Print this Article


පහන් සිතක කවි

බුදුරදුන්ගේ මහා කරුණාව

ඉපදී බුදුන් වී පිරිනිව් දිනය අද
බොදු හදවත් තුළින් ඒ බව දකින වද
මෙදවස ගත කරන හැම සිත් සතන් මැද
දෙසුදම් පොදින් බිඳකුදු සිහි කරන වද

උදයෙන් අවදි වී මහ කරුණාව හෙළා
පිහිටක් වන්න ඇති හැම සිහිපත් කරලා
පෙර පින් ඇතොත් ඔහු හා ඈ වෙත වැඩලා
සුමගට ගත්තේ බුදු හිමියන් දම් දෙසලා

නාලාගිරිට මෙන් එක පුතු රාහුලට
පෑ මෙත එකලෙසය වැඩි නැත කිසිවකුට
පින් ඇති කෙනෙකු දුටුවොත් බුදුහිමි නෙතට
පිළිසරණක් වුණේ වැඩියෙන් පෙර මඟ ට


වෙසක් පැතුම

සිරිලක අපදිනු මව්බිම රට සුරකිව නඟාලන්න
ජාතිය කුල මල විසිකර එකමුතු වී පෙරට එන්න
ජාතික උත්සවය වෙසක්, අරමුණ මත දිවි ගෙවන්න
සම්බුදු තෙමඟුල සිහිකර වත්පිළිවෙත් හුරු කරන්න

තිස්තුන් පැයෙ බුදු මැඳුරෙන් හේවිසි බෙර හඬ නැගෙන්න
බුද්ධ ධම්ම සංඝ බෙලෙන් සැමහට බුදු මඟ පෙනෙන්න
රහතුන් වැඩ සිටි පින්බිම වැඳ කෙලෙසුන් නිවාගන්න
මෙතේ බුදුන් දැක සසරෙදි සංසාරෙන් එගොඩවන්න


දහම් මෙහෙවර

රියන් දෙරියන් අට අසුවූ
පිළිම දෙනෙතින් දැකගමු
අමාදම් මල් නෙළා අපි
දිවියෙ මාවත සරසමු
පහන් සිතිවිලි ජනිත කරමින්
ත්‍රිවිධ මානය සිඳලමු


වෙසක් සඳ

දන් සිල් භාවනා පැතිරෙන වෙසක් සඳ
යහකම් මිනිස්කම් මතුවන වෙසක් සඳ
සනරාමර සමිඳු සමරන වෙසක් සඳ
ගම රට එළිය වේ වැසිය ම වෙසක් සඳ

තුරුලිය මලින් විසිතුරු වෙන වෙසක් සඳ
සිරි පද වැඳ සිඹින පැහැබර වෙසක් සඳ
ලොව්තුරු බණ ඇසෙන සැනසෙන වෙසක් සඳ
හැම සඳකටම වැඩියෙන් හොඳ වෙසක් සඳ

සහජීවනය හා සාමයෙ වෙසක් සඳ
සරලව සැහැල්ලුව හිනැහෙන වෙසක් සඳ
කවි සිත පුබුදුවන නැළවෙන වෙසක් සඳ
මට ඔබ සිටින තැන නිවනකි වෙසක් සඳ


එදවස වගේමය

බුදුන් දුටු සඳ , එදා වාගෙම අදත් පායනවා
සුපින්බර සිත කෙලෙස් ගිනිගෙන හදක් පාරනවා

එදා අරලිය පිපුණු දෙවැටේ මේ සඳම හිනැහී
පන්සලට යන පින් කරන අය තුන් සිතම සැනසී

නිවන් දකිනා ජාති දක්වා සසර අපි යනවා
වන්දනා කළ පින්බිමක් නැත මං මුළා වෙනවා

උනුන් පරයා නැගී එන්නට සටන් කොට පැරදී
මලක් මලසුන මත තැබූවත් ජීවිතය වැරැදී

හෙටත් මේ සඳ වීතරාගී කිරණ දී පායා
සම මෙතින් ලොව එළිය කරමින් දහම් රස වීදා

සිහින මන්දිර තුළම සිරවී පාප ගිනි ජාලා
පහස විඳ විඳ ගෙවු දිවියට දේවි රැස් මාලා