Print this Article


අපවත් වී වදාළ බලංගොඩ ජිනරතන නා හිමි

අපවත් වී වදාළ බලංගොඩ ජිනරතන නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක ධූරන්දර නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන රාශියක අධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ සාහිත්‍ය කලා මේධා ශ්‍රී ත්‍රිපිටක ධර්ම විශාරද බලංගොඩ ජිනරතන නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගිය 20වනදා බලංගොඩ රත්මලවින්න මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

බලංගොඩ ජිනරතන නාහිමියෝ උපත ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ උඩ ඇල්ලෙපොළ ගල්කොරටුව ග්‍රාමයේදී 1941 මාර්තු 10 වන දිනය. සොහොයුරන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා ලෙස උපන් මේ පින්වත් කුමරුගේ මවුපියන් වූයේ ඇම්. කේ . අල්විස් උපාසක මහතා හා ඇම්. ඇම් . පුංචිනෝනා උපාසිකා මාතාවය.

සුදුසු වයස සපිරීමත් සමඟ බලංගොඩ කුමාර විද්‍යාලයට ඇතුළත්ව එහි 7 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ මොහු පැවිදි දිවියට ඇතුළත් වීමට ඇති ඇල්ම සුවිශේෂී වෙයි. ඒ නිසාම බලංගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාමය විහාරස්ථානයේදී 1951 පෙබරවාරි මස 27 වන දින බලංගොඩ ධර්මරුචි මහා නායක නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද මහා නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් බලංගොඩ ජිනරතන නමින් පැවිදි විය.

සාමණේර හිමිනමක් විසින් උගත යුතු සිංහල, පාලි, සංස්කෘත, ඉංශ්‍රීසි ආදී භාෂාවන් ද ප්‍රගුණ කොට ගුණ දහම් සපුරාලමින් 1964 මැයි 31 වන දින ගාල්ලේ මහා මෝදර උදකුක්ඛේප සීමා මාලකයේදී එවකට රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් හා නළුවෙල ශ්‍රී පි‍්‍රියදර්ශනාරාමාධිපති ආචාර්ය බලංගොඩ ධර්මරුචි හිමියන්ගේ ආචාර්යත්වයෙන් අධි සිල් ලැබීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක බද්දේගම විමලවංශ නා හිමියන් යටතේ වැඩිදුර අධ්‍යාපනය ලබා 1966දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී 1970 දශකයේ බුද්ධ ධර්මය ගෞරව උපාධියක් ලබා ගැනීමට ද ජිනරතන හිමියෝ සමත් වූහ. තරුණ පඬිවරයෙක් ලෙස පූර්ණ අධ්‍යාපනයක් ලබා සිටි උන් වහන්සේ දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූහ. ගත් කතුවරයෙක්, ලේඛකයෙක් වශයෙන් පමණක් නොව යහපත් සමාජ උපදේශකවරයෙකු ලෙස ද ක්‍රියා කිරීම නිසා ප්‍රසිද්ධියට පත්ව සමාජ මෙහෙවරෙහි යෙදුණු යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ගෞරවයට ලක් වූහ. ප්‍රදේශයේ පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා නළුවෙල ශ්‍රී පි‍්‍රයදර්ශනාරාම විහාරස්ථානයේ ධර්මරාජ පිරිවෙන ආරම්භ කර පරිවේණාධිපති ධූරය හෙබවූ අතර විහාරස්ථානය තව දුරටත් බැබළ වූහ.

ඉන්ද්‍රිය භාවනා” නමැති කෘතිය ද උන් වහන්සේගේ ග්‍රන්ථකරණයේ විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලෙස අගය කළ හැකිය. රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයන් සමඟ සහයෝගයෙන් හා සංහිඳියාවෙන් ක්‍රියා කළ උන් වහන්සේගේ සේවාවන් අගයමින් රාමඤ්ඤ මහා නිකායේ රත්නපුර දිසා පාලක ධූරයෙන් පිදුම් ලැබූහ.

” ත්‍රිපිටක ධර්ම විශාරද හා සාහිත්‍යය කලා මේධා ශ්‍රී” යන ගෞරව නාමය ද ජිනරතන හිමියන් වෙත පිරිනමන ලදී. මෙම නා හිමියන්ගේ ආගමික හා සමාජ මෙහෙවර අතර ප්‍රදේශයේ විහාරස්ථාන ආරම්භ කර දරුවන්ට ශාසන දායාදය හිමි කර දීමට නිර්ලෝභී විය. ගවරන්හේන ප්‍රඤ්ඤාවංශ විහාරස්ථානය, වීදාගම ශ්‍රී ගංගාරාමය, පල්ලෙවෙල ශ්‍රී බෝධිරාජාරාමය, වෙලංහින්න ශ්‍රී අභිනවාරාමය, ආදී විහාරස්ථාන රැසක් ආරම්භ කර බුදු දහමේ පැවැත්මට හා චිරස්ථිතියට විශාල මෙහෙයක් සිදු කළහ.

ශිෂ්‍ය භික්ෂු පිරිස අතර කථිකාචාර්ය මුල්ලේගම විමලානන්ද හිමි, වැලිගෙපොල ප්‍රඤ්ඤාරතන හිමි, වලේබොඩ ශාසනරතන හිමි, හතරබාගේ උපරතන හිමි, ආඳාගල පඤ්ඤාරතන හිමි, පින්නවල අනුරුද්ධ හිමි, හතරබාගේ සමිතරතන හිමි ඇතුළත් ශිෂ්‍ය පිරිස අගය කළ හැකිය. පැවිදි සහෝදර පිරිස අතර ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත හල්වින්නේ ගුණසිරි හිමි, කුඹල්මුල්ලේ විපුලසේන හිමි, වෙලේකුඹුරේ කල්‍යාණසිරි හිමි, හල්වින්නේ ශාන්තිභද්‍ර හිමිවරු වෙති.

දශක අටකට ආසන්න කාලපරිච්ඡේදයක් සමාජීය යුග මෙහෙවර අවසන් කළ උන් වහන්සේගේ අපවත්වීම ජන සමාජයට සිදු වූ පාඩුව කියා නිම කළ නොහැකි අතර අපවත් වූ බලංගොඩ ජිනරතන නා හිමියන් වහන්සේට උතුම් අමා මහා නිවන් සුව පතමු.