Print this Article


වෙසක් පතක ප්‍රමිතිය

වෙසක් පතක ප්‍රමිතිය

වෙසක් කාඩ් පතේ ප්‍රමිතිය රැක ගන්න කටයුතු කරන්න වෙසක් මාසය ආරම්භ වන විටම වෙසක් සුබ පැතුම් පත් තම ගුරු දෙගුරුන්ට මෙන්ම ඤාති හිත මිතුරන්ට යැවීමේ සම්ප්‍රදායය අතීතයේ පටන්ම අප අතර පැවතුණා.

බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් චරිතයෙන් අවස්ථාවක් හෝ නැත්නම් බුදු දහම හා කරුණක් සම්බන්ධ පැදි පෙළක් මෙන්ම සිතුවමක්ද එහි අඩංගු කර ලබන්නාට වෙසක් සුබ පැතුම මඟින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පැතීම මේ සිරිත ලෙසින් පැවතුණා. වර්තමානය වන විට මේ වෙසක් සුබ පැතුම් පත් එස්. එම්. එස්. නැත්නම් ඊ මේල් වෙත යම් දුරකට පරිවර්තනය වී තිබුණත් ග්‍රාමීය මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් වෙසක් සුබ පැතුම්පත් තවමත් ජනප්‍රිය අංගයක් බව පෙන්වා දිය යුතුයි. කාලයකට පෙර මේ වෙසක් සුබ පැතුම් පත්හි පැදි පෙළ නිර්මාණය වුණේ මේ රටේ ජනප්‍රිය නමගිය ගීත රචකයන් අතින්. කරුණාරත්න අබේසේකර, දෙල්තොට චන්ද්‍රපාල වැනි අයගේ පැදි බොහෝ විට වෙසක් සුබ පැතුම් පත්හි අඩංගු වුණා සේම එවන් නම ගිය අයගේ පැදි වෙසක් පත්වලට යොදා ගන්නටත් ඇතැම් ව්‍යාපාරික පිරිස් දැඩි ලෙසින් උනන්දු වුණා. ඒ තම වෙසක් පත් ජනප්‍රිය කර ගැනීමටයි. මෙරට සුප්‍රසිද්ධ වෙසක් පත් නිර්මාණකරුවන් මෙන්ම මුද්‍රණ ආයතනද දැන්වීම් මඟින් පවා ඒ බව ප්‍රසිද්ධ කළා. එහෙත් ක්‍රමයෙන් මේ ගුණාත්මක බව පිරිහෙන්නට වුණේ වෙළෙඳ පොළ තරගකාරීත්වය හමුවේ අධික ලාභ ලැබීමේ අරමුණ ඉස්මතු වුණු නිසයි.

එවිට පැදි රචකයා පසෙක ලා සිතුවමට මුල් තැනක් දෙන්නට පටන් ගත්තා. දැකුම් කලු සිතුවමක් සහිත වෙසක් පත් ජනතාව අතර ජනප්‍රිය වුණා. මේ සඳහා විශේෂයෙන්ම ඕප්සෙට් මුද්‍රණයත් බලපෑ බව කිව යුතුයි. චිත්‍ර ශිල්පය මුල් තැනක් ගත් සිතුවම් සහිත වෙසක් පත් ජනප්‍රිය වීමත් සමඟ වෙනස් මාර්ග කරා යොමු වන්නට සෙසු වෙළෙන්දන් කල්පනා කර ඇති බව පැහැදිලියි. එම නිසා එයට වෙනස් මඟක් ගන්නට තවත් පරපුරක් බිහි වුණා.

ඒ පරපුරේ අවශ්‍යතාවය වුණේ මුදල් හරි හම්බ කර ගැනීම මිස ගුණාත්මක හෝ කලාත්මක හෝ ආගමික හැඟීම් උද්දීපනය කිරීම නෙවෙයි. ලාභයම මුදල් ඉපැයීමම මුල් කර ගෙන සිටියා. මේ නිසා වෙසක් පත් පත් කලාවද යම් ආකාරයකට පිරිහීමකට පත් ව ඇති බව කිව යුතු වෙනවා. ඇතැම් වෙසක් කාඩ් පත්වල පෙම්වතුන් පවා සිටින සිතුවම් ඇතුළත් වුණා. ධර්ම චක්‍රය විවිධාකාර වැරැදි ආකාරයට නිර්මාණය වුණා. එපමණක් නෙමෙයි බුලත් අත පවා වැරැදියට අල්ලාගෙන සිටින සිතුවම් පවා නිර්මාණය වුණා. බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන කවි පද වෙනුවට පෙම් ගී වෙසක් පත්වලට ඇතුළු වුණා. වෙසක් සමයේ විකෘති යැයි සැලකිය හැකි ආකාරයේ වෙසක් පත් වෙළෙඳ පොළ පුරා තිබෙනවා. බුද්ධාලම්භන ප්‍රීතිය කුමක්ද යන්න ගැන දරුවන්ට වටහා ගැනීමට හැකියාවක් නැහැ. මේ නිසා සමාජයට දැඩි පීඩා එල්ල වෙනවා.

වෙසක් පතේ අරුත මතු පරපුරට දැන ගැනීමට හැකියාවක් නැහැ. මේ නිසා වෙසක් කාඩ්පතට අදළ ප්‍රමිතියත් ක්‍රියාවට නංවන්න ඉදිරියේදී කටයුතු සිදු කෙරෙනවා. මේ සම්බන්ධව වෙසක් පත් මුද්‍රණ කර්මාන්තයේ නියැළෙන පිරිස් අවධානය යොමු කිරීම වැදගත් වනවා. වෙසක් පතට පවා ප්‍රමිතියක් ලබා දීමට සිදු වීම ලංකාව වගේ රටක සිදු කිරීම ඇත්තෙන්ම කනගාටුදායකයි. නමුත් ඔලුබක්කන් නැටීම තහනම් කරන්න සිදුවුණාක් මෙන් එය කඩ කරන්නන් පොලිසිය මඟින් අත් අඩංගුවට ගැනීමට සිදු වූවාක් මෙන් ඉදිරියෙදී වෙසක් පත් හි නොමනා නිර්මාණය කර තිබේනම් එවන් වෙසක් පත් මුද්‍රණය කරන්නන් හෝ අලෙවි කරන්නන් හෝ අත් අඩංගුවට ගැනීමට සිදු වුණොත් එය කනගාටුවට කරුණක් වනවා. මේ නිසා වැඩිහිටියන් වශයෙන් අපටත් වගකීම් තිබෙනවා, විශේෂයෙන් දරු දැරියන්ට මෙන්ම තරුණ පරපුරටත් වෙසක් පතේ අරමුණ වටහා දීමට වෙසක් කාඩ්පත් යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරනු ලබන තවත් එක් පූජාවක් තවත් පැත්තකින් තම හිතවතකුට තුනුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීමක්.

වෙසක් කාඩ් පත් විකෘති කරමින් හෝ එමඟින් වෙනත් ආකාරයේ ඵල ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් එය බුදු දහමට අනුව බරපතළ වරදක් බව සිත්හි තබා ගත යුතුයි. වසර ආරම්භ වීමත් සමඟම මේ දැනුම් දීම සිදු කරන්නේ කල් ඇතිවම මේ පිළිබඳව සැලකිල්ලට ගෙන වෙසක් පත් නිසි පරිදි ප්‍රමිතියෙන් යුතුව නිර්මාණය කළ යුතු නිසයි. සුදුසු උචිත වෙසක්පත් මොනවාද යන්න තමන්ට ගැටලුවක් වන්නේ නම් ඕනෑම අවස්ථාවක බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව විමසා දැන ගන්නට පුළුවන්.