Print this Article


සපුගස්කන්ද අබේසේකරාරාමස්ථ ශ්‍රී සීලරතන දහම් පාසල

සපුගස්කන්ද අබේසේකරාරාමස්ථ ශ්‍රී සීලරතන දහම් පාසල

සපුගස්කන්ද, අබේසේකරාරාම විහාරස්ථ ශ්‍රී සීලරතන දහම් පාසලේ අභිනව දහම් මැදුර විවෘත කිරීම හා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත් 05 වන දා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක, මහාබෝධි සංගමයේ සභාපති, බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1967 වර්ෂයේ වැඩසිට අපවත් වී වදාළ බානගල ශ්‍රී සීලරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් එම දහම් පාසල ආරම්භ විය. මේ වන විට වසර පනහක ඉතිහාසයක් ඇති ශ්‍රී සීලරතන දහම් පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඇති දහම් පාසල් අතරින් අද්විතීය ස්ථානයක් හිමිකරගත් දහම් පාසලකි. මෙහි සිංහල හා ඉංගී‍්‍රසි යන මාධ්‍ය දෙකින්ම අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන අතර මේ වන විට සිසු සිසුවියන් රැසක් ඉගෙනීමේ කටයුතුවල නිරත වෙති.

මෙදින විවෘත කරන ලද දහම් මැදුර ජපානයේ ප්‍රධාන සංඝනායක, යොෂිඩා පදනමේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලදී. වත්මන් ප්‍රධානාචාර්යවරිය වන මනෝරි පෙරේරා මහත්මිය හා සියලු ගුරු මහත්ම මහත්මීහු මේ වන විට ඉතා දැඩි කැපවීමෙන් සිය කාර්යයන් ඉටු කරනු ලබති.

දහම් පාසලෙහි විශේෂ දක්ෂතා දැක් වූ දරු දැරියන්ට ත්‍යාග හා සහතික පත් හිමි වූ අතර සියලුම දරු දැරියන්ට පොදු ත්‍යාගයක්ද පිරිනැමීය. උත්සව අවස්ථාවට බියගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ශාස්ත්‍රපති රාස්ගල සීවලි නා හිමි, විලහේන කාරියප්පෙරුමාරාමාධිපති මොරටුවේ නන්දසිරි හිමි, බියගම ප්‍රාදේශීය ලේකම් එච්.වී. පුෂ්පමාලා මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.


දහම් මැදුරේ ඵලකය විවෘත කළ අවස්ථාව වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් සහ බානගල උපතිස්ස නා හිමියෝ මෙහි වෙති


හෙළ සිරිතට අනුව පොල්තෙල් පහන දල්වමින්
 


වැඩම කළ සඟ රුවනින් කොටසක්