Print this Article


පහන් සිතක කවි

බුදු ගුණ

පන්සල පෙනි පෙනී අදමිටුවෙකු වෙන්න එපා
අනිසි ලෙසට වස්තුව උප යන්න එපා
මිනිස් කමට කිසිදා ගර හන්න එපා
පස් පව් කළොත් යන්නට වෙයි සතර අපා

අලව් යකා දැහැමින් දමනය කෙරුවා
නාලාගිරි ඇතා බුදු හිමි ළඟ දණ ගැසුවා
අංඟුලි මාල දහසක් මිනිසුන් මැරුවා
සම්බුදු දහම ඔහු නිවනට යොමු කෙරුවා

මිහිඳු සමිඳු සිරිලක් දිවයිනට ගෙනා
සරණක් කොහෙද වෙන සම්බුදු සරණ විනා
එලොව මෙලොව දෙකටම මතු වැඩ සදනා
සම්බුදු දහම රැකගමු අපි සියලු දෙනා


අපේ පොඩි සාදු

දඟ වැඩ කරන කොළු වයසට දෙපිය මැන
ආවා පමණි මතුවිය පෙර කරපු පින
හිස මුඩු කොට දමා කහවත පොරව ගෙන
මතකයි අද වගේ නා හිමි වැඳපු දින

හිරු පිබිදෙන විටදි නිදි ගැට ඉවත දමයි
පිරිසුදු සිසිල් ජලයෙන් මුව පොඩිය තෙමයි
පිය මැන ගොසින් බුදුරුව ළඟ දෙදණ නමයි
ඉන් අනතුරුව පොත පත වෙත දෙනෙත යොමයි

වනපොත් කරන්ට බණ පොත් කියවනවා
ජාතක කතා පිළිබඳ තතු විමසනවා
බණ භාවනාවට කාලය යොදවනවා
අපෙ පොඩි සාදු මහ ප¼ඩි රුවනක් වෙනවා

අත්ථි ඉමස්මිං සහ කායෝ කේසා
ලෝමා නඛා දන්තා යන බව ආශා
පොඩි සාදුගෙ සිත ළඟ කෙරුවත් ගෝසා
අරමුණ කරා යයි ඒ කිසිවක් නාසා


සසරේ පුරුදු

සිවුරක් විලස සළුවක් ගෙන ගත පොරවා
දෙල් කොළයක් රැගෙන එදවස බණ දෙසුවා
බහ තෝරන වියේ පෙළහුරු දැක්වූවා
සසරේ පුරුදු අද නම් වළකනු බැරුවා

ඉගෙනුම ලබා රැකියාවක් කරන් දුවේ
පෙළවහකට ගිහින් පරපුර රකින් දුවේ
ඉටුනොවනා කළට සිතුමන් පසු බෑවේ
සුසුමන් කියයි මවකගෙ සිත තුළ අරුමේ

ඔබ සැම බැඳී සිටිනා ගිහි බන්ධනයෙන්
මම නම් මිදී රකිනෙමි අද දස සීලෙන්
ළාමක දෙයට යොදවන මේ නිසරු කයින්
මම අද සිල් පුරමි ඉටුකර සියලු වතින්


මුනිඳු වඳීමු

සසර සරණ සතහට හිමි විය පිහිට
එතෙර කළේ භව කතරින් මොක් පුරට
සතර අරිය සත් දහමම කරන කොට
නතර විය උපත මරණය ද නැති කොට

පානා මහා මෙත් කරුණා සමාධී
පේනා අඩ නුවන් යුගමත සමාධී
ගේනා සැදැහැසිත් කරමින් සමාධී
ලෝනා වඳිමි බැති සිත කර සමාධී


මවගේ ගිලන් ඇඳ අසල සිට

නිවෙසේ බුදුන් අම්මා අද අනූවියේ
හොඳටම ගිලන්වී දුබලව සයනයේ
නැගිටිනු බැරිව අත්පා කෙසඟව දුක සේ
සිටිනා කලට නොහඬා මම සිටිනුයේ

තිලකුණු දහම බුදුහිමි දෙසු දකිමි සොඳින්
එනිසා දුකක් ඇති නොමවේ සිතට කිසිත්
අම්මේ ඔබට මේ වූ දේ අනාගතේ
අප සිටියොතින් අපටත් වෙයි නියත ලෙසින්

කැත කුණු ඔබෙ අත ගාලා සැම දිනෙක
ගත වන දොවා ආහාර කවමින් අදරින්
නිසි ඔසු පොවා පොඩි කල මා සැදු අයුරින්
අම්මේ ඔබව නළවමි මෙත් පා නිතියෙන්

මුළු වෙර යොදා ගිජිඳකු සේ ඔබ රකිමි
අවසන් මොහොත තෙක් ඔබෙ අසලම සිටිමි
බිව් කිරිවලට ණය ගැතිමය එය ගෙවමී
නිවනින් මට සැනසෙන්නට ඔබ මඟකී

මාලබේ
කේ. ඩබ්ලිව් සිරිසේන


හිරු සඳු වාගෙ බැබළෙන බුදු දම

අඳුර දුරුකර බැබළෙන හිරු සඳු ලෙසද
ගෞතම මුනිඳු දෙසුවා වූ බුදු දමද
සව්ලෝ සතුන් සරණා හැර දුක දුරද
ආලෝකයක් දෙයි බොදුනුවො හට නිබඳ

අමාමෑණි තිලෝගුරු සම්බුදු රජිඳු
සසරේ පාරමී පුරමින් රුදු මරු පැරදූ
අකුසල් දුරලමින් ගුණ ගරුකව දැනුුදු
බොදුනුවො ලෙසින් එමග සිත්ගමු පුබුදු


ලොවට අයිති නැති මිනිසා

අනියත බව දකින්නට අප බොහෝ දන
බිය වනු පෙනේ මෝහය තුළ ලැගුම් ගෙන
සිතුවොත් යමෙක් අනියත බව සියලු තැන
අහිමිව යන්නෙ දුක පමණයි සිතනු මැන

පන් දහසක් වසරකින් ලොව බුදු සසුන
අතුරු දහන් වේ යන මිසදිටුව ගෙන
අවබෝධයට මේ කල් නොම වේය යන
මෝහය හැර මා දහමට යොමන් මන

නිවන් මග වඩන සැදැහැති සියලු දන
පෙර මතු දිවිය සැනෙකින් අත හරිනු මැන
දහම දැකීමට වෙහෙසෙන ඔබ සොඳින
නිරතුරු මේ මොහොතෙ සිහියෙන් සිටිනු මැන

කල්ප ගණන් මා මගේ යැයි කියා ගෙන
පුරවපු මහා බර යන විට ගිලිහෙමින
සැහැල්ලුව දැනේ කෙලෙසුන් මිදෙන තැන
ලොවට අයිති නැති මිනිසෙකි ඔබ එදින


හිමි දළදා

ගත දැවෙන දාහයට
සිත දැවෙන භව දුකට
පහසක්ය දිවි මගට
සමිඳුනේ ඔබ සරණ

සොබාදම් දිනිතිය ද
බර දරණ මිහිකත ද
විටෙක විරසක වේවි
හිමි අපව රැක දේවි

දහම් දේශය මෙයයි
හිමි අපේ උරුමයයි
සැනසුමට මාවතයි
සසර මඟ නිමාවයි