UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඹතැන්න – හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය

අඹතැන්න – හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය

මහනුවර මාතලේ මාර්ගයේ ගමන් කර අඹතැන්න කඩමණ්ඩියෙන් හැරී පූජාපිටිය මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කළ විට හපුගොඩ ශ්‍රී සුමනතිස්ස මාවතේ පුදබිම දිස්වේ. පූජනීයත්වයට පත් වූ ඒ පුදබිම මෙයට දශක විස්සකට පමණ ඉහතදී හාරිස්පත්තුව ප්‍රදේශයේ ධර්මධර, විනයධර, මහ පඬිරුවනක් ලෙස වැඩසිට අපවත්වී වදාළ හපුගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමියන් විසින් ඉදිකරන ලද හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරයයි.


චෛත්‍යරාජයාණන් වහන්සේ


බුද්ධ ප්‍රතිමාවහන්සේ


විහාරාධිපති බටුගොඩ සංකිච්චායන හිමි

මහනුවර යුගයේ බිතු සිතුවම්වලින්ද, බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් හා දර්ශනීය මකර තොරණකින් යුක්තවූ මෙම විහාර මන්දිරය තුළ පැවැති එම පෞරාණික තත්ත්වය ඒ පරිද්දෙන් ප්‍රතිසංස්කරණය කර අංග සම්පූර්ණ විහාරමන්දිරයක් ලෙස ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීමට වත්මන් විහාරාධිපති, උඩරට අමරපුර මහ නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මාතලේ විද්‍යානන්ද පරිවෙණාධිපති බටුගොඩ සංකිච්චායන නා හිමිපාණන්ට හැකිවිය. මේ සඳහා ඇප කැප වූ නීල් ඉරේෂක කොටුව මහතා මුදලකින් දායකත්වය ලබා දුන් බව විහාරාධිපති සංකිච්චායන හිමියෝ පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරති.

හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරයේ දැනට සිදුකෙරෙන ආගමික සංවර්ධන කටයුතුවලට දායකත්වය දෙමින් හපුගොඩ පට්ටියවත්ත ව්‍යාපාරික ඩී.ජී ප්‍රේමරත්න මහතා විසින් සිය දෙමව්පියන්ට පින්පිණිස කැටයම් කලාවෙන් නිමකරන ලද දර්ශනීය

ඝන්ඨාර කුළුනක් සාදා 2016.11.06 දින විහාරයේ කඨින පින්කම් උත්සවයේදී සඟ සතුකර පූජාකර ඇත.

ප්‍රතිසංස්කරණය කළ විහාරමන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් දෙසැම්බර් මස පවත්වනු ලබන පින්කම්මාලාවකි. දෙසැම්බර් 27 වෙනිදා සවස 2.00ට උඩරට අමරපුර මහා නිකායේ අනුනායක අත්තරගම වජිරජෝති නාහිමියන් විසින් විහාර මන්දිරය විවෘත කිරීම එදින රාත්‍රී තුන්තිස් පැයේ පිරිත් දේශනය ආරම්භ කිරීම, 29 දවල් තෛ‍්‍රනිකායික මහාසංඝයා වහන්සේ සියක් නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 30 වනදා රාත්‍රී පවත්වන ශාන්තිකර්මයකි.

මෙයට වසර විස්සකට ඉහතදී අපවත්වී වදාළ තම ගුරු දේවයන් වූ විද්‍යා විශාරද පණ්ඩිත හපුගොඩ ශ්‍රී සුමනතිස්ස නා හිමිපාණන්ට පින් අනුමෝදන් කිරීමත්, විහාරාධිපති බටුගොඩ සංකිච්චායන නා හිමියන්ගේ පනස්වන ජන්මෝත්සවයට ආසිරි ප්‍රාර්ථනා කිරීමත්, සංකිච්චායන හිමිගේ මෑණියන් වන කල්්‍යානි වැලි අංග උපාසිකා මාතාවට නිරෝගි භාවය ප්‍රාර්ථනා කිරීමත්, පරලෝසැපත් ඩී. ආරියදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මෙම පුණ්‍යකටයුතුවල අරමුණු අතර වේ.

මෙම ආගමික කටයුතුවලට දායකත්වය ලබාදුන් විහාර කාර්ය සාධක සමිතියේ දායක දායිකාවන්ට, බෞද්ධ කාන්තා ශීල සමාධි තරුණ බෞද්ධ යන සමිතිවලටත්, ශ්‍රී සුභද්‍ර දහම් පාසලේ දරු දැරියන්ටත් ආශිර්වාදය පිරිනමන බටුගොඩ සංකිච්චායන නා හිමියෝ, ජනවාරි පළමුවෙනිදායින් පසුව උදාවන 2017 නව වසර රටවැසි ජනතාවට සෞභාග්‍ය උදාවේවා’යි ප්‍රාර්ථනා කරති.


බෝධි ප්‍රාකාරය

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]