Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

මෙම පාලි පාඨයෙන් කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය වෙයි. කියවන්න ‘කො පන භන්තෙ හේතු - කො හෙවත් පැවිදි ජීවිතයෙහිදී උපසපන් වීමෙන් වස් විසීම ගණනය කිරීමෙනි. පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.

ස්වාමීනි! යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමාන බුදු දහමෙහි චිරස්ථිතිය (පැවැත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිත කළ යුතු ය. පැහැදිලි කරන්න.

පිළිතුර -

බෞද්ධයන් අතර උපෝෂිත (පොහෝ දින) දිනයන්හි ධර්ම සාකච්ඡා මණ්ඩපයෙහි මෙබඳු දේශනා පිළිබඳව සාකච්ඡා කළ යුතු ය. බොහෝ විට සාකච්ඡා කෙරෙන්නේ දෙව්දත් පංච වර යාචනය, අවිහිංසාවාදී බව වැනි සරල දේ පමණකි. මෙම සූත්‍ර දේශනාවෙහි ඇති සටහන පොහෝ දින සාකච්ඡාවකට ඉතාම සුදුසු ධර්ම මාතෘකාවකි. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් සද්ධර්මය චිරස්ථායි වීමට නම් සිව්වණක් පිරිස ශාස්තෘවරයන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සඟරුවන කෙරෙහි ගෞරවයෙන් පළමුතැන්හිලා සැලකිය යුතු ය. ශික්ෂාවන්හි මෙන්ම සීලයෙහි අප්‍රමාදීව ගෞරව සහිතව එහි ප්‍රධාන බව සලකා කටයුතු කළ යුතු ය.

ප්‍රශ්නය -

සත්‍යය නම් ඇත්තටම පවතින දෙයයි. එමෙන්ම බොරු කළ නොහැකිය යන තේරුමයි. බුදු දහමෙහි සත්ත්වයා හා සම්බන්ධ සත්‍ය හතරක් ගැන ඉගැන්වෙයි. ‘රෝහිතස්ස’ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. මේ බඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත ශරීරයෙහිම මම ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ප්‍රතිපදාවත් පණවමි’ මේ සූත්‍ර පාඨයෙහි ‘ලෝක’ යන්නෙන් අදහස් වන්නේ දුකයි. පෙළ දහමෙහි දුක පිළිබඳව විවිධ නිර්වචනයන් විවරණය කරමින් දුක පිළිබඳ දේශනා පිළිවෙළ පැහැදිලි කරන්න.

පිළිතුර -

ලෝකය පිහිටා ඇත්තේ දුක මතය. එහෙයින් එය පිළිකුල්ය. ලෝකයේ කිසිම හරයක් නොමැත. එහෙයින් එය හිස්ය. එහෙයින් දුක්ඛ නම් පිළිකුල් ජනක හා හිස් බවයි. සාමාන්‍ය මිනිසුන් දකින ලෞකික සැප හුදෙක් ආශාවන් සංසිඳවීම සඳහා පමණකි. ආශා කරන දෙය ලබාගත් වහාම එය කෙරේ ආශාව අඩු වී යයි. එහෙයින් ආශාවෝ අතෘප්තිකර වෙති. සියලු සත්වයෝම ජාතිය ජරාව ව්‍යාධිය හා මරණය උරුම කර ගත්තෝ වෙති. මෙම සතර වැදෑරුම් දුක් සහගත තත්ත්වයන්ගෙන් තොර වූ කිසිවෙක් නොවෙති. සුන් වූ බලාපොරොත්තුව දුකකි. අප පි‍්‍රය කරන පුද්ගලයන් හෝ දේ, සමග එක් වන්නට අපි කිසිවෙක් කැමැති නොවෙමු. එමෙන්ම අප පි‍්‍රය කරන රුචිකරන පුද්ගලයන්ගෙන් හෝ ද්‍රව්‍යවලින් දුරස් වන්නටද අපි කැමැති නොවෙමු. (අං 4 ඉණ සූත්‍ර 118 පිටු)

දුක පිළිබඳව ප්‍රායෝගිකව වෙනත් විවරණයක් දක්නට ලැබෙයි. ‘මහණෙනි! ලොව දිළිඳුබව දක්නට ලැබෙයි. ‘මහණෙනි! ලොව දිළිඳු බව කාමභෝගීනට දුකය. ණය ගැනීම එය දිනෙන් දින වැඩිවීමද (පොලිය) නියමිත දිනට ණය ගෙවීමට නොහැකි වීම ද දුකය. ඒ පිළිබඳ පිරිස්මැද අවමානයට ලක්වීමද දුකකි.

නියම සැපත ඇත්තේ අප සිත් තුළය.

ප්‍රශ්නය -

අනගාරික පැවිදි දිවිය සතු බල සතක් බව දේශනා පාලියෙහි දක්නට ලැබෙයි. ඒ මොනවාදැයි පැහැදිලි කරන්න.

පිළිතුර -

සත්තිමානි භික්ඛවෙ බලානි මහණකම සතු බල සතකි එනම්,

සද්ධා බලය – විරිය බලය – හිරිබලය – ඔත්තප්ප බලය - සතිබලය - සමාධි බලය – පඤ්ඤා බලය

එතෙහි බලවා භික්ඛු සුඛං ජීවති පණ්ඩිතො මේ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ කල්ගත කරයි.

ප්‍රශ්නය -

අනගාරික ප්‍රතිපදාව ජීවිතය කොට ගත් භික්ෂූන් වහන්සේගේ ජීවන රටාව අධ්‍යාත්මික සදාචාරාත්මක හා මානව හිතවාදී ප්‍රායෝගික අගයට මුල් තැන දෙමින් සංවිධානය වී ඇත. ඒ සඳහා පුරන පිළිවෙත් අතර ‘ගමික වත හා වැසිකිළි වත යන අංග දෙකකි. මෙයින් දෙවැන්නට සඳහන් කළ ‘වැසිකිළි වත’ පැවිදි ගිහි ඕනෑම සාමාජිකයෙකුට අද පවා ප්‍රයෝජනවත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර –

වැසිකිළිය යනු බොහෝ විට පොදු පරිභෝජනයට වෙන් වූ ස්ථානයකි. සාමාන්‍ය ජීවිතයෙහි දී පනවා ගත් සම්මතයන් වැසිකිළිය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවෙහිදී නොසලකා හැර පැමිණි පිළිවෙළ අනුගමනය කළ හැකිය. සාමාන්‍ය පිළිවෙත්වල දී (වෘද්ධා පවායන) වැඩිහිටි අයට මුල් තැන දී සඟ මහලු පිළිවෙළ මෛත්‍රිය තමා සමාන කොට අන් අය කෙරෙහි ද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෛත්‍රිය කළ යුත්තේ මවක් එකම පුතු රකින ලෙසයි. සඟමහලු පිළිවෙළ සකස් ව ඒ අනුව ශාසනික සම්ප්‍රදාය සකස් වී ඇත.

එහෙත් වැසිකිළි වත නමින් සඳහන් වන එම සම්ප්‍රදායන් මෙහි දී අනුගමනය කිරීම යුක්ති සහගත නොවන බැවින් අවශ්‍යතාවයට හා පැමිණි පිළිවෙළට අනුගමනය කිරීම විශේෂිතය.

ප්‍රශ්නය -

අනුන්ගේ දුක දැක එය බැහැර කරනු රිසිව සාධූන්ගේ සිත්හි ඇතිවන කම්පනය බ්‍රහ්ම විහාරය ලෙස හඳුන්වා ඇත. බුදුසමයට අනුව අනුකම්පා දයා යන වචන ඊට සමාන්තරව යෙදෙන බව පෙන්වා දී ඇත. පෙළ දහමෙහි පිළිවෙළට සමගාමීව පැහැදිලි කරන්න.

පිළිතුර -

මෛත්‍රියට සව්සතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) අරමුණු වන අතර දුකට පත් සත්ත්වයා (දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා) එයින් මුදාලීමට කරුණාව ඒකාන්ත අරමුණ වේ. සම්මා සංකප්ප (යහපත් කල්පනාව) ගොඩනගන ලද අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුළ කරුණාව දයාව අනුකම්පාව ගැබ් වෙයි.

මෙයින් බුදු සමය අවධාරණය කරන්නේ කිසිම ප්‍රතිලාභයක් හෝ ප්‍රතිදානයක් අරමුණු කරගෙන හිත මිතුරු ආකල්පය නොපැවැත්විය යුතු බවයි. එය ආදරය හෝ ප්‍රේමය නොවේ. ප්‍රේමය ශෝකයත් බියත් ඇති කරයි. (පෙමතෝ ජායතී සෝකෝ පෙමතො ජායතී භයං) එම නිසා එය බැහැරලිය යුතු බව බුද්ධ දේශනාවයි.