Print this Article


ශ්‍රේෂ්ඨ හැසිරීම වන්නේ කුමක් ද ?

ශ්‍රේෂ්ඨ හැසිරීම වන්නේ කුමක් ද ?

"අධර්මයේ හැසිරෙන අයහපත් වූ ජීවිතයකට වඩා ධර්මයේ හැසිරෙන යහපත් වූ ජීවිතයක් ම ශ්‍රේෂ්ඨවන බවයි. එසේ දැනුමක් පැවතුණු ධනංජානි බමුණා පවා, ‘අප්‍රමාදයට වෙලාවක් නැත. මවුපියන් අඹු දරුවන් ආදීන් වෙනුවෙන් අපගේ ජීවිතය පවත්වන්නේ’ යැයි පැවසුවේ ඉහත සඳහන් කළ ආකාරයෙන් ජීවිතය පිළිබඳව, ධර්මය පිළිබඳව, කර්මය හා ඵලය පිළිබඳව ඇති අනවබෝධය නිසාය."

සැරියුත් මහ රහතුන් වහන්සේ විසින් ධනංජානි බමුණාගෙන් අසන ලද ප්‍රශ්නවල පවතිනා උතුම් බව නුවණින් මෙනෙහි කොට බලමු. ධනංජානියනි, යමෙක් මවුපියන් හේතුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරීමත්, යමෙක් මවුපියන් වෙනුවෙන් ධර්ම චාරීව, සමචාරීව එනම් යහපත් වූ හැසිරීම්වලින් යුක්ත වීමත් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨවන්නේ කුමක් ද?

සැරියුත් තෙරණුවනි, මට වැටහෙනවා, ධනංජානි බමුණා සඳහන් කරනවා. යමෙක් මවුපියන් හේතුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරෙනවාද? එය කිසි විටක ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යමෙක් මවුපියන් වෙනුවෙන් ධර්මචාරීව, සමචාරීව හැසිරෙනවා ද? එයම ශ්‍රේෂ්ඨ වෙනවා. සැරියුත් තෙරණුවනි, අධර්මයේ හැසිරෙනවාට වඩා, නපුරු ලෙස හැසිරෙනවාට වඩා ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීමම වඩා ශ්‍රේෂ්ඨ වෙනවා.

ධනංජානි, යම් කර්මාන්තයකින් මවුපියන් පෝෂණය කරන්නට, හැකිවෙනවාද? පව්කම් කරන්නට නොහැකි වෙනවාද? පුණ්‍ය ප්‍රතිපදා පිළිපදින්නට හැකිවෙනවාද? එබඳු අන්‍යය සහේතුක ධාර්මික කර්මාන්තයක් හෝ කර්මාන්ත බොහෝමය. ධනංජානි, කුමක් ද ඔබ සිතන්නෙ. යමෙක් අඹු දරුවන් නිසා හෝ අධර්මයේ විෂමචාරීව හැසිරෙනවාද? යමෙක් අඹු දරුවන් නිසා ධර්මචාරීව, සමචාරීව හැසිරෙනවාද? මෙයින් වඩා ශ්‍රේෂ්ඨවන්නේ කුමක් ද? අඹු දරුවන් වෙනුවෙන් වූවත්, අධර්මචාරීව, විෂමචාරීව හැසිරීම ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යමෙක් අඹු දරුවන් හේතුවෙන් හෝ ධර්මචාරීව, සමචාරීව එනම් යහපත් ලෙස හැසිරීම සිදු කරනවා නම් එයම ශ්‍රේෂ්ඨයි. අධර්මයේ හැසිරීමට වඩා ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම වඩා ශ්‍රේෂ්ඨ වෙනවා.

ධනංජානියනි, එසේ නම් පවසන්න, යම් කර්මාන්තයකින් අඹු දරුවන් පෝෂණය කරන්න හැකිවේද? පව්කම් නොකර සිටින්නට හැකිවේද? පුණ්‍ය ප්‍රතිපදා පිළිපදින්න හැකිවේද? අන්න එබඳු වූ සහේතුක සාධාරණ, ධාර්මික කර්මාන්ත බොහෝමයක් තියෙනවා. සැරියුත් මහ රහතුන් වහන්සේ ලබාදුන් පිළිතුර මෙහි දී ධර්මයට ගලපා ගත යුතුයි.

ශීලයේ පිහිටා, දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගන්නා මනුෂ්‍යයෙකුට එමෙන් ම කර්මය හා ඵලය පිළිබඳව, හොඳ නරක විපාක පිළිබඳව තේරුම් ගන්නා වූ මනුෂ්‍යයෙකුට ධර්මානුකූල ව යෙහෙන් ජීවිතය පවත්වා ගැනීමේ අවස්ථා බොහෝමයක් සොයා ගත හැකියි. අධර්මයෙන් ජීවත්වනවාට වඩා ධර්මානුකූලව ජීවත්වීමේ අවස්ථාවන් වර්තමානයේ මෙරට පමණක් නොව ලෝකයේ ඕනම තැනක සොයාගත හැකියි.

ඉහතදීත් අප කතා කළ අයුරින් එක රාත්‍රියකින්, කෙටි කාලයකින් බොහෝ ධනය සොයා නොගත්තත්, සතුටින් ලද දෙයින් සතුටු වීමෙන් සැනසෙන්නට පුළුවන් ආකාරයෙන් ජීවත්වන්නට තරම් ධනයක් සොයා ගත හැකියි. මවුපියන්, ස්වාමිභාර්යා දරුවන් සියලු දෙනා වෙනුවෙන් කළ යුතු යුතුකම් කළ හැකි රැකියාවක් කර්මාන්තයක් සොයාගත හැකියි. එලෙසම පින් දහම්වල යෙදෙන්නට පුළුවන් සීලය සමාධිය වඩා ගැනීමට පුළුවන් රැකියාවක් වෘත්තියක් අනුගමනය කළ හැකියි. එවැනි බොහෝ ධාර්මික වූ පිරිස් හා රැකියා බොහෝමයක් ලෝකයේ කොතැනත් සුලභව තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ සම්මා ආජීවය ලෙස පැවැත් වූ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, රාජ්‍ය සේවය හෝ දෑතේ බාහු බලයෙන් උත්සාහයෙන්, වීර්යයෙන්, දහදිය මහන්සියෙන් ධර්මානුකූලව ධනය සොයාගත හැකි රැකියා කර්මාන්ත බොහෝමයක් පවතිනවා. එමගින් මවුපියන්, අඹු දරුවන්, යහළු හිත මිතුරන්, දැසි දස් කම්කරුවන් වෙනුවෙන් යුතුකම් කළ හැකි වනවා.

සැරියුත් මහ රහතන් වහන්සේ පෙර පරිදිම නැවතත් අර ප්‍රශ්න සියල්ලම ධනංජානි බමුණාගෙන් ප්‍රශ්න කරනවා. හිතමිතුරන් වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, ඥාතීන් නොවන යම් පිරිසක් වෙනුවෙන්, එනම් ගමේ, රටේ පළාතේ හිතවන්ත අය වෙනුවෙන් ආගන්තුකයන් වෙනුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරී යුතුකම් කිරීමද? කටයුතු කිරීමද ශ්‍රේෂ්ඨවන්නේ? එසේත් නොමැතිනම් ඒ අය වෙනුවෙන් ධර්මයේ හැසිරී. යහපතේ හැසිරී යුතුකම් කිරීම ද වඩා ශ්‍රේෂ්ඨවන්නේ?

ධනංජානි බමුණාගේ පිළිතුර වන්නේ ඒ සියලු දෙනා වෙනුවෙන් ම සියලු කටයුතු කිරීමේදී අධර්මයේ හැසිරී, අයහපතේ හැසිරී කටයුතු කිරීමට වඩා ධර්මචාරීව, යහපතේ හැසිරීමෙන් ම කටයුතු කිරීමම ශ්‍රේෂ්ඨ වන බවයි. මෙහි දී අපට පැහැදිලිවන කරුණ නම් බොහෝ පිරිසක් අධර්මයේ හැසිරෙන්නේ විෂමචාරීව ජීවිතය පවත්වන්නේ නොදැනීම නිසා නොවේ. ඔවුන්ට ඇති අනවබෝධය නිසයි. බුදු දහමට අනුව ගළපා බැලුවේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ඇති කරගත්තා වූ ශ්‍රද්ධාව නොමැති නිසාය. තෙරුවන් කෙරෙහි ඇතිකර ගත්තා වූ ශ්‍රද්ධාව නැති නිසාය. ඒ වගේ ම සීලයේ ඇති උතුම් බව නො වටහා ගත් නිසාය. එමෙන් ම කර්මය හා ඵලය පිළිබඳව ඇති අනවබෝධය නිසා හෝ අවිශ්වාසය නිසාය.

කෙටියෙන් සඳහන් කළොත් දශ වස්තුක මිථ්‍යා දෘෂ්ටිය නිසාය. එනම් "දන් දීමෙහි, අනුන්ට උදව් උපකාර කිරීමෙහි ප්‍රයෝජනයක් නැත, සිරිත් විරිත්වල විපාකයක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම වශයෙන් කටයුතුවල විපාකයක් හෝ හොඳ නරක බවක් හෝ නැත. හොඳ නරක කියා කර්මඵලයක් නැත. ක්‍රියාවක් නැත. මෙලොවක් කියා පරලොවක් කියා කිසිවක් නැත. මවුපියන් කියා විශේෂයෙන් උපස්ථාන කළයුතු යම් කෙනෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ යැයි පිරිසක් නැත. මෙලොව පරලොව මනා නුවණින් අවබෝධ කරගත් උතුම් මඟ පෙන්වාදෙන ශ්‍රමණ, බ්‍රාහ්මණයන් කියා පිරිසක් නැත" ආදී වශයෙනුයි.

මේ දශ වස්තුක මිථ්‍යා දෘෂ්ටියේ ප්‍රබල වශයෙන් ම මතුකොට දැක්වෙන්නේ මෙලොවක් නැත. පරලොවක් නැත කියන අදහස් පෙළයි. ඉන් අදහස් කරන්නේ ඉපදුනාට පසු කුමක් සිදුවේ දැයි කවුරු දන්නේ ද?. ජීවත්ව සිටින කාලය තුළ ඇස, කන ආදී ඉන්ද්‍රියන් පිනවා, මැරෙන්නට මත්තෙන් සතුටින් කෙසේ හෝ ජීවත්විය යුතුයි කියන අදහසේ සිටීමයි. වර්තමානයේ සමහර පිරිස් අතර පවා මේ අදහස මතුවේගෙන එන බව පෙනේ. මේ නිසා ඔවුන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරවේ. සීල ප්‍රතිපදාවෙන් ඉවත් වේ. හොඳ නරක පිළිබඳව සිතන ස්වභාවය ඉවත් කරගෙන තිබෙන බව පෙනේ. සරලව සඳහන් කළොත් ‘තම කුස පිරේ නම් අන් අය ගැන සිතිය යුතු නොවන්නේය’ කියන අදහස මතුවීමක් පෙනේ.

ධනංජානි බමුණා පවා සැරියුත් තෙරණුවන් වහන්සේට සඳහන් කරන්නේ, අධර්මයේ හැසිරෙන අයහපත් වූ ජීවිතයකට වඩා ධර්මයේ හැසිරෙන යහපත් වූ ජීවිතයක් ම ශ්‍රේෂ්ඨවන බවයි. එසේ දැනුමක් පැවතුණු ධනංජානි බමුණා පවා, ‘අප්‍රමාදයට වෙලාවක් නැත. මවුපියන් අඹු දරුවන් ආදීන් වෙනුවෙන් අපගේ ජීවිතය පවත්වන්නේ’ යැයි පැවසුවේ ඉහත සඳහන් කළ ආකාරයෙන් ජීවිතය පිළිබඳව, ධර්මය පිළිබඳව, කර්මය හා ඵලය පිළිබඳව ඇති අනවබෝධය නිසාය.

සැරියුත් තෙරණුවන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරන්නේ දෙවියන් වෙනුවෙන්, මිය ගිය ඥාතීන් වෙනුවෙන් හෝ රජුන් වෙනුවෙන් හෝ ධර්මයෙන්, කරන කටයුතු ද, අධර්මයෙන් කරන කටයුතු ද, සමචාරීව හැසිරීම් ද විෂමචාරීව හැසිරීම් ද වඩා වැදගත් වන්නේ ද කියායි. ධනංජානි බමුණාගේ පිළිතුර වුනේ මිය ගිය ඥාතීන් වූව ද, ඒ වගේ ම රජය වෙනුවෙන් වූව ද යම් කෙනෙක් ධර්මානුකූලවම යහපත් ලෙස හැසිරීමෙන් යුක්තව කටයුතු කරන්නේ නම්, එයම ශ්‍රේෂ්ඨවන බවයි.

සැරියුත් තෙරණුවෝ අවසන් ලෙස ප්‍රශ්න කරන්නේ ධනංජානි ඔබ කියන්න, යමෙක් කය පිනවීම හේතුවෙන් කය පෝෂණය කරන්න ඕනෙ කියන හේතුවෙන්, අධර්මව, විෂමචාරීව හැසිරෙනවා නම් එය ශ්‍රේෂ්ඨද? එය ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යම් කෙනෙක් කය පිනවූවත්, ජීවිත පැවැත්ම පිණිස ධර්මචාරීව යහපත් ලෙස හැසිරීමෙන් කටයුතු කරන්නේ නම් එයම ශ්‍රේෂ්ඨවනවා. යම් කර්මාන්තයක්, යහපත් ලෙස සිදු කරමින් කය පිනවන්නටත්, වඩන්නටත්, ජීවිතය පවත්වන්නටත් පුණ්‍ය ප්‍රතිපදා අනුගමනය කරන්නටත් ඒ වගේ ම අන්‍ය සහේතුක ධර්ම ධාර්මිකව පවත්වාගත හැකි බොහෝ කර්මාන්තයෝ පවතිනවා.

එය එසේ ම කළ හැකි බව ඔබට වැටහෙන බව ඔබ පිළිගන්නේ දැයි සැරියුත් තෙරණුවන් වහන්සේ ප්‍රශ්න කරනවා. ධනංජානි බමුණා ඒ වදන් පිළිගන්නවා. එහි සතුටුවෙනවා. ඒ අනුමෝදන්ව සැරියුත් තෙරණුවන් වහන්සේට ගෞරව කොට පිටව යනවා.