Print this Article


අසිරිමත් ජාත්‍යන්තර වෙසක් උළෙල ආගමික ජාතික සංහිඳියාව පිළිබඳව ලොවට කරුණු කියාපෑමටත් අවස්ථාවක් - මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලඅසිරිමත් ජාත්‍යන්තර වෙසක් උළෙල ආගමික ජාතික සංහිඳියාව පිළිබඳව ලොවට කරුණු කියාපෑමටත් අවස්ථාවක් - මහනුවර

අසිරිමත් ජාත්‍යන්තර වෙසක් උළෙල ආගමික ජාතික සංහිඳියාව පිළිබඳව

ලොවට කරුණු කියාපෑමටත් අවස්ථාවක් - මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

" බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම බෞද්ධයන්ට පමණක් සීමා වූවක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම ශාන්තිය උදා කර දෙන දහමකි. මිනිසාගේ හිත පිණිස, සුව පිණිස, අර්ථ සිද්ධිය පිණිස උන්වහන්සේ දේශනා කොට වදාළේ. සියලු පව් නොකරන ලෙසත්, සියලු කුසල් දහම් රැස් කරන ලෙසත්, තම සිත පිරිසුදු කර ගන්නා ලෙසත්ය. බුදුදහම ලොව පුරා වෛරය හෝ යුද්ධය පතුරුවන දහමක් නොව, අවිහිංසාව, මෛත්‍රිය, සාධාරණත්වය හා ලෝකසාමය ඇති කර ගැනීමට මග පෙන්වාලන දහමකි."

“සුඛො බුද්ධානං උප්පාදො”

බුදුවරුන්ගේ උපත සැපයට හේතුවකි.

මහා කාරුණික තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ බිහි වීම, බුදුවීම, පිරිනිවීම, යන අසිරිමත් තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය, තුන්ලෝ වැසි සියලු දෙනාට ශාන්තිය උදා කර දුන් ශ්‍රේෂ්ඨ දිනයකි. බෞද්ධ ලෝකයාට එබඳු තවත් මංගල දිනයක් නොවන්නේය.

අප මහා බෝසතාණන් වහන්සේ ලුම්බිණි නම් සල් උයනෙහි මවුකුසින් බිහි වූයේ වෙසක් පුන් පොහෝ දිනයකය. එම උපත ලෝ වැසියන්ගේ පරම සැපය පිණිස විය. සමතිසක් පාරමී දම් සපිරූ සිදුහත් කුමරු, ගිහිගෙයින් නික්ම පැවිදිව, ආත්ම පරිත්‍යාගයෙන් භාවනාවෙන් සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන බුද්ධත්වයට පැමිණ වදාළේත් වෙසක් පුන් පොහෝ දිනයකමය. පන්සාළිස් වසක් තිස්සේ සියලු සතුන් කෙරෙහි මහා කරුණාවෙන් ධර්මය දේශනා කොට, කෙලෙස් ගින්නෙන් දැවී සිටි මිනිසුන් එයින් මුදවා, ලෝක සත්වයාට වැඩ සැලසූ බුදුරජාණන් වහන්සේ අසූවන වියේ දී මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පොහෝ දිනකදීමය.

මිනිස් වර්ගයා අතර බිහි වූ අතිශ්‍රේෂ්ඨතම පුරුෂෝත්තමයාණන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ බවත්, මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා වන්නේ ද මානව දයාවෙන් පිරි බුදුන් වහන්සේ බවත්. එච්.ජී. වේල්ස් වැනි වියතුන් විසින් ද ප්‍රකාශිතය.

මෙම අසිරිමත් පූජනීය දිනයේ දී ලෝ වාසි සියලු බෞද්ධයෝ දානාදී ආමිෂ පූජාවන්ගෙන් ද, සීල භාවනාදී ප්‍රතිපත්ති පූජාවන්ගෙන්ද, සැරසිල්ලෙන්, තොරණින් හා ප්‍රදීපාලෝකයෙන්ද, බුදුන් වහන්සේට පූජෝපහාර දක්වති. මෙසේ වෙසක් පුන් පොහෝ දිනයේ දී පමණක් නොව අන් සියලු පොහොය දිනයන්හි බෞද්ධයන් විසින් අටසිල් සමාදන් වීමාදී ධර්මානුකූල වතාවත්හි යෙදීම බුදුන් වහන්සේ අනුදැන වදාළ සේක. සක්දෙවිඳු පවා මනුලොව පොහොය අටසිල් සමාදන්වන සත්ජනයන්ට තම නමස්කාර පූර්වක ගෞරවය පිරිනමන ලදී.

දුරාතීතයේ සිට භාරතීය සමාජයේ පැවැති වෙසක් පොහෝ දිනය ඇතුළු පොහෝ දින දාන, සීල, භාවනාදී ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරීමේ සිරිත මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමවීමෙන් අනතුරුව සිරිලක ද ප්‍රචලිත විය.

උතුම් වෙසක් පුන් පොහෝ දිනයෙහිම තවත් වැදගත් ශාසනික කටයුතු කීපයක් සිදු වී ඇත. දීපංකර බුදුන් දවස මහබෝසතාණන් ගෞතම බුදු පදවිය පිණිස නියත විවරණ ලැබුයේත්, සිදුහත් කුමර සමයෙහි රෝගියෙකු දැක සසර කලකිරුණේත්, ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේත්, බුදුරජාණන් වහන්සේ ලක්දිව සොළොස්මස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් පූජාර්භ බවට පත් කළේත් වෙසක් පුන් පොහොය දිනයකදීය. ලා රට විජය කුමරු සත්සියයක් පිරිස සමග සිරිලකට පැමිණීමෙන් සිංහල ජාතියේ සමාරම්භය සිදු වූයේ ද වෙසක් පුන් පොහෝ දිනයකය. දෙවනපෑතිස් මහරජු දෙවන වරට අභිෂේක ලැබුවේත්, මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා මහෝත්සව ආරම්භ කරනුයේත් වෙසක් පුන් පොහොය දිනයේ ය.

තථාගතයන් වහන්සේ විසින් දේශිත දහම බෞද්ධයන්ට පමණක් නොව සියලු ලෝක ප්‍රජාව කෙරෙහිම යහපතක් උදා කර දුන් අයුරු ඉන්දියාවේ හිටපු අගමැති ජවහර්ලාල් නේරුතුමන් සිර කුටියක ගත කළ කාලය තුළ, ලක්දිව අනුරපුර ශුද්ධ නුවර මහමෙව්නා උයනේ ඓතිහාසික සමාධි බුදු පිළිමයේ ඡායාරූපයක් එල්ලාගෙන එය දෙස බලා සිටීමෙන් තමාට ජීවිතයේ උත්කෘෂ්ඨ ආශ්වාදය ලැබුණු බව ඔහුගේ ජීවිත කතා පොතේ සඳහන් කර ඇත. එතුමා ශ්‍රී ලංකාවේ 1937 බුද්ධ ජයන්ති වර්ෂාවසාන මහෝත්සවයන්ට සහභාගි වීමට පැමිණි අවස්ථාවෙහි ලෝක සාමයේත්, ජාත්‍යන්තර සහයෝගයේත් අභිවර්ධනය පිණිස බුදුදහම මුල්වන අයුරු පහදා දුන්හ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම බෞද්ධයන්ට පමණක් සීමා වූවක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම ශාන්තිය උදා කර දෙන දහමකි. මිනිසාගේ හිත පිණිස, සුව පිණිස, අර්ථ සිද්ධිය පිණිස උන්වහන්සේ දේශනා කොට වදාළේ. සියලු පව් නොකරන ලෙසත්, සියලු කුසල් දහම් රැස් කරන ලෙසත්, තම සිත පිරිසුදු කර ගන්නා ලෙසත්ය. බුදුදහම ලොව පුරා වෛරය හෝ යුද්ධය පතුරුවන දහමක් නොව, අවිහිංසාව, මෛත්‍රිය, සාධාරණත්වය හා ලෝකසාමය ඇති කර ගැනීමට මග පෙන්වාලන දහමකි. ඒ නිසාම එම දහම ලෝක නායකයන්ගේත් විද්වතුන්ගේත්, සියලු ලෝ වැසියන්ගේත් මානුෂික පරිවර්තනයක් ඇති කිරීමට සමත් විය.

මෙම සත්‍ය ධර්මයේ යථාර්ථය ලෝක නායකයන්ට පෙන්වා දෙමින් ජාත්‍යන්තර වෙසක් දිනයක් පිළිබඳ සංකල්පය මුල් වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට යොමු කළේ වර්ෂ 1950 වැන්නේ දී ශ්‍රී ලංකාවේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා විසිනි.

ඉන් අනතුරුව 1999 දෙසැම්බර් මස 15 වන දින 54 වන සැසි වාරයේ දී න්‍යාය පත්‍රයේ 174 වන වැඩසටහන වශයෙන්, ජාත්‍යන්තර වෙසක් උත්සවය පිළිබඳ යෝජනාව අභාවප්‍රාප්ත ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යව සිටි ලක්ෂමන් කදිරගාමර් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, මුල්ම ජාත්‍යන්තර වෙසක් උත්සවය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී 2000 වසරේ දී බෞද්ධ රටවල් 34 ක සහභාගීත්වයෙන් සිදු විය.

මෙසේ ආරම්භ කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය, තායිලන්ත රජය සහ මහාචූලාලංකාර බෞද්ධ විශ්වවිද්‍යාලය විසින් ද, වියට්නාම රජය විසින් ද, වරින් වර පවත්වාගෙන එන ලදී. මෙවර ලක් රජය විසින් වර්ෂ 2017 වැන්නේ ජාත්‍යන්තර වෙසක් දිනය සමාජ සාධාරණත්වය හා ලෝක සාමය තේමා කොට පිරිසුදු ථෙරවාදී බුදුදහම නොනැසී පවත්නා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම සියලු බෞද්ධයන්ගේ සතුටට හේතු වේ.

ලෝකයේ බෞද්ධ රටවල් රාශියක් එක්තැන් කොටගෙන මෙවර ජාත්‍යන්තර වෙසක් දිනය තෛ‍්‍රනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට රජය විසින් පියවර ගෙන තිබීම තුළින්, ශ්‍රී ලංකාවේ බෞද්ධයන් පිළිබඳ බොහෝ රටවල්හි පවත්නා දුර්මත හා අසත්‍ය ප්‍රකාශ බිඳ හෙළීමටත්, අතීතයේ පටන් ශ්‍රී ලංකාව තුළ පවත්නා ආගමික, ජාතික සංහිඳියාව පිළිබඳවත් ලොවට කරුණු කියාපෑමටත් අවස්ථාව උදා කර දෙනු ඇත.

ශ්‍රී ගෞතම තථාගතයන් වහන්සේ විෂයෙහි ගෞරව ප්‍රණාමය උදෙසා පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත්, මෙම ජාත්‍යන්තර වෙසක් දිනය සඳහා සහභාගිවීමට ලෝකයේ නන් දෙසින් පැමිණෙන විදේශ බෞද්ධ නියෝජිතයන් සැමටත්, සෙසු බෞද්ධ දූත පිරිස් වලටත් අපගේ සුභාශිංසනය නොමඳම හිමිවනවා ඇත.