Print this Article


ලත්පඳුරේ අමරවංශ මාහිමි

ලත්පඳුරේ අමරවංශ මාහිමි

ලත්පඳුරේ අමරවංශ ස්වාමීන් වහන්සේ 2016 දෙසැම්බර් මස 26 දිනට සිය ජීවන ගමනේ අසූවැනි විය සැපිරූහ. අගලවත්ත ආසනයේ ලත්පඳුර ග්‍රාමයේ දී 1936.12.26 උපත ලද මෙම පුණ්‍යවන්ත කුමරුවා මල්ලිකා ආරච්චිගේ සිරිසේන යන නමින් හැඳින්විය. මල්ලිකා ආරච්චිගේ තෝමිස් අප්පුහාමි, කෙලින්කන්ද අප්පුහාමිගේ බබානෝනා දෙපළ මව්පිය කොටගත් මෙම කුමරුවා 1952 මැයි මස 01 දින කුඩා වස්කඩුව ශ්‍රී ක්ෂේත්‍රාරාමයේ දී පොතුවිල රතනජෝති ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි භූමියට ඇතුළත් විය.

මූලික පිරිවෙන් අධ්‍යාපනය පානදුර පින්වත්තේ ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනෙන් ලබාගත් අතර, එහිදී ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම යන විභාගවලින් සාමාර්ථය ලබාගත්හ. අනතුරුව 1963 කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ 1976 සිට 1977 දක්වා රජයේ ගුරුසේවයට ඇතුළත්ව පාසල් ගණනාවකම දක්ෂ ආචාර්යවරයෙකු ලෙස අධ්‍යාපනික සේවාව නිමාවට පත් කළහ.

දහම් පාසල් ගණනාවකම ප්‍රධානාචාර්යවරයෙකු ලෙස දහම් අධ්‍යාපනය ප්‍රදානය කළ අතරම අධ්‍යාපනය ලබන වකවානුවේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයද දැරූහ. නිලතල දරමින්ම කැපවීමෙන් කටයුතු කොට ශිෂ්‍ය සටන් දියත් කර ශිෂ්‍ය අයිතිවාසිකම් ලබාදීමට නොබසුබට වූහ. 1960 දී ලත්පඳුරේ අමරවංශ හිමියෝ වැලිතර ඤාණවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලබාගත්හ. සහජ හැකියාවන් රාශියක් උපතින්ම උරුම කරගත් අමරවංශ හිමියෝ වීර්ය සම්පන්න අධිෂ්ඨානශීලී හිමිනමකි.

දැනට රත්නපුර මල්වල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධූරය දරමින් දහම් පාසල් දියුණුවට කැපවීමෙන් යුතුව කටයුතු කරති. වේවැල්වත්ත පැලෑඳගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති තනතුර දරමින් ප්‍රදේශයේ ජාතික ආගමික, සාමාජික කුදුමහත් කටයුතු වල මාර්ගෝපදේශකයෙකු වශයෙන් උන්වහන්සේ ලබාදෙන නායකත්වය කාගේත් පැසසුමට ලක්වී ඇත.

එදා මාර්ග ආර්ථික ආදී අපහසුකම්වලින් නොදියුණු ප්‍රදේශයක ජනතාව නගා සිටුවීමට කතානායකයාණන් වහන්සේ පෙරමුණ ගත්හ. ප්‍රගතිශීලී අදහස්වලින් යුතුව දේශපාලන වශයෙන් උන්වහන්සේ රට, ජාතිය, ආගම ආරක්ෂා කිරීමට සැමවිටම කටයුතු කළහ.

බලංගොඩ ආනන්ද මෛත්‍රය මහානාහිමියන්ගේ අනුශාසනා කතානායකයාණන් වහන්සේ ඉදිරි ගමනට මනාසේ උපකාරී විය. ප්‍රදේශයේ උගත්, නූගත්, උස්, පහත් භේදයකින් තොරව මහත් කරුණාවෙන් ජනතා සේවය ඉටු කරන උන්වහන්සේට 2016 දෙසැම්බර් 26 දිනට අසූවිය සම්පූර්ණ විය. ඒ නිමිතිකොටගෙන බලංගොඩ රාස්සගල රංකොත් පුරාණ විහාරස්ථානයේ දී සියක් නමකට අධික මහා සංඝරත්නයට දානමය පින්කම සිදු කෙරිණි. ශාස්ත්‍රවේදී ලත්පඳුරේ අමරවංශ මාහිමිපාණන් වහන්සේට දිගාසිරි ලැබේවා....!