Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2016 (2017):

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2016 (2017):

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය

01 වන කොටස

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

01)

1.ආර්ය සත්‍ය සතර නම් කරන්න

2. දුක හටගැනීමට බලපාන හේතුව දක්වා එය ඇතුළත් ආර්ය සත්‍ය ලියන්න

3.එම හේතුවට අදාළ ප්‍රභේද සංඛ්‍යාව ලියා එය නම් වශයෙන් දක්වන්න

4. එකී ප්‍රභේද කෙටියෙන් හඳුන්වන්න

02)

1.පටිච්ච සමුප්පාදය යන පදයෙහි අර්ථය දක්වන්න

2.පටිච්ච සමුප්පාදය ඉදිරිපත් කරන කෙටි සූත්‍රය ලියන්න

3.පටිච්ච සමුප්පාදයට අයත් ප්‍රත්‍ය මාලාව නම් වශයෙන් ලියා දක්වන්න

4. පටිච්ච සමුප්පාද න්‍යාය තුළින් ප්‍රතික්ෂේප වන වාද 04ක් ලියන්න

03)

1. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් ආර්ය සත්‍ය නම් කරන්න

2. ත්‍රි ශික්ෂාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වන්න

3. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් කොට දේශනා කළ මුල්ම සූත්‍රය නම් කර, එය කවුරුන් උදෙසා කොතනකදී , දේශනා කළේ දැ’යි ලියන්න

4. මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද

04)

1.බුදු දහම කර්මය ලෙස හඳුන්වන්නේ කුමක්ද

2.කුසල කර්ම – අකුසල කර්ම වශයෙන් හඳුනාගැනීමට බුදු දහමේ ඉගැන්වෙන නිර්ණායකයක් ලියන්න.

3.මනුෂ්‍යයෙකුගේ පහළවීම සඳහා බලපාන කරුණු 3ක් දක්වන්න

4. දස අකුසල කර්ම නම් කරන්න

05)

1. ත්‍රි ලක්ෂණය නම් කරන්න

2. සංස්කාර ධර්මයන් බෙදෙන ස්ඛන්ධ පංචකය දක්වන්න

3. එම සංස්කාර ධර්මයන්හි එකම ලක්ෂණය කවරේදැ’යි පෙන්වා දෙන්න

4.සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මයෝ දුකයි. සියලු සංස්කාර ධර්මයෝ අනාත්මයි . මෙයට අදාළ පාලි පාඨ තුන ලියා දක්වන්න

06)

1. නිවන යන්නට පර්යාය පද 04ක් ලියන්න

2. නිවන යන පදයෙහි අර්ථය පැහැදිලි කරන්න

3. නිර්වාණ ගාමී මාර්ගයෙහි පියවර 04ක් ලියා දක්වන්න

4. ඒ ඒ පියවරවලදී දුරුවන සංයෝජන ධර්ම වෙන් වෙන් වශයෙන් දක්වන්න.

11 කොටස

07)

1. භාවනාව යනු කුමක් දැ’යි නිර්වචනය කරන්න

2. සමථ භාවනාවේ අරමුණු වූු කර්මස්ථාන සංඛ්‍යාව නම් කරන්න

3.එම කර්මස්ථාන සංඛ්‍යාත්මකව වෙන් වෙන් වශයෙන් දක්වන්න

4. සමථ භාවනාවෙන් ලද හැකි උසස්ම ප්‍රතිඵල ලියා දක්වන්න

08)

1. අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කීයද

2. ඉන් තුනක් ලියන්න

3.චෛතසික ලක්ෂණ 04ක් නම් කරන්න

4. අකුසල සිත් සංඛ්‍යාව දක්වා එහි ප්‍රභේද සංඛ්‍යාත්මකව ලියන්න

111 කොටස

පහත සඳහන් පාලි ගාථා සහ වාක්‍ය සිංහලට නඟන්න

9)

1. මාමං අපාදකෝ හිංසි – මාමං හිංසි බහුප්පදො

මාමං චතුප්පදො හිංසි – මාමං හිංසි බහුප්පදො

2. පූජකො ලභතෙ පූජං – වන්දකො පටි වන්දනං

යසො කිත්තිංච පප්පපොති – යො මිත්තානං න දුභති

3.යාවජිවම්පි චෙ බාලෝ – පණ්ඩිතං පයිරුපාසති

න සො ධම්මං විජානාති – දබ්බි සුපරසං යථා

4. වන්දාමි චේතියං සබ්බං – සබ්බඨානේසු පතිට්ඨිතං

ශාරිරික ධාතු මහා බෝධිං – බුද්ධ රූපං සකලං සදා

10)

1.ඒවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ

2.තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරෝ භික්ඛු අහිනා දට්ඨෝ කාලකතො හෝති

3. අන්තො පරිවෙණෙ ආසන්නමරණෝ අත්ථි , තෙන සද්ධිං මන්තෙති,

4.තං සුත්වා රාජා තුට්ඨෝ තෙසං සක්කාරං අකාසි

පිළිතුරු

1 කොටස

01)

1. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය

2.තෘෂ්ණාව, දුක්ඛ සමුදයාර්ය සත්‍යය

3.ප්‍රභේද 03කි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා

4.පස්කම් සැප පිළිබඳ ඇති තෘෂ්ණාව කාම තණ්හාවයි. නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව භව තණ්හාවයි. නැවත නොඉපදීම පිළිබඳ තෘෂ්ණාව විභව තණ්හාවයි.

02)

1.යම් කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇති වීම පටිච්ච සමුප්පාදය නම් වේ.

2.ඉමස්මිං සති ඉදං හොති – ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති

ඉමස්මිං අසති ඉදං නහොති – ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති

3. අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ , නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන,භව, ජාති, ජරා, මරණ

4.පුබ්බෙකත හේතු වාදය, අධිච්චසමුප්පන්න වාදය, ඉස්සරනිම්මාණ හේතු වාදය, නියති සංගතිභාව හේතු වාදය

03)

1.දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය

2.සිීල – සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව

සමාධි –සම්මා වායාම, සම්මා සති,සම්මා සමාධි

ප්‍රඥා – සම්මා දිට්ඨි, සම්මා සංකප්ප

3. දම්සක් පැවැතුම් සූත්‍රය, පස්වග මහණුන් උදෙසා බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කරන ලදී.

4. අත්තකිලමතානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකින් බැහැරව, නිර්වාණය සාක්ෂාත් කිරීමට අනුගමනය කළයුතු ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව නම් වේ.

04)

1. චේතනාව සහිත වූ ක්‍රියාව කර්මය නම් වේ.

2.තමා කරන ක්‍රියාව තමාගේත් අන් අයගේත් යහපත, අර්ථය පිණිස පවතින ක්‍රියාව කුසල කර්ම වේ. තමාගෙත් අන් අයගෙත් අයහපත පිණිස පවතින ක්‍රියාව අකුසල ක්‍රියාව නම් වේ.

3.මවගේ ඍතු වීම, මව්පියන්ගේ සංවාසය, කර්ම ශක්තිය සමඟ විඤ්ඤාණය

4. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය, බොරුකීම, කේලම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම , අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ඨිය

05)

1.අනිත්‍ය, දුක්ඛ, අනාත්ම

2.රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ

3.මෙහි එකම ලක්ෂණය ඇති වී නැති වී යාමය

4. සබ්බේ සංඛාරා අනිච්චා /සබ්බේ සංඛාරා දුක්ඛා 4සබ්බේ සංඛාරා අනත්තා

06)

1.අසංඛත, ඛේම, විමුත්තිය, මෝක්ෂ

2.නිවන යන පදයෙන් නිවිම, නැවැත්ම, නොපැවැත්ම යන්න අර්ථවත් වේ. දුකෙහි නැවැත්ම මෙයින් පැහැදිලි වේ.

3.සෝවාන් මාර්ගය, සකෘදාගමී මාර්ගය , අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය

4.සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සිඳී යයි. සකෘදාගාමී වීමේදී කාමරාග, ව්‍යාපාද යන සංයෝජන තුනීවන අතර අනාගාමී වීමේදී මෙය ප්‍රහීණ වේ. අර්හත් වීමේදී රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන පස ක්ෂය වේ.

11 කොටස

07)

1.කුසල සිත වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි.

2.කර්මස්ථාන 40කි.

3. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, චතු බ්‍රහ්ම විහාර, චතු ආරුප්ප, ආහාර පටික්කූල සංඥාව, චතු ධාතු වවත්ථායනය

4.පංච අභිඤ්ඤා සහ අෂ්ට සමාපත්ති සමථ භාවනාවෙන් ලද හැකි උසස්ම ප්‍රතිඵල වේ.

පංච අභිඤ්ඤා –

1. ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව

2.දිව්‍යමය කණ් ඇතිබව

3.අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව

4. පෙර ආත්ම භාවයන් දැකීමේ හැකියාව

5.දිවැස් ඇති බව

අෂ්ට සමාපත්ති

ප්‍රථමධ්‍යාන, ද්විතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුර්ථත්ධ්‍යාන, ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙව සංඤා නා සඤ්ඤායතන

08)

1. 07කි.

2.යමක ප්‍රකරණය/ පුද්ගල පඤ්ඤති ප්‍රකරණය/ කතාවත්ථු ප්‍රකරණය

3. සිත හා එකට ඉපදීම, එක්වම නැතිවී යාම, එකම අරමුණකම එල්බ සිටීම, එකම වස්තුවක් ඇසුරු කොට පැවැතීම

4. අකුසල සිත් 12කි

ලෝභ මූලික සිත් 08යි. ද්වේෂ මූලික සිත් 02යි. මෝහ මූලික සිත් 02යි.

111 කොටස

9)

1.පා නැති සතෙක් මට හිංසා නොකෙරේවා, දෙපය ඇති සතෙක් මට හිංසා නොකෙරේ’වා. සිව් පා ඇති සතෙක් මට හිංසා නොකෙරේවා. බොහෝපා ඇති සතෙක් මට හිංසා නොකෙරේවා.

2. යමෙක් මිතුරන්ට ද්‍රෝහි නොවේද, හෙතෙම අනුන් පුදා තමාද පිදුම් ලබයි. අනුන්ට වැඳ තමාත් වැඳුම් ලබයි. යසසට කීර්තියට පැමිණේ.

3. අනුවණයා දිවි ඇතිතෙක් නුවණැත්තෙකු ළගින් ඇසුරු කළත් මාලු පිණී රස, හැන්ද නොදන්නා සේ ධර්මය නොදනී.

4. සියලු තැන්වල මනාව පිහිටියා වු සියලු චෛත්‍යය වඳිමි. ශාරීරික ධාතූන් වහන්සේද, මහා බෝධිය ද බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද සැමදා වඳිමි.

10)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා (ඉදිකළ) ආරාමය වූ ජේතවනාරාමයේ වාසය කළ සේක.

2. එකල සැවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පයකු විසින් දෂ්ඨ කරන ලද්දේ කලුරිය කළේ වෙයි.

3. ඇතුළු පිරිවෙනෙහි මරණාසන්න වූ සාමණේර නමක් ඇත. ඔහු හා කතා කරගනු මැනව.

4. ඒ අසා සතුටු වූ රජතුමා ඔවුන්ට සත්කාර කළේය.

මීළඟ පාඩම (දෙසැම්බර් 21 වනදා) උඳුවප් අව අටවක පෝදා පත්‍රයේ පළ වේ.