Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය: ඉතා උසස් යැ’යි සම්මත බ්‍රාහ්මණ කුලය මෙන්ම ක්ෂත්‍රිය වෛශ්‍ය, ශුද්‍ර යැ’යි කුමන නාමයකින් හැඳින්වුවත් පස්පව් දස අකුසල් සිදුකරන පුද්ගලයෝ ‘පාපකාරී පුද්ගලයෝමය. යම් කෙනෙකු උසස් හෝ පහත් වන්නේ ඒ අයගේ කුසල් අකුසල් ක්‍රියාවන් අනුව මිස මවාගත් සිත නිසා නොවේ . බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කරන්න

පිළිතුර: බුදුරජාණන් වහන්සේ (දී:නි) අග්ගඤ්ඤ සූත්‍රයෙන් දේශනා කර වදාළ උපමා කථාවකින් දක්වන ලද පරිදි ‘ගංඟා, යමුනා, අචිරවතී , සරභූ , මහී නම් වූ පංච මහා ගංඟා ගලාගෙන අවුත් මහා සාගරයට වැටුණු පසුව ඒ ගංඟාවල පෙර නාමය අත්හැර මහා සාගරය යන පොදු නාමය භාවිතයට යොමුවන අතර ලුණු රසය එකම රසය වෙයි. එමෙන්ම විවිධ කුලවංශයන් පැමිණීමෙන් “සමණ සක්‍යපුත්තියා” හෙවත් ශ්‍රමණ භවත් ගෞතම ශ්‍රාවක බවට පත්වෙයි. සමාජය කුමන හේතු සාධක මත ප්‍රභේද සකස්කොට ගත්තත් පස් පව්, දස අකුසල් කරන සෑම පුද්ගලයෙක්ම පාපී පුද්ගලයෙකි. පස්පව් දස අකුසලින් බැහැරව දස කුසල් මාර්ගයෙහි යොමුවී සිටීනම් ඔහු ශ්‍රේෂ්ටයෙකි. මෙලොව පරලොව දෙකෙහිම සැප විපාක ලබයි.

ප්‍රශ්නය: ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී ලාංකික සංස්කෘතික අභිමානය ලොවට විදහා දක්වයි. මහනුවර ඇසළ මහා පෙරහර කුමන අරමුණක් සඳහා පැවැත එන්නක්ද යන්න පැහැදිලි කරන්න

පිළිතුර: ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාර පිණිසත්, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දෙවියන්ට බැති පුද පිණිසත්, කලට වැසි ලැබ කෙත්වතු අස්වැන්නෙන් සරු සාරවීම පිණිසත්, හෙළයේ සංස්කෘතික අභිමානය ලොවට විදහා දැක්වීම පිණිසත් වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගල පුර ඇසළ පෙරහර පවත්වනු ලැබේ. බුදු දහම තුළින් උරුම වූ හැදියාව සාර ධර්ම, ඥානය, කලා ශිල්ප, සදාචාරය, ගුණ ධර්ම සිරිත් විරිත් නීති රීති හා නිර්මාණ ආදියෙහි ස්වභාවය දෙස් විදෙස් හැමදෙනා හමුවෙහි ප්‍රදර්ශනය කරනුයේ මෙම ඇසළ පෙරහර මංගල්‍යය තුළිනි.

ප්‍රශ්නය: පෘථග්ජන භූමියෙහි සිට ආර්ය භූමියට පැමිණිමෙහිදී “සද්ධානුසාරී” සහ “ධම්මානුසාරී” යනුවෙන් දෙකොටසක් ගැන පෙළ දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර: තෙරුවන් සරණ ගිය පන්සිල් දිවි පෙවෙතට නැඹුරු වූ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා යන ඉන්ද්‍රියයන් වැඩෙන්නට පටන් ගැනීම නිසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් උපදවා ගත් තැනැත්තා සද්ධානුසාරි අවස්ථාව වෙයි. ධර්මයද ශ්‍රවණය ඇසුණේ ධර්ම මාත්‍ර වැටහීමක් ලැබීමේ අවස්ථාව ධම්මානුසාරී අවස්ථා වශයෙන් ම.නි. කීටාගිරි සූත්‍ර දේශනාවන්හි දැක්වේ.