Print this Article


බුදුදහමේ ව්‍යාප්තිය

බුදුදහමේ ව්‍යාප්තිය

බුදුදහම විශ්වීය දහමක් බවට පත් වූයේ අද ඊයේ නොවේ. වර්ෂ දෙදහසකටත් වඩා ඈත කාලයකදීය. කුඩා රාජ්‍ය සිය ගණනකට බෙදී තිබුණූ ඉන්දියානු අර්ධද්වීපය පළමුවරට එකම රාජ්‍යයක් වශයෙන් එක්සේසත් කළ අශෝක මහාධිරාජයාගේ කාලයේ සිට ය. ලංකාවේ වංශකථාවලින් සහ ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සාධකවලින් තහවුරු වන පරිදි, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන් වන සංගායනාව පැවැත්වීමෙන් අනතුරුවය.

කලකට පසු උතුරු ඉන්දියාවේ හිමාලය කඳුවැටියෙන් එහා පිහිටි තිබ්බතය, චීනය, මොන්ගෝලියාව ආදි ඈත පෙරදිග රටවලට බුදුදහම පැතිර ගියේය. ශතවර්ෂ ගණනාවක් ගතකළ ඒ ව්‍යාප්තිය ජපානය දක්වාම විහිද ගියේය. ඒ වන විට මුළු මහත් ආසියා මහද්වීපයේම ආගම වූයේ බුදුදහමයි.

අශෝක මහාධිරාජයා දේශපාලනමය වශයෙන් ගොඩනගා ගත් සම්බන්ධතා ඔස්සේ හින්දුකුෂ් සහ හිමාලය යන කඳුවැටිවලින් බැහැර ලෝකයා අතරත ඉන්දියාව පිළිබඳ අවබෝධය විශාල වශයෙන් පුළුල් වී ගියේය. ඒ අනුසාරයෙන් ඉන්දියාවට පිවිසී ගී‍්‍රක ජනයා මෙන්ම ඈත පෙරදිග සිට පැමිණි යුඑචි වැනි ගෝත්‍රිකයෝ ද බුදුදහම වැළඳ ගත්හ.

අශෝක යුගයෙන් පසු බුදුසමයේ ව්‍යාප්තියට බුදුසමය ප්‍රතිෂ්ඨාපනය වූ රටවල පිහිටවූ මහාතෙරවරුන්ගේ හා මහා තෙරණියන්ගේ උනන්දුව ඊට බෙහෙවින් උපස්ථම්භක විය. ඉතා සැකෙවින් සඳහන් කරතොත් ආසියාව පුරා පැතිරී ගිය බුදුසමය යුරෝපයට පමණක් නොව ලෝකයේ විවිධ දේශවලට හඳුන්වා දෙනුලැබුවේ ථෙරවාදී, මහායානික භික්ෂු භික්ෂුණීන් විසිනි. ඒ අතින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ වෙනත් කිසි රටකට නොදෙවෙනි ස්ථානයකි. වළගම්බා රජු දවස පැවැති රාජ්‍ය වියවුල් සහ දීර්ඝකාලීන සාගතය හේතුවෙන් බුද්ධධර්මය කටපාඩම මගින් පරපුරෙන් පරපුරට ගෙන ඒම අවදානම් සහිත ක්‍රියාදමයක් බව රාජ්‍යයත්, භික්ෂූන් වහන්සේත්, රටවැස්සෝත් වටහා ගත්හ. එවැනි උවදුරුවලින් මුදා ගැනීමපිණිසපළමුවරටත්‍රිපිටකයග්‍රන්ථාරූඪ කරන ලදී. ලංකාව බුදුසමයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ප්‍රධාන සාධකය වූයේ මෙයයි. ඒ කාලයෙන් පසුව දියුණු වූ අන්තර්ජාතික සම්බන්ධතා සහ පෞද්ගලික දේශසංචාර ලෝකජනතාව අතර ගෞතම ශාසනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට මහෝපකාරි විය.ඒ අතින් සලකන කල, යුරෝපීය ආක්‍රමණිකයන් ලංකාව පාලනය කළ යුගයේ අවසාන කාලය වැදගත් වේ. ඇමෙරිකානු ජාතිකයෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාගේ සහ රුසියානු ජාතික බ්ලැවට්ස්කි මැතිණියගේ සම්ප්‍රාප්තිය නිසා ලංකාව තුළ බුද්ධාගම පිළිබඳ උනන්දුව දියුණු වු අතර එකල පහළ වූ අනගාරික ධර්මපාල තුමාගේ ක්‍රියාකලාපයන් මගින් බෞද්ධ ලෝකය තුළ සමගිය ශක්තිමත් විය.

ආසියාකරයේ බුදුදහම ව්‍යාප්තවීමේ ඉතිහාස කථාව බොහෝ පැරැණි වුවද, බටහිර ලෝකය බුදුදහමහඳුනාගනු ලැබුවේඑතරම් ඈත යුගයකදී නොවේ.

අපරදිගියන් ක්‍රිස්තු වර්ෂයෙන් 12 වෙනි 13 වෙනි සියවසේදී පමණ දේශ ගවේෂණය අරඹන්නට පෙර ඔවුන් පෙරදිග ලෝකය පිළිබද දැනුම ලැබුවේ ආරංචි මාත්‍රයෙනි. ඔවුන්ට ඒ පිළිබඳ යථාවබෝධයක් ලැබෙන්නට පටන් ගත්තේ ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ දේශාටනය කරන්නට පටන් ගත් තැන් සිටය. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කාරණය වන්නේ ඔවුන් පෙරදිගට පැමිණියේ මෙහි පැවැති ආගම හෝ සංස්තකෘතීන් පිළිබඳ ගෞරවයකින් හෝ ආදරයකින් නොවන බවයි. ඔවුන්ගේ පරමාභිලාෂය වූයේ ඔවුන්ගේ ආගම් හා සංස්කෘතින් මෙහි පතුරුවා මෙහි ජනතාව ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමයි. ඔවුන්ගේ බලය පැතිරවීමයි. එසේ වූ නමුත් කල් යත්ම ඒ විජාතික සංස්කෘතින් තුළින්ම ජනිත වූ බුද්ධිමත්හු දැඩි කැපවීමෙන් දේශීය ආගම්වල හා සංස්කෘතින්හී අගය වටහා ගැනීමට වෑයම් කළහ.

ඉන්දියාවේ සංස්කෘත භාෂාව සමඟ හින්දු සහ ජෛන ආගම් ද ලංකාවේ පාලිභාෂාව සහ ථේරවාදී බුදුදහමද විචාරශීලි ව අධ්‍යයනය කළ ඔවුහු ඒවා බටහිරට හඳුන්වා දීමෙහිලා පුරෝගාමී වුහ. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදි සිවිල් නිලධාරියෙකු වශයෙන් මෙහි සේවයට පැමිණි ටී ඩබ්ලිව්. රීස් ඩේව්ඩ්ස් මහතා ඒ අතින් විශේෂයෙන් අගය කළ යුතුවේ. ලාංකික භික්ෂූන් වහන්සේලාගෙන් පාලි භාෂාව සහ බුද්ධධර්මය ඉගෙන ගත්තා පමණක් නොව,තම රාජකාරියෙන් ඉවත් ව සියරට ගොස් රීස් ඩේවිඩ්ස් මැතිණිය සමඟ එක්ව එහි පාලි, පොත් සමාගම නමින් ආයතනයක් පිහිටුවා සම්පූර්ණ පාලි ත්‍රිපිටකයත් එහි අටුවා ටීකාදියත් මහා වංස ආදි ත්‍රිපිටකයට ඇතුළත් නොවු අනෙකුත් පාලි ග්‍රන්ථත් පළමුව ඉංගී‍්‍රසි අකුරින් පළ කොට, දෙවැනිව ඒ සියල්ල ප්‍රවීණතම වියතුන් ලවා ඉංගී‍්‍රසි භාෂාවට නගා ප්‍රසිද්ධ කළේය.

විසිවන සියවසේ චීනයත්, තිබ්බත දේශයත් අතර උද්ගත වූ අරගලයක් හේතුවෙන් තිබ්බත දේශයේ ආගමික නායකත්වයත් රාජ්‍ය නායකත්වයටත් නියෝජනය කළ දලයි ලාමා තුමා එරටින් බැහැර වීම බුදුසමය ලෝකය පුරා විසිරීයාමට ප්‍රබල හේතුවක් විය.

මෙලෙසින් වර්ෂ දෙදහස් පන්සියයකට වඩා ආයුකාලයක් වින්දනය කරන බුදුදහම අහිංසාව සහ සාමය පිළිබඳ සංදේශය මගින් ලෝක සභ්‍යත්වය පෝෂණය කිරීමෙහි ලා පිරිනැමු දායකත්වය අනන්තාපරිමාණ වේ.

ඉහත විස්තරයෙන් පළ වන පරිදි, බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය නියෝජනය කරන වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් වීම මානව ප්‍රගතිය හා සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලැබු ඉතා බුද්ධිමත් තීරණයකැයි කිව යුතු වේ. ඒ පිළිබඳ යෝජනාව 1999 දි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ එකල ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍ය ධුරය ඉසුලූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසිනි.