Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

ශීලය හා ශික්ෂාපද අතර වෙනස පැහැදිලි කරන්න.

පිළිතුර -

සීලය හා ශික්ෂාපදයන්හි වෙනසක් තිබේ. ශීලය නම් පරමාර්ථ සාධනයෙහි (නිවනට යොමු වූ අය) විසින් ස්වකීය පුහුදුන් ගති පැවැතුම් පාලනය කරනු ලබන පිළිවෙළ සහ ඒ සඳහා ඇති කරගනු ලබන පුරුද්දය. එම හැසිරීම් රටාව දිගින් දිගටම පවත්වාගෙන යාම තුළින් මනසෙහි උසස් බව රැකේ. එය එක් අතකින් කුසලයෙකි. සිල් රැකීම උසස් ක්‍රියාවකි. එහෙත් එය නොරැකීමේ හේතුවෙන් කිසියම් දඬුවමකට යටත් නොවේ. ශික්ෂාපද යනු එක්තරා ආකාරයක නීතිරීති මාලාවකි. නීතියක් පනවනුයේ හේතුවක් ඇතිවය. එබැවින් නීතියක් කැඩූ විට ඒ සඳහා නියම වූ දඬුවම් ක්‍රමයක්ද ඇත. ථෙරවාදී සම්ප්‍රදායට අනුව ශික්ෂාවද ප්‍රධාන වශයෙන් දෙවර්ගයකි. එනම් ආභිසමාචාරික සික්ඛා සහ ආදිබ්‍රහ්ම චරියක සික්ඛා යනුවෙනි.

ප්‍රශ්නය -

සදැහැසිතින් ගිහිගෙයින් නික්ම සසුන්ගත කුලපුත්‍ර වූ ඔබලාට නිසර කතා සුදුසු නොවෙයි. මහණෙනි! ඔබ යම් තැනකට ඒකරාශී වූ විට දැහැමි කතාවක්ම කළ යුතුමය. එසේ නොමැති නම් නිෂ්ශබ්දතාවය ඉතා උතුම් වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා මහනීයත්වය ප්‍රකට වන එක් අවස්ථාවක් නම් වරද දුටුතැන එය නිවැරැදි කිරීම සඳහා අනුශාසනා කිරීමයි. උතුම් පින්කෙත නිසරු දෙයින් වළක්වාලීම උන්වහන්සේගේ පරම අධිෂ්ඨානය විය. පැහැදිලි කරන්න.

පිළිතුර

ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි පහළොස්වන පුෂ්ප වර්ගයෙහි එන ගාථා පාඨයකට අනුව බෞද්ධ ශ්‍රාවකයාගේ විශේෂත්වයක් වන්නේ අතිරොචති පඤ්ඤාය. සම්මා සම්බුද්ධ සාවකො ප්‍රඥාවෙන් හෙවත් නැණ නුවණ මෙහෙයා කටයුතු කිරීමයි.

මේ අනුව බෞද්ධයා නැණවතෙකි. බෞද්ධ පිළිවෙත් ගරුක බව යන සුවිශේෂී ලකුණෙන් ජනසමාජය නැණ, ගුණ දෙකින් පිරිපුන් පුද්ගලයා හඳුනා ගනී. ඉහත සඳහන් බුද්ධ දේශනා පාඨයට පාදක වූ සිදුවීම වර්තමාන ශ්‍රාවක සෑමදෙනාටම මහඟු ආදර්ශයකි.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි පිණ්ඩපාතයෙන් අනතුරුව දන් වළඳා දම්සභා මණ්ඩපාගත බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කථාව හටගනී. ඇවැත්නි, මගධාධිපති සෙනිය බිම්බිසාර රජ හෝ පසේනදි කොසොල් රජ යන රජුන් අතරෙන් කවරෙක්. මහා ධනවත් ද භෝගවත්ද? මහත් භාණ්ඩාගාර ඇත්තෙක්ද? අතිශයින් විජයග්‍රාහී කවරෙක්ද? මහත් වූ වාහන ඇත්තෙක්වීද? ආනුභාව සම්පන්න හා සෘද්ධි බල සම්පන්න තැනැත්තා කවුද? යන අතුරු කථාව අතර භාග්‍යවතුන් වහන්සේ වැඩම කළහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාදය නම් පිරිස එක්රැස් වූ විට දෙලොවටම වැඩක් ඇති කතාවකම නිරත විය යුතු බවත්, එසේ නොහැකි නම් උතුම් නිෂ්ශබ්දතාවය ඉතා වැදගත් බවත් ය. මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ ධර්ම කථාවකින් තොරව ‘අත්තුක්කංසන පරවම්භන’ තමා උසස් කොට ආත්ම වර්ණාවක් සඳහා අනුන් ගර්හාවට චරිත ඝාතනයටම මං පාදන කතා නිරතුරුව පවත්වන ගිහි හා පැවිදි ශ්‍රාවක පිළිවෙත සුදුසු බවය. ඒ අනුව පාපකර්ම වලින් වැළකී උතුම් නිෂ්ශබ්දතාවය රැකීම පුර පසළොස්වක දින සීල සමාදානය සඳහා ද ප්‍රයෝජනවත් ය.

ප්‍රශ්නය -

පෙළදහමට අනුව සිව්වණක් පිරිස සඳහා ගෝචර අගෝචර (සුදුසු නුසුදුසු) තත්ත්ව පිළිබඳ විශේෂයෙන් අවධාරණය කොට ඇත. නිවන් මඟට පිළිපන් සැදැහැවතෙක් මේ ගැන බෙහෙවින් සැලකිය යුතු ය. පැහැදිලි කරන්න.

පිළිතුර -

බඹසර විසීම සඳහා සිව්වණක් පිරිස සඳහා සාධක තුනක් දේශනා පාලියෙහි සඳහන්ව ඇත. ප්‍රථම ගෝචරය නම් වටාපිටාව හෙවත් සුදුසු මිත්‍ර සංධානයයි. හිතමිතුරු උපදේශකයන්, එවැන්නන් ආශ්‍රය, නිශ්‍රය උපනිශ්‍රය කිරීමෙන් ‘සද්ධා සීල වාග පඤ්ඤා’ ආදී සද්ගුණ වැඩෙයි.

ප්‍රශ්නය -

ශාසනික මෙහෙවරෙහි කඨින චීවර මාසය තුළදී ‘තෙචීවරික තීන චීවරානි’ වැනි යෙදුම් ආරාමයන්හිදී නිතර අසන්නට ලැබෙයි. මෙම තෙචීවර හෙවත් තුන් සිවුර පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර -

බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණී උභය සංඝයා විෂයෙහිම අනුදැන වදාළ තුන් සිවුර ‘සංඝාටිය හෙවත් දෙපට සිවුර’ උත්තරා සංගය (උතුර සළුව) හෙවත් තනිපට සිවුර අන්තර වාසිකය හෙවත් අඳනය යන තුනෙන් සමන්විත වේ. අඳනයෙන් යටිකය වැසෙන අතර ඉතිරි සිවුරු දෙක උඩුකය වසයි. උපසම්පදා වන අවස්ථාවෙහි මේ තුන්සිවුර අත්පස තිබීම අත්‍යවශ්‍යයි.