UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2016.12.07

ගිලන් උවටන

සැවැත්නුවර එක් විහාරයක වැඩසිටි ‘තිස්ස’ නම් භික්ෂූන් වහන්සේ නමකට කුෂ්ට රෝගයක් වැළඳුණේ ය. ආරම්භයේ අබ ඇට තරම් වූ ඉතා කුඩා බිබිලි හටගන්නා ලද එම රෝගය උත්සන්න වීමත් සමඟ ලේ සැරව ගලන තරමට ඒ කුඩා බිබිලි විශාල විය. රෝගයද අසාධ්‍ය විය. දුර්ගන්ධයද පැතිරෙන්නට විය. පෙර සේ උපස්ථාන කළ නොහැකිව උන්වහන්සේ අතහැර දමා ගියහ.

මේ අතර දිනක් බුදුපියාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළ සේක. තිස්ස තෙරුන්ගේ රෝගයට බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් පිහිට වූ සේක. රෝගී තත්ත්වය දුරු වී මහත් සුවයක් ලැබුණේ ය. මේ තිස්ස තෙරුන් වහන්සේ වෙත ජීවිතයක ඇති අස්ථිර බව බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කර වදාළ සේක. එය ඇසූ තිස්ස හාමුදුරුවෝ සෝවාන් වූහ.

සැවැත්නුවර සමීපයේ තවත් විහාරස්ථානයක වැඩ සිටි හිමිනමකට අතීසාර රෝගය වැළඳුන අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබුණු සේක. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමඟ විහාරයක් පාසා වැඩමකළ අවස්ථාවක හමුවූ ඒ හාමුදුරුවෝ ද සම්බුදු පිහිට ලැබීය.

අනතුරුව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී භික්ෂූන් වහන්සේ කැඳවා මහණෙනි, යමෙක් මට උපස්ථාන කරන්නේ නම් හෙතෙම ගිලනාහට උපස්ථාන කෙරේවායි වදාරා ගිලනුන්හට උපස්ථාන කරන ආකාරය දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ රෝගීන්හට නිතර උපස්ථාන කළ මහ රහතන් වහන්සේ නමකි.

අනේපිඬු මහා සිටුතුමා අසරණවූවන්ට, ගිලනුන්හට නිතර අවශ්‍ය සියලු දෑ සම්පාදනය කළේය. විශාඛා මහෝපාසිකාව ගිලන් භික්ෂූන් වහන්සේට නිතර දානය පිළියෙළ කර පූජා කළහ. භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහියන් වෙතද තිරිසන් සත්ත්වයන්ට පවා උපස්ථාන කළ ආකාරය සඳහන් වේ.

සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ධර්මය පිළිගත් ඒ අනුව ක්‍රියා කළ සද්පුරුෂයෝ මනුෂ්‍යයන් පමණක් නොව විවිධ සත්ත්වයන් ද ගිලන් වූ කළ උපස්ථාන කළ ආකාරය පෙනේ. බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ යුගයෙහි භාරතීය සමාජය විවිධ බෙදීම්වලට පත්වී තිබුණි. එහෙත් උන්වහන්සේගේ පහළවීමත් සමඟ එසේ බෙදීමේ නිස්සාරත්වය පමණක් නොව සමාජ සමානාත්මතාවයෙන් කටයුතු කිරීමට ද දේශනා කළා. ආදර්ශයෙන්ම පෙන්වා වදාළ ශාස්තෘවරයාණෝ බුදුපියාණන් වහන්සේ ය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර සම්බුදු දහම නිසා තිරිසන් සත්ත්වයන්ට පවා උපකාර කිරීමට උපස්ථාන කිරීමට භාරතීය සමාජය උනන්දු වූහ.

බුදුපියාණන් වහන්සේගේ කාරුණික මඟ පෙන්වීමත්, ආදර්ශයත් හේතුවෙන් කාරුණිකව ගිලන් උපස්ථානයට යොමුවූහ. ආදර්ශවත් ශාස්තෘන් වහන්සේ නමක් ලෙස බුදුපියාණන් වහන්සේ අනෙක් අයකු රෝගයකින් පීඩා විඳින විට ඊට පිහිට වූයේ මහා කරුණාවෙන්මය. තමන් වහන්සේ වෙත උපස්ථාන කරන්නේ නම් හෙතෙම ගිලනාට උපස්ථාන කෙරේ යනුවෙන් කළ දේශනාවෙන් ගිලනුන්ට උපස්ථාන කිරීම කෙතරම් වටිනා අගනා ක්‍රියාවක්දැයි පැහැදිලි වේ.

ගිලන් උපස්ථානයෙහි අනුසස් දක්නා නිරන්තරයෙන් ඊට යොමු වේ. නිරෝගී අයකු රෝගී වූ විට අසරණබවට පත්වීම ස්වභාවිකය. එබඳු මොහොතක තරාතිරම නොබලා, නොසොයා ඒ තැනැත්තා නිරෝගීකර ගැනීමට කටයුතු කිරීම මිනිස්කමය. ගිලනාට උවටැන් කිරීම මහත් වාසනාවකි. එය හැමටම හිමි නොවන පින්කමක් ද වේ.

රෝහලක් තුළ විවිධාකාරයේ උවටන් ලබන රෝගීන් සිය දහස් ගණනක් වුවද විය හැකි ය. ඒ සෑම රෝගියකුගේම ප්‍රාර්ථනාව නම් ඉක්මණින් නිරෝගීමත් අයකු වීමය. ආරෝග්‍යය පරම ලාභයකි. එය සසර කර්මානුරූපව කරන කියන ක්‍රියාවන්හි ප්‍රතිඵල වේ. නිරෝගී අයකු රෝගියකු වූ විට කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද මහත් පසුබෑමකට ලක්වීමට ඉඩ ඇත. එබඳු මොහොතක ගතෙහිත්, සිතෙහිත් සුවය පතා උපකාර කිරීම බෞද්ධයා සතු වගකීමක් වේ. ගෞතම බුදුපියාණන් වහන්සේගේ දහම් මඟ අනුගමනය කරන කිසිවකුටත් එවැනි දැයින් ඈත්විය නොහැකිය.

ස්වකීය මවුපිය දෙපළ ඔත්පළ වූ විට ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් සුවපත් කර ගැනීමට වෙර දරන දරුවෝ අප අතර අනන්තවත් සිටින බව අප කිසිවිටකත් අමතක නොකළ යුත්තකි. එහෙත් අවාසනාව නම් කලාතුරකින් හෝ දරුවන් මවුපියවරු ගිලන්වූ විට පවා ඇප උපස්ථාන නොකිරීමය. මවුපිය දෙපළට නොසලකා හරින්නේ නම් සමාජයේ වෙනත් කිසිවකුටත් එබඳු දරුවන් නොසලකන බව සාමාන්‍ය සමාජයේ විශ්වාසය වේ. ගිලනාට ශක්ති පමණින් උවටන් කිරීම මනුෂ්‍යයාගේ යුතුකම බව අමතක නොකළ යුත්තකි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]