අතීතයයි මුනි සිරිපා කරුණාවයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
ශ්‍රී ලංකාවේ මනරම් පූජනීය ස්ථානයක් ලෙසින් වන දුර්ග, ගිරි දුර්ග හා ජල දුර්ග වලින්
ගහන වූ සමනොලගිර හෙවත් ශ්‍රී පාදය බුදුරදුන්ගේ පා පහස ලද ස්ථානයක් වන බැවින් දෙස්
විදෙස් ජනයාගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වූ ස්ථානයක් බව මූලාශ්‍රවලින් පැහැදිලිවන
කරුණකි.
පූර්ව අවධිවල දී රෝහණ පාලන කලාපයට අයත් වූ මේ ස්ථානය රෝහණ පබ්බත නමින් ද මූලාශ්‍රවල
දැක්වේ. රෝහණයේ ශුද්ධ වූ කන්ද යන අරුතින් ඉස්ලාම් බැතිමතුන් සමන්තකූටය හඳුන්වන
ලද්දේ ‘අල්රහුන්’ යන නාමයෙනි. ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි නැවියන් මේ රටට
ගොඩ බැසීමට දින විස්සකට පමණ පෙර සිටම සමනොල කඳුමුදුන දර්ශනය කළ බව ලේඛක ඉබන්
ඛුර්දාද්බේ සඳහන් කරයි. ඉබන් බටුටා ලක්දිවට ගොඩ බැසීමට දින නවයකට පෙර සමනොල කන්ද
දුටු බව සඳහන් කරයි. ලංකා පබ්බත නමින් ද වජ්‍රබෝධි හිමියන් මෙම කඳු ශිඛරය හඳුන්වා
ඇත.
දුට්ඨගාමිණී පාලන සමයට සම්බන්ධ තොරතුරු කීපයක් සමන්තකූටය ඇසුරින් මතුකර ගත හැකි වේ.
දුටුගැමුණු මහ රජුගේ දසමහ යෝධයන්ගෙන් කෙනෙකු වන ථෙරපුත්ථාභය සුමනකූටයට නැඟ ශ්‍රී
පාද ලාංඡනය සුවඳ මලින් පුදා මරුකන්ද නම් ජනපදයට ගොස් එහි විසූ පාලත්ථි නම් ද්‍රවිඩ
පාලකයා හා ඔහුගේ පිරිස මරා ඛාල්හගාමතලකයේ රජමැදුරක් කර වූ බව සහස්සවස්තුප්පකරණය
සඳහන් කරයි. එමෙන්ම දුටුගැමුණු රජ දවස විසූ මලියදේව තෙරුන් දන් වශයෙන් රජුගෙන් ලබා
ගත් තණහාල් කැඳ සුමනකූට වැසි නවසියයක් භික්ෂූන් වෙත වැළඳ වූ බව මහාවංශය දැක්වයි.
බුදුන් වහන්සේ විසින් සමනොල කන්දේ සිරිපා සටහනක් පිහිට වූ බව ෆාහියන් හිමියන්ගේ
වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවට නොපැමිණියත් ලංකාව ගැන අසා දැනගත් තොරතුරු මත
සමනොලගිර පිළිබඳව තොරතුරක් හියුංසාන් භික්ෂුවගේ වාර්තාවේ අන්තර්ගතය. ගිනිකොණ
දිසාවෙන් ලංකා පර්වතය හෙවත් සමනොල ගිර පිහිටි බවත් බුදුන් වහන්සේ එහිදී ලංකාවතාර
සූත්‍රය දේශනා කළ බවත් උන්වහන්සේ සඳහන් කර ඇත. ක්‍රි.ව. හත්වන සියවසේ දී ලංකාවට
වැඩම කරන ලද වජ්‍රබෝධි හිමියන් සමන්තකූටයට වැඩි භික්ෂුවක් හැටියට ඉතිහාසගතය.
මුනිසිරිපා සටහන වන්දනා කිරීම පිණිස ලංකා පර්වතයට වැඩම කළ බවත් එසේ යන ගමනේ දී වනගත
මිනිසුන් හමු වූ අතර කඳු පාමුල ප්‍රදේශයේ දී අගනා මැණික් දක්නට ලැබූ බවත් සඳහන්
කෙරේ.
හයවෙනි සියවසෙන් පසු අරාබි ජාතිකයෙකු සමන්තකූටය ගැන සටහනක් තබා තිබේ. ආදම්ගේ පා
සටහන මෙහි ඇති බව ඉස්ලාම්හු විශ්වාස කළහ. ක්‍රි.ව. 850 දී සිදු වූ ස්වකීය ශ්‍රී
ලංකා සංචාරය ගැන මතක සටහන් තබන අරාබි ජාතික වෙළෙන්දෙකු හා ගවේශකයෙකු වූ සුලෙයිමාන්
නමැත්තා ශ්‍රීපාද කන්දට ගිය වන්දනා ගමනක් ගැන සඳහන් කරයි. ආදම්ගේ නාමය සම්බන්ධ
කරගෙන ඇති කතා පුවත ප්‍රථමයෙන්ම පවසනුයේ සුලෙයිමාන් ලෙස ද සලකනු ලැබේ. කන්ද මුදුනේ
ඇති පා සටහන් රියන් 100 ක් පමණ දිග යැයි ද කියනු ලැබේ. මෙම කන්ද අවට ප්‍රදේශවලට
පද්මරාග (රක්ත මාණික්‍ය) පුෂ්පරාග නීල මාණික්‍ය ආදී රක්ත වර්ණ බහුල බවත් හෙතෙම
සඳහන් කරයි. පර්සියානු සාහිත්‍ය දෙසට අවධානය යොමු කිරීමේ දී ඒවායෙහි ද සරතුස්ශ්‍රා
දහම පිළිගත් ලේඛකයින් සිය කෘතිවල දී එතුමා ද ශ්‍රී පාදයට සම්බන්ධ කොට අදහස් ඵල
කිරීමට උත්සාහ ගෙන තිබේ.
අබු හමිඩ් අල් ගරනා ද) ආදම් පැවතගෙන එනු ලබන්නේ
සෙරන්දිබ්හි අල් - රහුන් කන්දේ සිට බව කියයි. අල් මසුදී පවසන්නේ මනුෂ්‍යත්වයේ පියා
වූ ආදම් පැවත එන්නේ සෙරන්දිබ් හි අල් රහුන් කන්දේ සිට බව ය. අනුරාධපුර යුගයටත් වඩා
පොළොන්නරු සමය වනවිට සිරිපා වන්දනාව ජන සමාජය අතර ඉදිරියට ආ බව පෙනේ. පළමුවන
විජයබාහු හා නිශ්ශංකමල්ල රජතුමාගේ ශිලාලේඛනවලින් සමන්තකූටයට දැක් වූ අනුග්‍රහයන්
පිළිබඳ තොරතුරු එක්තැන් කරගත හැකිවේ. විජයබා රජුගේ අඹගමුව හා ගිලීමලේ සෙල්ලිපි දෙක
සමන්තකූටය පිළිබඳව තොරතුරු ලබාදේ. ගිලීමලය, අඹගමුව ආශි‍්‍රත පාරවල් ප්‍රතිසංස්කරණය
කිරීම, අම්බලම් පිහිටුවීම කළ බවත් රජු ශ්‍රී පාදය වැඳීමට ගිය බවත් පාද ලාංඡනය
දැලකින් වසා අගුලු සහිත දොරටු දෙකක් ඇති පවුරක් ඒ වටා බැඳ කුලහීනයන් යැයි සම්මත
ජනයාට ශ්‍රී පාද වන්දනා කිරීමට පහත මළුවක් තැනූ බවත් දැක්වේ. දුෂ්කර ලෙස වන්දනාවේ
යන්නන්ට දානෝපකරණ සපයා ගැනීමට පහසුකම් සැලසූ බවත් අඹගමුව සෙල්ලිපිය සඳහන් කරයි.
චූලවංශයේ ද මේ ගැන තොරතුරු දක්වන අතර මහා පරාක්‍රමබාහු රජුද සමන්ගිර වන්දනාව පිණිස
ගිය බව රාජාවලියේ සඳහන් වේ. නිශ්ශංකමල්ල රජු ද චතුරංගනී සේනාව සමඟ සමනොලගිර වන්දනා
කිරීමට ගිය බව චූලවංශය දක්වන පුවත භගවා ලෙනේ ඇති ලෙන් ලිපිවල ඇති සඳහන්වලින් ඒ බව
තවදුරටත් සනාථ වේ.
දඹදෙණි සමයේ දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී දේවපතිරාජ ඇමැතිතුමන්
සමන්තකූටයට පැමිණ කළ ශාසනික ක්‍රියා රැසක් චූලවංශය මෙන්ම පූජාවලිය ද සඳහන් කර ඇත.
දේවපතිරාජයාන් විසින් සිරිපතුලට සෙවණ ලබාදීම අරමුණු කොට මණ්ඩපයක් කළ බවත් පර්වතයේ
කළ යකඩ දණ්ඩනවල මේ මණ්ඩපය බඳින ලද බවත් දක්වයි. එමෙන්ම රාත්‍රියක් පුරා රජු
වෙනුවෙන් පහන් පූජා කළ බවත් වංශකතාව සඳහන් කරයි. දෙවන පරාක්‍රමබාහු රජුගෙ පුතෙකු වන
හතරවන විජයබාහු රජු සමනොලගිර වන්දනාව පිණිස ගිය බව පූජාවලියේ සඳහන් ය. මේ අවධියේ
පිහිට වූ පළාබත්ගල ආරණ්‍ය සේනාසනයේ ධර්මශාස්ත්‍රීය සේවයේ ඵලයක් ලෙසින් සමන්තකූටයේ
ආගමික වැදගත්කම කේන්ද්‍රකොට ගනිමින් සමන්තකූටවණ්ණනාව නම් උසස් සාහිත්‍ය කෘතිය
බිහිවීම ද දක්නට ලැබේ.ගම්පොළ හා කෝට්ටේ යුගවල රචිත සන්දේශ කාව්‍යවල ද සමනොලගිර
පිළිබඳව සඳහන් තොරතුරුවලින් මේ කාලයේ මේ ස්ථානය පිළිබඳව ජන කැමැත්ත කුමක් ද යන්න
තීරණය කිරීමට අවකාශ සැලසේ. එම අවධියේ වීරවික්‍රම නම් පාලකයෙකු සමන්තකූටයට කරන ලද
අනුග්‍රහයන් ගැන චූලවංසය සඳහන් කරයි.
මොහු සේනාසම්මත වික්‍රමබාහු යයි විශ්වාස කෙරේ.
ඔහු පඩි 700කින් යුත් සෝපාන පංතියක් කර වූ බවත් ශ්‍රී පාදයේදී අලංකාර පහන් පූජාවක්
කළ බවත් දැක්වේ. සීතාවක යුගයේ පළමුවැනි රාජසිංහ ශ්‍රී පාදස්ථාන අයිතිය ආඬින්ට
පවරාදෙනු ලැබූ බවත් ශිව දෙවියන්ගේ පා සටහන සමන්තකූටයේ ඇති බව ඔහු විශ්වාස කළ බවත්
දැක්වේ. පෘථිගීසි යුගය ගැන සටහන් තබන රොබෙයිරෝ, ෆර්නාවෝ ක්වේරෝස් ද සමන්තකූටය අළලා
දීර්ඝ විස්තර සපයා තිබේ. සෙංකඩගල නුවර අවධියෙහිදී පළමුවන විමලධර්මසූරිය රජු ශ්‍රී
පාදය වන්දනා කිරීමට ගිය බවත් රන් රිදී වස්තුවලින් ශ්‍රීපාදය පිදූ බවත් ශ්‍රී පාද
ලාංඡනයට ඉහළින් රිදී කූඩයක් සවිකරමින් මහ පින්කම් කළ බවත් චූලවංසය දක්වයි.
මන්දාරම්පුර පුවතට අනුව ආඬින්ගෙන් මුදවාගත් ශ්‍රී පාදය නැවත භික්ෂූන්ටම රජු විසින්
ලබා දී තිබේ. රොබට් නොක්ස් ද ශ්‍රීපාදය ආඬින්ට අයත්ව තිබූ බව සඳහන් කරයි. ශ්‍රී
වීරපරාක්‍රම නරේන්ද්‍ර රජු දෙවරක් ශ්‍රී පාදයට ගිය බව චූලවංසය සඳහන් කරයි. විජය
රාජසිංහ රජු ද ශ්‍රී පාදයට ගොස් පහන් පූජාවක් කළ බව වංසකතාවේ දැක්වේ. කීර්ති ශ්‍රී
රාජසිංහ රජතුමා සන්නසක් මඟින් ගම් බිම් සහිතව ආදායම් මාර්ග ශ්‍රී පාදයට ලබාදී තිබේ.
ජෝන්ඩේවි ද ශ්‍රී පාද කන්දට නැඟි විදේශීය ලේඛකයෙක් වන අතර ඔහුගේ තොරතුරු ද එම
අවධියේ දී සමනොල ගිර පිළිබඳව තොරතුරු අධ්‍යයනයට ප්‍රයෝජනවත් බව කිව යුතු ය.
ශ්‍රී
පාදය මල්වතු විහාරය සමඟ සබඳතා පවත්වන බවට ඔහු සඳහන් කරයි. හෙන්රි මාෂල් මේ ස්ථානයට
සමීප වූ තවත් විජාතිකයෙකි. සමන්තකූටයට ‘ඇඩම්ස් පීක්’ යන නම යෙදෙන්නේ මුස්ලිම්වරුන්
භාවිත කරන ‘බබාද මලී’ යන යෙදුම නිරුක්ති කොටගෙන බව මාර්ෂල් කියයි. නමුත් ටෙනන්ට්
කියන්නේ පෘථිගීසි වචනයක් ඒ සඳහා පාදක වූ බවයි. එමෙන්ම ශාන්ත තෝමස් නමැති අපෝස්තුලු
තුමාගේ පා සටහන ද සමන්ගිර මත ඇතැයි අදහසක් මේ අවධියේ පැතිර තිබුණි. එය
ක්‍රිස්තියානි ආගමිකයන්ගේ විශ්වාසයක් බව රිස් ඩේවි සඳහන් කරයි.
එමෙන්ම සිරිපා
වන්දනාවේ ගිය අයගේ සහ එහිදී ඉටුකළ චාරිත්‍ර පිළිබඳ අදහස් ආර්.එල්. බයට් නම්
ලේඛකයාගේ විස්තරයෙන් හමු වේ. මෙලෙසින් අතීතයේ සිට නූතනය දක්වාම විවිධ පුද්ගලයන්
මෙන්ම ජන කණ්ඩායම් හා ආගමිකයන් ශ්‍රීපාදස්ථානයට පැමිණි බව මූලාශ්‍ර විමසන විට පෙනී
යන කරුණක් වන අතරම ඒ ඒ ආගමිකයන් සිය ආගමික නායකයන් හා මේ ස්ථානය අතර ඇති සම්බන්ධතා
පෙන්වාදීමට ද උත්සාහ කරනු ලැබූ අතරම එදා සිට අද දක්වාම බහු ජාතික බහු ආගමික
ස්ථානයක් ලෙසින් ශ්‍රී පාදස්ථානය සැළකෙන බව සඳහන් කළ හැකි ය. |