UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

වැල්ලවත්තේ ඤාණාභිවංස නා හිමි

වැල්ලවත්තේ ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අධිකරණ සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප රටෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ ගණයේ පැවිදි පඩි රුවනකි.

උන්වහන්සේ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් රචනා කළහ.

1938 දී පරමාර්ථ ධර්ම වාගීශ්වර ධර්ම කීර්ති ශ්‍රී වැල්ලවත්තේ ශ්‍රී ආර්යවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන් ගත වූ උන්වහන්සේ 1946 දී වෙහෙරගම්පිට සිරි රේවත මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූහ.1946 දී ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති ධුරය ද දරමින් උසස් අධ්‍යාපනය සඳහා මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන භාෂා ශාස්ත්‍රාදියත් , අනතුරුව 1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් සමත්වූහ. කැලණියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන්ද, පසුව සඳලංකාවේ නාලන්දා විද්‍යාලයෙහි විද්‍යාලයාධිපති වශයෙන්ද, විශ්‍රාම යද්දී වැල්ලවත්තේ ඇරතිසා මහා විද්‍යාලයේද ආචාර්යවරයෙකු ලෙස සේවය කළහ.

පැළෑණේ මහ නාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි වැනි පැවිදි උතුමන් නිසා අතිශය ශෝභන වූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය වෙනුවෙන්ද අප නා හිමියන්ගෙන් සිදුවූ මෙහෙය අපමණය. එහි දියුණුව පතමින් හැමවිටම වාද විවාද කරමින්, සාකච්ඡා කරමින් නව ප්‍රගතිශීලි අදහස් ඉදිරිපත් කරමින් සම්ප්‍රදායෙහි වෙනසක් කිරීමටද උත්සාහ ගත්හ. එම කැප කිරීම නිසා සිය නිකායික සංඝ සභාව 1972 දී පාලක පදවියකින්ද 1996 දී එම නිකායේ සම ලේඛකාධිකාරි ධූරයද පිරිනැමූහ. මේ අයුරින් නාහිමිපාණන් වහන්සේගෙන් සිදුවූ අප්‍රමාණ වූ ශාසනික හා සාමාජික සේවාව අගයමින් 1999 දී “ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක යන ගෞරව නාම සම්මුතිය සහිතව අධිකරණ නායක පදවියෙන්ද පුදනු ලැබූහ.

වැල්ලවත්තේ ඤාණාභිවංශ නාහිමියන් ශාස්ත්‍රීය පොත්පත් ලේඛන රැසක්ම සම්පාදනය කලහ. ‘පද්‍යාවලී රස, මෙත් දහර, පවිටු මිතුරු ඇසුර, වැඳුම් පිදුම් ගී. ආදිය ඉන් සමහරකි. සමාජවාදී භික්ෂු සංවිධානය, එක්සත් භික්ෂු බල මණ්ඩලය ජනතා භික්ෂු සම්මේලනය අන්තර් ආගමික සාම පදනම ආදි සංවිධානවල ලේකම් , සභාපති ආදි නිලතල දැරූහ.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ දිවංගත විජය කුමාරණතුංග ,දේශ විමුක්ති ජනතා පක්ෂයේ නිර්මාතෘ දිවංගත නිහාල් පෙරේරා ආදි සමසමාජ, කොමියුනිෂ්ට් නායකයින් ළඟින් ඇසුරු කළ උන්වහන්සේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අනුශාසක ධූරයද, දැරුහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද ළගින් ඇසුරු කළ උන්වහන්සේ ලෝක නායකයින්ද විටින් විට හමුවූහ.

මෙසේ දේශීය වශයෙන්ද විදේශීය වශයෙන්ද ජාතික සේවාවක් කළ උන්වහන්සේ වසර 2010 ජනවාරි 05 අපවත්වී වදාළ සේක. උන්වහන්සේගේ ශිෂ්‍ය රාජකීය පණ්ඩිත වැල්ලවත්තේ රතනවංශ නාහිමිගේ අනුශාසනා පරිදි සත් වාර්ෂික ගුණසමරු පින්කම ජනවාරි 12 දා වැල්ලවත්තේ ශ්‍රී සුවිශුද්ධාරාමයේදී සිදුකෙරිණි.


නාකොළගණේ සුමණ නා හිමි

මාවනාගම ශ්‍රී බෝධිනන්දනාරාමාධිපති බඹරවාන මහ විදුහල්පති, දෙහිඅත්තකණ්ඩිය සමථ මූළ මණ්ඩල සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත නාකොළගණේ සුමණ නා හිමිපාණන් වහන්සේට මහනුවර අස්ගිරි මහා විහාරීය මහා නායක මා හිමියන් ප්‍රධාන සානුනායක පරම දම්සභා නම් වූ කාරක මහා සංඝ සභාව මගින් නැගෙනහිර තමන්කඩු දෙපළාත ඇතුළු එගොඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාකොළගණේ ගම්පියසේදී රත්නායක මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා හා කව්අම්මා යන මවුපිය දෙපළට දාව පින්බර කුමරෙකු ලෙස 1957.ජුනි.07 දින මෙලොව ජනිත වූ කුමරුට ජයසූරිය යැයි නම් තැබූහ. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය කළහ. ජස්ටින් හෙට්ටිආරච්චි ගුරු පියානණ්ගේ මඟපෙන්වීම යටතේ ඔහු ඓතිහාසික බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරාධිපති අළුතෑපොළ ශ්‍රී පෙමරතනාභිධාන හාපිටිගම් කෝරළේ ප්‍රධාන සංඝ නායක මා හිමියන්ගේ පා සෙවනට පත්විය. මෙම පින්බර කුමරුවා 1972 ජනවාරි 21 දින එවකට මහනුවර අස්ගිරි මහා විහාරවාසී පලිපාන ශ්‍රී චන්දානන්ද අනුනායක මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා අළුතෑපොල පේමරතන කරවිළකුඹුරේ සරණපාල යන දෙනම ඇදුරු කොට ගෙන සුමණ යන නමින් පැවිදි විය. සුමණ හිමියන් බණ දහම් ප්‍රගුණ කොට මාදන්වල දමුදය මහ පිරිවෙනට ධර්ම විනය , භාෂා ශබ්ද ශාස්ත්‍ර ,පාළි සංස්කෘත, සිංහල සහිත ප්‍රාවීණ අධ්‍යයන අංශයෙන් අධ්‍යයනය කළහ.

1977 ජූනි 25 දින මහනුවර අස්ගිරි මහා විහාර පොහෝ සීමාවේදී පලිපාන ශ්‍රී චන්දානන්ද මහා නායක මා හිමියන් වහන්සේ උපාධ්‍යාය කොටගෙන අළුතෑපොල පෙමරතන, කරවිළකුඹුරේ සරණපාල, යක්විල සෝමාලොක, කඩිගමුවේ පෙමානන්ද මා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදා සීලයෙහි පිහිටියහ. අනතුරුව කැලණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය, පශ්චාත් උපාධිය ශාස්ත්‍රපති උපාධි ලබා බෝතලේ ශ්‍රී නාලන්දා පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සේවයට බැඳී පසුව එහි නියෝජ්‍ය පරිවෙණාධිපති තනතුරටද පත්වූහ. එම කාලය තුළ ගෝඨාභය දහම් පාසලේ දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කරමින් අධ්‍යාපනික වශයෙන් අති උදාර මෙහෙයක් සිදුකළහ. අනතුරුව මහවැලි සී කලාපයේ මාවනාගම මහ විදුහලේ පත්වීමක් ලබා එම දුෂ්කර ප්‍රදේශයේ අසරණ දරු දැරියන්ගේ දැනුම වර්ධනය කරමින් එම විදුහලේ විදුහල්පති වශයෙන්ද සේවය කර අනතුරුව බඹරවාන මහ විදුහලේ විදුහල්පති වශයෙන්ද වසර දහඅටක කාලයක් සේවය කරනු ලැබේ. මේ අතර මාවනාගම බෝධිනන්දන දහම් පාසල සංවර්ධනය කළහ. දෙහිඅත්තකණ්ඩිය සමථ මූල මණ්ඩලයේ සභාපති තනතුර දරමින් ප්‍රදේශයේ සාමය ඇතිකරමින් සමාජමය වශයෙන්ද අපමණ මෙහෙයක් සිදුකෙරේ. බෝධිනන්දනාරාම විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කළහ.

මෙවන් උදාර ලෝ සසුන් සේවාවන්ට උපහාර වශයෙන් මහනුවර අස්ගිරි මහාවිහාරීය මහා නායක, සානුනායක මා හිමිවරුන් ප්‍රධාන පරම ධම්ම සභානම් වූ කාරක මහා සංඝ සභාව මගින් සුමණ නා හිමියන්ට නැගෙනහිර තමන්කඩු දෙපළාත සහිත එගොඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිණමා ඇත.

එම පදවිය පිළිබඳ 2017 අපේ‍්‍රල් නවවන දින අස්ගිරි මහා විහාරීය මහා නායක, සානුනායක කාරක මහා සංඝ සභාව වෙත ප්‍රසාද පූජා පිරිණමා අක්ත පත්‍රය ලබා ගැනීමත් අපේ‍්‍රල් දහවන දින මාවනාගම බෝධිනන්දනාරාම විහාරස්ථානයේදි අනුනායක මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව ආරම්භ කොට මහාලේකම් නා හිමියන් විසින් අක්ත පත්‍රය කියවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ගරු කථානායක තුමන් සුමණ හිමියන්ට අක්ත පත්‍රය පිළිගන්වනු ලැබේ.

උපතින් සැට වසක් හා පැවිද්දෙන් පන්සාළිස් වසක්ද, උපසම්පදාවෙන් සතළිස් වසක්ද සපුරා අපමණ ලෝ සසුන් වැඩ සලසන නාකොළඟණේ සුමණ නාහිමියන්ට තෙරුවන් සරණින් දිගු කලක් යෙහෙන් වැජඹෙන්නට දිගාසිරි ලැබේවා.


ගැටමාන්නේ ධම්මින්ද හිමි

වලස්මුල්ල දලුවක්ගොඩ ශ්‍රී ධර්මායතනාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත ගැටමාන්නේ ධම්මින්ද හිමිපාණෝ 80 වියට පා තබති. ධර්මායතන දායක සභාව සහ සීල භාවනා කුළඟන සමිතිය ඇතුළු සංවිධාන රාශියක් ධම්මින්ද හිමියන්ට දිගාසිරි පැතීමේ බෝධිපූජා පින්කමක් සහ පිරිත් දේශනයක් 2017 මාර්තු 09 වෙනිදින සහ 10 යන දෙදින පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

සි.දො. සමරනායක හා සිරිමලී කොඩිතුවක්කු දම්පතින්න්ගේ පුත්‍රයෙකු ලෙස ගැටමාන්නේ දී උපත ලබා ගැටමාන්න මහ විදුහලින් හා ඉත්ත දෙමලිය මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය. තම ඥාතිවරයෙකු වූ වෛද්‍ය විශාරද ගලහිටිය වෙදරාළහාමිගේ ඇසුරෙන් දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රායෝගිකව පුහුණුව ලබද්දීම 1952 දී පනන්වෙල ගණේගොඩ පුරාණ මහා විහාරාධිපති නෙලරම්පිටියේ චන්දානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් ගැටමාන්නේ ධම්මින්ද නමින් පැවිදි විය.

සිය ගුරු හිමියන්ගේ ඇසුර ලබමින් ගුණ දහම් බණ පිරිත් හදාරා උසස් අධ්‍යාපනය සඳහා මාතර මහාමන්තින්ද උපාධි පීඨයෙන් අධ්‍යාපනය ලැබූහ. 2500 සම්බුද්ධ ජයන්තිය සිහිවටනයක් කරමින් මහනුවර මල්වතු උපෝසථාගාරයේ දී උපසම්පදා සීලයෙහි පිහිටියහ. 1962 දී සරසවි වරම් ලැබ ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධි ලබා ගත්හ. මාතර පුෂ්පාරාම පිරිවෙනේ පිරිවෙන් ආචාර්යවරයෙකු ලෙස දස වසරක් පමණ උසස් අධ්‍යාපනික සේවයක් ඉටු කළහ.

මාතර මන්තින්ද උපාධි පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්හ

බොහෝ කාලයක් මාතර පළාතේ සෑම විද්‍යාලයකම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පවත්වමින් අමරණීය ධර්මදූත සේවයක් ඉටු කළහ. මාතර හිරගෙදර ධර්ම දේශනා පවත්වමින් නොමඟ ගිය අසරණ හදවත් සනසවමින් දැහැමි මඟ කියා දුන් අතර මාතර තරුණ බෞද්ධ සමිතියේ බොහෝ කාලයක් ධර්මදේශනා ධර්ම සාකච්ඡා පවත්වා බොහෝ බුද්ධිමතුන්ගේ ධර්මඥානය දියුණු කළහ. 1960 සිට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ආගමික වැඩසහන්වලට සහභාගි වෙමින් ධර්මදේශනා ධර්ම සාකච්ඡා, ධර්ම චින්තා, බෞද්ධ කතා ඉදිරි පත් කරන්නේ ජනතා ප්‍රසාදය දිනාගනිමිනි. ශ්‍රී ලංතා ගුවන් විදුලි සේවයේ රුහුණු සේවය මගින් ඉදිරිපත් කළ ධර්ම මණ්ඩපය හා අසපුව වැනි දහම් වැඩසටහන් මෙහෙයවා කාලීන දහම් ගැටලු සාකච්ඡා කළහ.

ප්‍රවෘත්ති පත්‍ර සඟරා ආදියට ලිපි සැපයීමත් ‘මන්තින්දය මැදුම් පිළිවෙත සිංහල පරිනිබ්බාන සූත්‍රය, වැනි ග්‍රන්ථ සම්පාදනය කොට ශාස්ත්‍රීය සේවයක් ඉටු කරති. ජපානය, ඉන්දියාව, නේපාලය, දඹදිව ආදී රටවල ධර්මප්‍රචාරය සඳහා වැඩමවා උදාර සේවයක් ඉටුකොට ඇත.

1976 දී පිරිවෙන් ගුරු සේවයෙන් වෙන් වී රජයේ ගුරු සේවයට සම්බන්ධ වූ ධම්මින්ද හිමිපාණෝ හ/ මුත්තෙට්ටුගම විදුහල හ/ ඉහළ බෙලිගල්ල මහා විදුහල යන විදුහල් වල සේවය හා දකුණ කණුමුල්දෙනිය විදුහල්පති ලෙස ක්‍රියා කළහ.

දලුවක්ගොඩ ශ්‍රී ධර්මායතනය පළාතේ දර්ශනීය පන්සලක් බවට පත් කළහ. ශ්‍රී ධම්මින්ද දහම් පාසල, සුමග පෙර පාසල සුමග කලායතනය, සර්වෝදය ශ්‍රමදාන සමිතිය, ප්‍රජා ඉගනුම් මධ්‍යස්ථානය ඇතුළු ජනතාවට උදාර සේවයක් සිදු කරති.

ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලාගේ සුව පහසුව සඳහා වලස්මුල්ල දිසාරෝහලේ භික්ෂුවාට්ටුව සෑදවූයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබාගනිමිනි. 1985 සිට රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගයත් පළාතේ විද්‍යාලයන්හි සහයෝගයත් ලබාගෙන රෝහලේ බෝධි පූජා ගිලන්සංග්‍රහ පවත්වමින් අසරණ රෝගීන්ට සෙත් පිරිත් පවත්වමින් උදාර සේවයක් දැනටත් සිදුකරති. රෝහල් කමිටුවේ අනුශාසක ලෙස කටයුතු කරමින් නිහඬ සේවයක් සිදුකරන ශාස්ත්‍රපති ගැටමාන්නේ ධම්මින්ද හිමිපාණන්ට දීර්ඝායුෂ ලැබේවා!

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]