙයි යන විශ්වාසය ඇතිවෙනවා. මේ හැඟීම් චක්‍රයක් ලෙස කැරකෙනවා එය තිබෙනතාක් ඉගෙනීමේ හැකියාව ඇති වන්නේ නෑ. මේ නිසා සතුරු සිතිවිලි, බාධාකාරී චක්‍රය කඩා බිඳ දමා අධිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනෑ. දක්ෂතා දියුණුවනතුරු හිතට ඒ බව පවසන්නට ඕනෑ.

මේ දුර්වලතා, සතුරු සිතිවිලි ඇතැම් ළමයින්ට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි වෙන්නට පුළුවන්. එවිට නිවැරැදි උපදේශනයකට යොමු විය යුතු යි. එක් දිනක් අප වෙත උසස් පෙළ හදාරන දරුවෙක් යොමු කෙරුණා. මවුපියන්ගේ වැරැදි රූපකාරව මවාගෙන් ඒ ගැන කල්පනා කරමින්, දුක්වෙමින්, තරහ සිතින් සිටිය ඒ දරුවාට පාඩම් කරන කිසිම දෙයක් ධාරණය වුණේ නෑ. අලස ස්වාභාවයක් පෙන්නුම් කළා. උනන්දුව නැතිවුණා. දුකෙන් කල්ගත කළා. විභාගයේ ලකුණු පහළ වැටුණා. එහෙත් ඒ වැරැදි රූපකාර සතුරු චක්‍රය කඩා දමා ඉගෙනීමෙන් දියුණුවිය හැකි මිතුරු චක්‍රය පෙන්වා දී උපදෙස් ලබාදීමෙන් ඔහු යතා තත්ත්වයට පත්වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පවා යොමු වුණා. සිත දුර්වල කරන තවත් සතුරන් පිරිසක් සිටිනවා. සමහර ළමයි පාසල් යනවා. අමතර පන්තිවලට නොකඩවා සහභාගී වෙනවා. ඉගෙන ගන්න උනන්දු බව අනුන්ට පෙන්වනවා. ඒත් තමන්ගේ සිතින් දුක් විඳිනවා. මට ඉගෙන ගන්න අමාරුයි. කම්මැලි සිතෙනවා. බය හිතෙනවා. තමන්ටම අකැමැත්ත ප්‍රකාශ කරගන්නවා. මේ නිසා ඉගෙනීමෙහි දුර්වල වෙනවා.

මේ සතුරු සිතිවිලි, සතුරු චක්‍ර හඳුනා ගන්නට ඉගෙනීමෙහි පසු බසින දරුවන් උත්සාහ කළ යුතුයි. ඒ සතුරන් නිසා මිතුරු සිතිවිලි වර්ධනය කර ගන්නට වැඩිහිටියන් ඔවුන්ට උදව් කළ යුතුයි. එවිට හැම දරුවෙකුටම අධ්‍යාපනයෙන් නිසි ඵල ලබා ගන්නට පුළුවන්.