Print this Article


බුද්ධගයාව බේරා ගැනීමට අනගාරික ධර්මපාලතුමා ගත් උත්සාහය

බුද්ධගයාව බේරා ගැනීමට අනගාරික ධර්මපාලතුමා ගත් උත්සාහය

ධර්මපාලතුමාගේ ඊළඟ ප්‍රයත්නය වූයේ බුද්ධගයාවේ අයිතිය බෞද්ධයන් සඳහා නීත්‍යානූකූල ලෙස ලබාගැනීමයි.ලෝකයේ අනෙකුත් ආගම් අදහන අයට තම ශාස්තෘන් වහන්සේලාට අදාළ ශුද්ධ භූමිවලට පිවිස පුද පූජා පැවැත්වීමට අන්‍ය ආගමිකයන්ගෙන් අවසර ලබාගැනීම අවශ්‍ය වන්නේ නැත.

1891 ජනවාරි 22 වන දින ගයාවේ සිට හැතැප්ම හයක් මෝටර් රථයෙන් ගමන් කළ විසි හයවන වියේ සිටි ධර්මපාල හේවාවිතාරණ තරුණයා බුද්ධගයාවට පැමිණියේ දුර්ගා බාබු සහ දොස්තර චැටර්ජි සමඟය. බුද්ධගයාවට ආසන්න වන විට තැන තැන විසිරී තිබුණ කැඩී ගිය බුදු පිළිම දුටු ඔහු කම්පාවට පත්විය. මහන්ත්ගේ පන්සලට ඇතුලු වූ විට පෝටිකෝව දෙපස ද බුදුපිළිම කීපයක් විය. විදුරසුන වෙත පැමිණි ධර්මපාලතුමා එහි සිරස තබා වැන්දේය. ඒ හා සමඟම ඔහුගේ සිතට වහා නැඟුණු අදහස් වූයේ බුදුරදුන් බුද්ධත්වය අවබෝධ කරගත් මෙම අති පූජනීය උතුම් ස්ථානය තමා විසින් රැකබලා ගතයුතු බවයි.

එදා ධර්මපාල තුමා මේ ගැන තම දිනපොතෙහි තබන ලද විස්තරාත්මක සටහන සංඝරක්ෂිත භික්ෂූන් වහන්සේ රචිත ANAGARIKA DHARMAPALA –A biographical sketch කෘතියේ පස් වන මුද්‍රණයේ 46 වන පිටුවෙහි සඳහන් වෙයි. තම සිතට නැඟුණු මෙම අදහස වහා ක්‍රියාත්මක කළ ධර්මපාලතුමා බුරුම රජතුමා බුද්ධගයා පුද බිමෙහි වන්දනාකරුවන් සඳහා තනවා තිබුණු විශ්‍රාම ශාලාවෙහි යතුර ලබාගෙන එහි නතර විය. ධර්මපාලතුමා එදා ගත් මෙම වැදගත් තීරණය එතුමාගේ ඉතිහාසයෙහි ද නොමැකෙන වෙනසක් ඇති කිරීමට හේතු විය.

බුදුරදුන් බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පුදබිම බෞද්ධයන් සතුව නො පවතින බවත්, බුද්ධගයාවේ මහාබෝධි විහාරය වන්දනාමාන සඳහා බෞද්ධයන් විසින් අයත්කර ගත යුතු බවත් , ප්‍රථම වරට ලොවට හඬගා ප්‍රකාශ කරන ලද්දේ ධර්මපාලතුමා විසිනි. එතුමා බුද්ධගයා විශ්‍රාම ශාලාවේ සිට ලංකාව, ඉන්දියාව, බුරුමය යන රටවල විවිධ පුද්ගලයන්ට ලියන ලද ලිපි සංඛ්‍යාව දහස් ගණනකි. ඇමෙරිකාව , එංගලන්තය, ජපානය, සියම, චීනය යන රටවල චාරිකා කරමින්, සාකච්ඡා යන සම්මේලනවලට සහභාගි වෙමින්, බොහෝ පුද්ගලයන් හමුවෙමින් මහාබෝධි සඟරාව නොකඩවා පළ කරමින් එතුමා ආරම්භ කළ බුද්ධගයාව බෞද්ධයන් සතුකර ගැනීමේ ව්‍යාපාරයට ලොව නන් දෙසින් ලැබුණු සහයෝගය අති මහත් විය. මේ අවධියෙහි නැඟෙමින් පැවැති බෞද්ධ පුනරුදයෙහි කැපී පෙනුණු සුවිශේෂී පුද්ගලයන් වූ light of Asia බෞද්ධ කාව්‍ය කර්තෘ සර් එඩ්වින් ආනල්ඩ්, බ්‍රිතාන්‍යයේ පාලි පාඨ ග්‍රන්ථ සමිතිය (P.T.S) පිහිට වූ රීස් ඩේවිඩ්ස්, ලංකාවේ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම පිහිට වූ හෙන්රි ස්ටීල් ඕල්කට් යන බෞද්ධ මාමක බුද්ධිමත්හු ද මෙම ව්‍යාපාරයට සහාය දැක් වූ අය අතර වූහ.

පූජ්‍ය හික්කඩුවේ සුමංගල හිමිපාණන්ගේ සභාපතිත්වයෙන් බුද්ධගයා මහාබෝධි සමිතිය කොළඹ දී පිහිටුවන ලද්දේ ද 1891 වර්ෂයේය. කර්නල් ඕල්කොට්තුමා මහාබෝධි සමිතියේ අධ්‍යක්ෂවරයකු වූ අතර, ධර්මපාලතුමා එහි ලේකම් විය. බුද්ධගයා මහා විහාරය සැබෑ බෞද්ධ භික්ෂු වාසස්ථානයක් කිරීමේ අරමුණින් ධර්මපාලතුමා එම වර්ෂයේ ජූලි මාසයේදී දුනුවිල චන්දජෝති ,මාතලේ සුමංගල, අනුරාධපුර පේමානන්ද සහ ගාල්ලේ සුදස්සන යන භික්ෂූන් වහන්සේ සතර නම මහාබෝධි විශ්‍රාම ශාලාවේ නතර කළේය.

ධර්මපාලතුමාගේ ඊළඟ ප්‍රයත්නය වූයේ බුද්ධගයාවේ අයිතිය බෞද්ධයන් සඳහා නීත්‍යානූකූල ලෙස ලබාගැනීමයි.ලෝකයේ අනෙකුත් ආගම් අදහන අයට තම ශාස්තෘන් වහන්සේලාට අදාල ශුද්ධ භූමිවලට පිවිස පුද පූජා පැවැත්වීමට අන්‍ය ආගමිකයන්ගෙන් අවසර ලබාගැනීම අවශ්‍ය වන්නේ නැත. එසේ වුවත් බුද්ධගයාවේ පැවති සුවිශේෂී තත්ත්වය වූයේ එහි පාලනය හින්දු භක්තික මහන්තා යටතේ පවතින බැවින් ඔහුගේ පාලනයට යටත්ව බෞද්ධයන්ට බුද්ධගයාවෙහි ආගමික කටයුතු කරගෙන යාමට සිදුවීමයි. මේ ගැන කරුණු සොයා බැලූ ධර්පාලතුමාට ඉන්දියානු රජයේ සුළු නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබුණේ මහාබෝධි විහාරය ඉන්දියානු රජය සතු දේපලක් බවයි. ඒ අනුව එහි නීත්‍යානුකූල පාලනය බෞද්ධයන්ට ලබාදීම ඉන්දියානු රජයට කළ හැකි කාර්යයක් බව ධර්මපාල තුමාගේ අදහස විය. මේ සම්බන්ධයෙන් ධර්මපාලතුමා ගයාවෙහි ආදායම් පාලකයා වූ ජී.ඒ. ගි‍්‍රයර්සන් මහතා හමුවු විට ඔහු සඳහන් කළේ මහාබෝධි පන්සල සහ එහි ආදායම් මහන්තා සතු බවයි. එසේ වුවත් රජයේ සහායෙන් මහන්තා ගේ අයිතිය මුදල් ගෙවා ලබාගත හැකි විය යුතු බව ඔහුගේ මතය විය.

මේ අනුව ධර්මපාලතුමා පන්සල් භූමියෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීම සඳහා මහන්තා සමඟ සාකච්ඡා ආරම්භ කළේය. මුල දී මහන්ත් මේ සඳහා කැමැත්ත පල කළද පසුව ඔහු එය ප්‍රතික්ෂේප කළේය. 1893 පෙබරවාරි 4 වන දින මහන්තාගේ මැරයන් විසින් මහාබෝධි විශ්‍රාම ශාලාවේ සිටි සුමංගල හිමියන්ට පහර දී තුවාල සිදුකිරීම් ධර්මපාලතුමා සහ මහන්තා අතර පැවති සම්බන්ධතා දුරස් වීමට හේතු විය. මේ කාරණය සම්බන්ධයෙන් මහාබෝධි සමිතිය මඟින් ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ගවලට දිස්ත්‍රික් පොලිස් සුපිරින්ඩන්ට්වරයාගේ සහයෝගය නොලැබුණා පමණක් නොව, එම නීතිමය කටයුතු ඔහුගේ සමච්චලයට ද භාජනය විය.

ධර්මපාලතුමා ජපානයෙන් ගෙනෙන ලද අවුරුදු 700 ක් පමණ පැරණි බුදු පිළිමයක් 1895 පෙබරවාරි 25 වන දින මහාබෝධි විහාරයේ ඉහළ මාලයේ තැන්පත්කොට පහන් දල්වන අවස්ථාවේදී මහන්තා අනුගාමි හින්දු පූජක පිරිසක් සහ මුහමෙදසන් මුක්තියාර් නමැත්තෙක් විහාරයේ ඉහළ මාලයට පැමිණ, බුදු පිළිමය වහා ඉවත් කරන මෙන් ධර්මපාලතුමාට බල කර සිටියේය. මේ ගැන සටහනක් ධර්මපාලතුමා 1895 පෙබරවාරි 25 වන දින සිය දින පොතෙහි සඳහන් කර ඇත. සංඝරක්ෂිත භික්ෂූන් වහන්සේගේ කෘතියෙහි 69 සහ 70 පිටුවල එම දිනපොත් සටහන දක්වා ඇති අතර, එම සටහනෙහි එතුමා සඳහන් කොට නැති තොරතුරු ලෙස සඳහන් වන්නේ පැමිණි ආවේගශීලි පිරිස තැන්පත් කළ බුදු පිළිමය පහළ මිදුලට විසි කළ බවයි. බෞද්ධ ලෝකයට පුරා පැතිරීගිය මෙම ආරංචිය බෞද්ධයන් බුද්ධගයා පුදබිම අයත්කර ගැනීම සඳහා සිදුකරන අරගලය තවදුරටත් සංකීර්ණ බවට පත්වීමට හේතු විය. අනගාරික ධර්මපාලතුමා සහ මහන්තා අතර නීතිමය අරගලය අවසාන අදියරට පත්වූයේ 1906 වර්ෂයේය.මහාබෝධි ප්‍රකාශනයක සඳහන් වන තොරතුරුවලට අනුව, මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ උප විනිශ්චයකරු සඳහන් කළේ බුරුම බෞද්ධයන්ගේ පහසුව සඳහා විශ්‍රාම ශාලාව ගොඩනගන ලද්දේ මහන්ත් බැවින් වගඋත්තරකරුවන්ට එය තමන්ගේ ස්ථිර වාසස්ථානය කරගැනීමට අයිතියක් නැති බැවින් ඔවුන් විශ්‍රාම ශාලාවෙන් ඉවත් කරන බවයි.

මෙම තීන්දුවට එරෙහිව ධර්මපාලතුමා මහාධිකරණයට ඉදිරිපත් කල ඇපෑලට අනුව මුල් තීන්දුව වෙනස් කරනු ලැබුවත්, එයි ද සඳහන් වූයේ විශ්‍රාමශාලා ගොඩනැගිල්ල බෞද්ධයන්ගේ නතරවීම සඳහා බුරුම රජතුමාගේ මුදල්වලින් කොටසක් හෝ යොදා තනවන ලද්දක් වුවත් වගඋත්තරකරුවන්ට එහි ස්ථිරව නතරවී සිටීමට හෝ බුදුපිළිමයක් එහි තබා ගැනීමට අයිතියක් නැති බවයි. මහන්ත් මෙම ස්ථානය තමන්ට අයිති බව ප්‍රකාශ කොට සිටියත් ඒ ගැන තීරණයක් පළ නොකරන ලද්දේ එය පැමිණිලි කළ නඩුවට අදාළ නොවන බැවිනි.

අනගාරික ධර්මපාල තුමා මීට වර්ෂ 125 කට පෙර මහාබෝධි විහාරය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ එම අති උතුම් ස්ථානය බෞද්ධයන් සතු කරගැනීම සඳහා එතුමාගේ සිතෙහි ජනිත වූ අදහස සහය ඉටුකර ගැනීමට එතුමා සිය ජීවිත කාලයම කැප කළේය. වර්තමානයෙහි බෞද්ධ ජනතාව අවුරුදු පතා ලක්ෂ ගණනින් බුද්ධගයා මහා විහාරය වැඳ පුදාගන්නා නමුත් එසේ වන්දනා කරන වර්තමාන බෞද්ධයන් මේ කරුණ සම්බන්ධයෙන් ධර්මපාලතුමා මෙන් සංවේදී නොවීම බෞද්ධ ලෝකයෙහි පැවැතෙමින් එන අභාග්‍යයෙක් වෙයි.

අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම දින නිමිත්තෙන් 2014 දි බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය 5 වන වරට පළකළ භික්ෂු සංඝරක්ෂිත තෙරුන් වහන්සේ Anagarika Daarmapala –A Biographical Sketch pK Wheel Publication No-70-72 කෘතියෙහි ඇතුලත් තොරතුරු උපයෝගී කරගනිමින් “පුවත් හසුන” සඳහා මෙම ලිපිය සම්පාදනය කරන ලද්දේ