UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ධර්මචාරී මිනිස් ජීවිතයක ඇති සුපසන් බව

 ධර්මචාරී මිනිස් ජීවිතයක ඇති සුපසන් බව

ඉක්බිති ධනංජානි බ්‍රාහ්මණයා පසු කලක ආබාධයන්ට ගොදුරුව එනම්, ගිලන්ව බොහෝ සේ දුකට පත්වෙනවා. එම අවස්ථාවේ දී ධනංජානි බ්‍රාහ්මණයා එක්තරා පුරුෂයෙක් මඟින් පණිවුඩයක් මෙසේ යවන ලදී. මගේ යහළුව එන්න. භාග්‍යවතුන් වහන්සේ වෙතට යන්න, භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ දෙපා එනම් පා සඟල නුඹේ හිසින් වන්දනා කරන්න. වන්දනා කර මෙසේ පවසන්න.

භාග්‍යවතුන් වහන්ස, ධනංජානි බමුණා ආබාධයන්ට පත්ව බොහෝ දුක්ඛිතව දැඩිව ගිලන්ව දුක සේ වාසය කරනවා. අන්න ඒ වදන් පෙළ සැරියුත් රහතන් වහන්සේ වෙතටත් ගොස් නුඹේ සිරසින් වැඳ පවසන්න. ධනංජානි බමුණා ඔබ වහන්සේගේ දෙපා සිරසෙන් වන්දනා කරන්නට යැයි සඳහන් කළ බවත්, ඒ වගේ ම සැරියුත් තෙරණුවන් වහන්සේට පවසන්න මා කෙරෙහි අනුකම්පා කොට මාගේ ගෙදරට වඩින්නට කියා. එම පුරුෂයා ධනංජානි බමුණාගේ වදන් පිළි අරගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට ගමන් කළා.

මුලින් සඳහන් කළා සේ භාග්‍යවතුන් වහන්සේගේ පා කමල් වැඳ එකත්පසක සිට භාග්‍යවතුන් වහන්සේට ධනංජානි බමුණාගේ ගිලන් බව, දැඩි සේ ගිලන් බව, දුකෙන් පෙළෙන බව සඳහන් කළා. අනතුරුව සැරියුත් මහරහතුන් වහන්සේ වෙතටත් ගොස් උන්වහන්සේට වැඳ නමස්කාර කොට ධනංජානි බමුණාගේ ගිලන් බව දුක්ඛිත බව සඳහන් කළා. එලෙසම ධනංජානි බමුණා විසින් සැරියුත් මහ රහතුන් වහන්සේට බමුණාගේ නිවසට වඩින්නට යැයි අනුකම්පාවෙන් කළ ආරාධනාව පිළිගන්නට යැයි ආරාධනාවත් සඳහන් කළා.

සැරියුත් මහ රහතුන් වහන්සේ සිවුරු හැඳ පොරවාගෙන පාත්‍ර ඇතිව ධනංජානි බමුණාගේ නිවසට වැඩම කළා. පනවන ලද ආසනයේ වැඩ සිට, සැරියුත් තෙරණුවෝ ධනංජානි බමුණාට මෙසේ සඳහන් කරනවා. ධනංජානි, නුඹට දැන් සැනසෙන්නට පුළුවනි ද? වේදනාව පාලනය කරගන්න පුළුවනි ද? කෙසේ ද දුක් වේදනාව බැසගෙන යනවාද? දුක් වේදනාවල වැඩිවීමක් නොව සංසිඳීමක් පේන්න තියෙනවා ද? දැනෙන්න තියෙනවාද?

සැරියුත් තෙරණුවන් වහන්ස, මට ඉවසිය නොහැකියි. මට දරා ගත නොහැකියි. මාගේ දැඩි දුක්ඛ වේදනාවෝ, වැඩීගෙන වැඩීගෙන යනවා. බැසගෙන යෑමක් අඩුවීමක් පේන්න නැහැ. වැඩිවී්මමයි පේන්නෙ. දැනෙන්නෙ. අඩුවීමක් බැසගෙන යෑමක් පේන්න නැහැ. සැරියුත් තෙරණුවනි, හරියට බලවත් පුරුෂයෙක් තියුණු සැටක් ගෙන හිස මුදුනෙන් අල්ලන්නෙ වේද? එසේම අප්‍රමාණ වූ වාත වේදනාවෝ මගේ හිසට පහර දෙනවා. එනම් හිස පැලෙන්න තරමට දුක් දෙනවා. සැරියුත් තෙරණුවණි, මට ඉවසිය නොහැකියි. දරාගත නොහැකියි.

සැරියුත් තෙරණුවනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් ඉතා ශක්තිමත් වරපටක් ගෙන හිසෙහි හිස් වෙළුම් වශයෙන් වටේ බඳිනවා ද? ඒ වගේ මගේ හිසේ අධි මාත්‍ර අප්‍රමාණ වූ හිසේ වේදනාවෝ දැනෙනවා. මට ඉවසිය නොහැකියි. දැරිය නොහැකියි. මාගේ දුක්ඛ වේදනාවෝ නැඟීගෙන එනවා සංසිඳීමක් නැහැ. සැරියුත් තෙරණුවනි, යම් ආකාරයකට ඉතාම දක්ෂ ගව ඝාතකයෙක් හෝ ගව ඝාතකයකුගේ අත වැස්සෙක් ගවයන් කපන තියුණු ආයුධයකින් ගවයන්ගේ කුස කපා විවර කරන්නේ යම් සේ ද, එවැනිම අප්‍රමාණ වූ වාත වේදනාවෝ මගේ කුස පීඩාවට පත් කරනවා. මට දැරිය නොහැකියි. ඉවසිය නොහැකියි. යම් පරිදි බලවත් වූ පුරුෂයෝ දෙන්නෙක් දුර්වල පුරුෂයකුගේ අත් දෙකෙන් අල්ලාගෙන අඟුරුවලකට අරගෙන ගිහිං ඒකට ඔබලා ගිනි අඟුරුවල තවනවා සේ, අප්‍රමාණ වූ පිච්චීමක් මගේ ශරීරය පුරාම දැනෙනවා. බලවත් වූ දාහයක් මගේ ශරීරය පුරා ගමන් කරනවා. මට ඉවසිය නොහැකියි, දරාගත නොහැකියි. දැඩි දුක්ඛ වේදනාවක් මාගේ ශරීරය පුරා දැනෙනවා.

ධනංජානි කොහොමද සැරියුත් තෙරණුවන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ප්‍රශ්න කරනවා. නුඹ මා දැන් දේශනා කරන දේට ඇහුම්කන් දෙන්න. ඒ වේදනාවන් අතරෙන් සිහිය පිහිටුවාගෙන මම දේශනා කරන දේ හොඳින් තේරුම් ගෙන, මට පිළිතුරු දෙන්න.

නිරය හෝ තිරිසන් යෝනිය මේ දෙකෙන් කුමක් ද ශ්‍රේෂ්ඨවන්නේ. නිරයට වඩා තිරිසන් යෝනිය ශ්‍රේෂ්ඨයි. හොඳයි ධනංජානි, තිරිසන් යෝනිය හෝ ප්‍රේත විෂය යන දෙකෙන් කුමක් ද ශ්‍රේෂ්ඨවන්නේ. තිරිසන් යෝනියට වඩා ප්‍රේත විෂය ශ්‍රේෂ්ඨයි. ප්‍රේත විෂය හෝ මිනිස් භවය යන්නෙහි වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කුමක් ද? ප්‍රේත විෂයට වඩා මනුෂ්‍යයෙක්වීම ශ්‍රේෂ්ඨයි. මනුෂ්‍යයෝ ද චාතුම්මහාරාජිකා දෙවියෝ ද වඩා ශ්‍රේෂ්ඨ. චාතුම්මහාරාජිකා දෙවියන්වීම ශ්‍රේෂ්ඨයි. චාතුම්මහාරාජිකා දෙවියන්ට වඩා තාවතිංස දෙවියෝ ද වඩා ශ්‍රේෂ්ඨ වන්නේ. තාවතිංස දෙවියෝ ශ්‍රේෂ්ඨයි. තාවතිංස දෙවියන්ට වඩා යාම දෙවියන් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? තාවතිංස දෙවියන්ට වඩා යාම දෙවියෝ ශ්‍රේෂ්ඨයි. යාම දෙවියන් හා තුසිත දෙවියන් අතරින් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුරුන්ද? යාම දෙවියන්ට වඩා තුසිත දෙවියෝ ශ්‍රේෂ්ඨයි. තුසිත දෙවියන් හා නිම්මානරතී දෙවියන් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? නිම්මානරතී දෙවියන් ශ්‍රේෂ්ඨයි. හොඳයි ධනංජානි නිම්මානරතී දෙවියන් හා පරනිම්මිත වසවර්තිය දෙවියන් අතර වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුරුන් ද? නිම්මානරතී දෙවියන්ට වඩා පරනිම්මිත වසවර්ති දෙවියන් ශ්‍රේෂ්ඨයි. පරනිම්මිත වසවර්ති දෙවියන් හා බ්‍රහ්ම ලෝකය යන මේ දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කුමක් ද? බ්‍රහ්ම ලෝකයම ශ්‍රේෂ්ඨයි.

මෙසේ ප්‍රශ්න කිරීමත් ධනංජානි බමුණාගෙන් ලැබුණු පිළිතුරත් අනුව සැරියුත් මහ රහතුන් වහන්සේට මෙසේ සිතුණි. මේ බමුණෝ නම් බ්‍රහ්ම ලෝකයට දැන් සිත යොමු කොටගෙනයි සිටින්නේ. ධනංජානි බමුණාට බ්‍රහ්මයන් හා එක්ව වාසය කිරීම සඳහා මාර්ගය දේශනා කිරීම අවශ්‍යයයි. ධනංජානියනි, නුඹට බ්‍රහ්ම ලෝකය හා බ්‍රහ්මයන් එක්ව වාසය කිරීම සඳහා මාර්ගය පෙන්වා දෙමි. එයට හොඳින් සවන් දෙන්න. මැනවින් මෙනෙහි කරන්න. එසේ යැයි ධනංජානි බ්‍රාහ්මණයා ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිතුරු දෙන ලදී.

ධනංජානියනි බ්‍රාහ්මණයන් හා එක්ව වාසය කරන මාර්ගය කුමක් ද? මේ ශාසනයෙහි භික්ෂුව මෙත්තා සහගත සිතින් එක දිශාවක් ස්පර්ශ කොටගෙන වාසය කරනවා. එනම් එක දිශාවකට මෛත්‍රීය පතුරුවනවා. තමන් තමන්ට දක්වන හිතවන්ත බව සේ ම ඒ දිශාවේ සියලු සත්ත්වයන් කෙරෙහි ම ඒ හිතවන්තභාවය පතුරුවනවා. දෙවන දිශාවටත්, තුන්වන දිශාවටත්, හතරවන දිශාවටත් එසේමයි. උඩ, යට හා සරස එනම් මැද දිශාවත් එසේමයි. වඩාත්ම සමතාවයෙන් තමා තමා කෙරෙහි පවත්වන හිතවන්තභාවය සියලු සතුන් ඇති සියලු ලොව කෙරෙහි මහත් වූ අප්‍රමාණ සිතිවිලි ඇතිව අවෛරීව තරහ නැතිව මෛත්‍රී සිතම අරමුණු කොටගෙන වාසය කරන්න. ධනංජානියනි, මෙයයි බ්‍රාහ්මණයන් සමඟ වාසය කිරීමට බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට තිබෙන මාර්ගය.

ධනංජානි අන් මාර්ගයක් නැත. කරුණා සහගත සිතින් කරුණාව පිළිබඳ ඔබ මෙනෙහි කරන්න. සියලු සත්ත්වයන් කෙරෙහි, සියලු දිශාවන් කෙරෙහි තම ජීවිතය හා සමාන කොටම කරුණා සහගත සිතක් පතුරුවන්න. අන් අයගේ දියුණුව, අභිවෘද්ධිය දකිමින් සතුටුවිය හැකි සිත නම් වූ මුදිතා සහගත සිත සියලු දිශාවන් කෙරෙහි, සියලු සත්ත්වයන් කෙරෙහි ම පතුරුවන්න. උපේක්ෂා සහගත සිත, මැදහත් වූ සිත සියලු සත්ත්වයන් කෙරෙහි සියලු ලෝක සත්ත්වයන් කෙරෙහිම සර්ව ආත්මයෙන් ම තමාගේ ජීවිතය හා සමාන කොට උපේක්ෂා සහගත සිත පතුරුවන්න.

එක දිශාවක් නොව සියලු දිශාවන් කෙරෙහි ම එම සිත පතුරවා වාසය කරන්න. සර්වාත්ම සමතාවයෙන් එනම් තමා තමා ගැන සිතන ආකාරයෙන්ම සියලු සත්ත්වයන් කෙරෙහි ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් වූ සිව්බඹ විහරණයෙන් ම සියලු සත්ත්වයන් ඇති ලොව මහත්කොට අප්‍රමාණ වූ අවෛරී තරහ නැති සිත ඇතිකරගෙන වාසය කරන්න. මේ මාර්ගය නම් බ්‍රහ්මයන් හා වාසයට ඇති මාර්ගයමයි.

සැරියුත් තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේගේ පා කමල් මාගේ හිසින් වන්දනා කරන බව පවසා වන්දනා කර, භාග්‍යවතුන් වහන්සේට පවසන්න ධනංජානි බ්‍රාහ්මණයා ගිලන්ව බොහෝම දුක්ඛිතව වාසය කරන බව.

අනතුරුව සැරියුත් තෙරණුවන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයාට එනම් බ්‍රහ්ම ලෝකයේ තවම ඉපදුනේ නැති වූවත් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නට ආසන්න වූ සිතක් ධනංජානි බ්‍රාහ්මණයාගේ සිතෙහි සකස්කොට වැඩම කළ සේක.

ඒ මොහොතෙහි ධනංජානි බ්‍රාහ්මණයා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් පිටතට වැඩම කළ නොබෝ වේලාවකින් කළුරිය කළා. එනම් මරණයට පත්වුණා. එසේ කළුරිය කොට බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබුවා.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා මහණෙනි, සැරියුත් තෙරුන් වහන්සේ ධනංජානි බමුණා මතුකළ යුතු දේ තිබියදී බ්‍රහ්ම ලෝකයේ සිත පිහිටුවා හුනස්සෙන් නැගී ගියේ යැයි දේශනා කළා.

ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩම කර, මනා කොට වන්දනා කර එකත් පසෙක වැඩ සිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කරන ලදී. භාග්‍යවතුන් වහන්ස, ධනංජානි බ්‍රාහ්මණයා ගිලන්ව බොහෝම දුක්ඛිතව වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ පා කමල් ඔහුගේ හිසින් වඳින්නට යැයි ද සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කරනවා.

සාරිපුත්ත, නුඹ ධනංජානි බමුණාට මතු කළ යුතු දේ තිබිය දී හුදු බඹලොව පිහිටුවා හුනස්සෙන් නැගී කිම බැස ගියෙහි එනම් බඹලොවට සමීප කොට බඹලොව පිහිටීම මතුකොට දක්වා කුමක් හෙයින් බැස ආවෙහි ද? භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ සිතුණා. මේ බමුණෝ නම් බ්‍රහ්ම ලෝකාදි මුත්තයහ. එනම් මේ බ්‍රාහ්මණයා බ්‍රහ්ම ලෝකයටම සිත පිහිටුවාගෙනයි සිටින්නේ. මම ධනංජානි බමුණාට බ්‍රහ්මයන්ගේ සහ වාසය එනම් බ්‍රහ්මයන් හා වාසය කිරීම සඳහා මාර්ගය කියාදීම පමණක් ම ඇත යන්නයි.

සාරිපුත්තය, ධනංජානි බමුණ කළුරිය කළේය. බඹලොව ඉපදුණේය. බඹලොව ගියේ යැයි දේශනා කළ සේක.

මේ දහම් කතාවෙන් ඔබ අප සියලු දෙනාටම ධර්මචාරී ජීවිතයක ඇති වැදගත්කම, අධර්මචාරී ජීවිතයක ඇති නොවැදගත්කම මනා සේ පෙන්වා දෙයි. බොහෝ කෙනෙක් තමා නිසා හෝ මව්පියන්, දරුවන්, ස්වාමිභාර්යා, ඥාති, හිතමිත්‍රාදීන් වශයෙන් හෝ අනුන් නිසා හෝ පව්කම් කරන්නේ නම් එවැනි ජීවිතවලට හිතා බැලිය යුතු උතුම් සූත්‍ර දේශනාවක් ලෙස ධනංජානි සූත්‍ර දේශනාව අප අපටම ගළපා ගත හැකි වන්නේ ය.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]