බුදු ඇසින් දුටු මානව සමානත්වය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
ජාතිවාදය යන්නට විශ්වීය අර්ථකතනයක් ලබා දී නොමැත. එහෙත් ඓතිහාසික හා ප්‍රායෝගික
සිද්ධීන් ඇසුරින් එය වටහාගත හැකිය. ඒ අනුව එක් ජාතියක් හෝ මිනිස් වර්ගයක් සෙසු
ජාතීන්ට වර්ගයනට වඩා ජන්මයෙන් උසස් යැයි ද බුද්ධිමත් යැයි ද උසස් ලේ ඇත්තේ යැයි ද
උසස් වර්ණය ඇත්තේ යැයි ද ශිෂ්ඨ සම්පන්න යැයි ද තරයේ විශ්වාස කිරීම ජාතිවාදයයි. ඉන්
නොනැවතී උසස් යැයි පිළිගත් ජාතියේ පැවැත්ම, අභිවෘද්ධිය හා ව්‍යාප්තිය උදෙසා පහත්
යැයි පිළිගත් ජාතීන් හෝ වර්ගයන් සංහාරය කිරීම, වහල් භාවයට ගැනීම, ගම්බිම් වලින්
පළවා හැරීම, ඔවුනට මානව හිමිකම් අහිමි කිරීම හා පහරදීම සාධාරණයැයි පිළිගැනීම
ජාතිවාදයයි.
ජාතිවාදය සමාජ සාධාරණත්වය ඉක්මවා යන්නකි. සාධාරණත්වය නම් වූ විශ්වීය න්‍යායට
විරුද්ධ වූවකි. ජාතිවාදියා එක්තරා ආකාරයක මානසික රෝගියෙකු බව පිළිගෙන තිබේ. මේ
නිසාම ජාතිවාදය විශ්වාස කළ, එය ව්‍යාප්ත කිරීමට කටයුතු කළ පුද්ගලයින්ගෙන් ඉතිහාසය
පුරාවටම මානව වර්ගයාට සිදු වූයේ අතිමහත් විනාශයකි.
මිනිසා ජාති, කුල, ගෝත්‍ර ආදී වශයෙන් විවිධ කණ්ඩායම්වලට බෙදී සිටීම අද ඊයේ
සිදුවූවක් නොවේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම මෙම තත්ත්වය තිබුණු බවට සාක්ෂි
හමුවේ. ක්‍රි.පූ. 5000 ටත් වඩා ඈතට ගමන් කරන වෛදික සාහිත්‍යයේ පවා වර්ණයට අනුව
මිනිසුන් බෙදී සිටි බවට කරුණු හමුවේ. සෘග්වේදයේ පුරුෂ සුත්තයෙහි මහා බ්‍රහ්ම
මනුෂ්‍යයා නිර්මාණය කළේ චතුර් වර්ණය අනුවම බැව් සඳහන්ය.
ජාතිවාදය නම් වූ අවුරුදු දහස් ගණනක් පැරණි තවමත් ඔඩුදුවනා සමාජමය පිළිකාව පිළිබඳ
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. සම්මතය තුළ
මිනිසුන් අතර නානත්වයක් ඇති බව බුදුදහම පිළිගනී. (නානත්ත කායා නානත්ත සඤ්ඤා) එහෙත්
ජාති, වර්ණ, කුල, ගෝත්‍ර වශයෙන් මිනිසා විසින් ඇතිකරගෙන තිබෙන එක් වර්ගයකට වඩා තවත්
වර්ගයක් උසස්ය. හෝ පහත්ය යන අදහස බුදුසමය සහමුලින්ම බැහැර කරයි. කවර නම් වලින්
හැඳින්වුවද මිනිසුන් අතර ජාතිභේදයක් පැවතිය නොහැකි බවත් මිනිසාට ඇත්තේ එකම ජාතියක්
බවත් පළමු වරට ප්‍රකාශ කළ ශාස්තෘවරයා බුදුන් වහන්සේ ය.
බුදුරජාණන් වහන්සේ පහළවන අවධිය වන විට භාරතයේ වර්ණභේදය හෙවත් කුලභේදය බමුණන් විසින්
ආගමික සංකල්පයක් බවට පත්කරගෙන තිබුණි. ඉන් නොනැවතුණු බමුණෝ සියලු ආගමික, දේශපාලනික
ආර්ථික සහ අධ්‍යාපනික කටයුතු මේ වර්ණ අනුව සහජයෙන්ම ඒ ඒ අයට වෙන් කොට ඇති බව ද
ප්‍රකාශ කළහ. මිනිසුන් මෙසේ උපතින්ම උස් පහත් වශයෙන් බෙදා ඔවුන්ගේ දේශපාලන, ආර්ථික
හා සමාජමය අයිතීන් සීමාකර තිබීම අසාධාරණ දෙයක් බව බ්‍රාහ්මණ ධර්මානුකූලව තම චින්තනය
මෙහෙයවන්නෝ නොපිළිගත්හ. ඔවුන්ගේ පිළිගැනීම වූයේ මෙම වර්ණ සංකල්පය ශ්‍රේෂ්ඨත්වය
පිළිබඳ සනාතන මිනුමක් බවයි. බ්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ඨය, අනිත් වර්ණ පහත් ය.
බ්‍රාහ්මණයෝ සුද්ධිය ලබති. අන්‍යයෝ නොලබතියි බුද්ධකාලීන බමුණෝ පැවසූහ.
බුදුරජාණන් වහන්සේ මෙම වර්ණ භේදය මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි වූ
ඓතිහාසික වශයෙන් කිසිදු පදනමක් නොමැති විද්‍යාත්මක හා තාර්කික නොවන යල්පැනගිය
නිරර්ථක සම්මුතියක් මිස ආගමික හා සනාතන වැදගත් කමකින් යුක්ත නොවූවක් බව පෙන්වා
දුන්හ. එසේ පෙන්වාදීමෙන් නොනැවතුණු බුදුන් වහන්සේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුළින්
එයට විරුද්ධ ක්‍රියාකරමින් මානව සමානාත්වය ස්ථාපිත කරලීම සඳහා ආදර්ශයන්ද සැපයූහ.
වර්ණභේදය යනු ජාතිවාදයේම එක් මුහුණුවරකි, බමුණන් තම වර්ණයම උසස් යැයි පැවසුයේ
උත්පත්තිය පදනම් කරගෙනය. ‘බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසිද්’ මහාබ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්
හෙයින් තම ජාතියම ශ්‍රේෂ්ඨ යැයි ප්‍රකාශකළ ඔවුහු ජාතිවාදය ව්‍යාප්ත කළහ. එහෙත්
බුදුරජාණන් වහන්සේ බමුණනන්ගේ මෙම ජාතිවාදය ඉතා දැඩිව විවේචනය කළහ. ජාතිවාදය පිළිබඳ
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි කරන ඉතා වැදගත් දේශනාවන් කිහිපයක්
ත්‍රිපිටක පාලිය තුළ අන්තර්ගතව ඇත. ඒ අතර වාසෙට්ඨ සූත්‍රය, අස්සලායන සූත්‍රය
අග්ගඤ්ඤ සූත්‍රය, ඵසුකාරි සූත්‍රය ආදී සූත්‍ර ප්‍රධාන වේ.
ජාතිවාදයට ජීව විද්‍යාත්මක පදනමක් නොමැති බැව් බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ වාසෙට්ඨ
සූත්‍රය තුළිනි. තම ජාතියම, තම වර්ණයම උසස් යැයි තර්කකළ වාසෙට්ඨ බමුණාට බුදුන්
වහන්සේ ලබාදෙන පිළිතුර මෙසේ ය. ‘වාසෙට්ඨයෙනි, මම තොපට ප්‍රාණීන්ගේ ජාති විකාශය ඇති
සැටියෙන් මෙසේ විවරණය කරමි. ජාතීහු නානාප්‍රකාරයහ. යම් තෘණ වෘක්ෂ කෙනෙක් ඇත්ද
ඔවුන්ගේ වෙන වෙනම ජාතිමය ලිංගයක් ඇත. කවර හෙයින්ද යත් තෘණ ලතාවෝ නානාප්‍රකාරය. එක
ගස් වර්ගයකින් අනෙක් ගස් වර්ගය වෙනස්ය. එක ලතාවකින් අනෙක් තෘණ ලතා වෙනස්ය. එසේම
කුරුකුහුඹුවන්ගේ පටන් පණුවන් ද පළඟැටියන්ද වෙනස් ය.
පළඟැටියන් ද වෙනස් ය. උන්ගේ ජානමය ලිංගයක් ඇත. පා දෙකක් ඇති සතුන්, පා සතරක් ඇති
සතුන් අතර ද ජාති වශයෙන් වෙනසක් ඇත. ඔවුන් නානාප්‍රකාරයහ. ජලයෙහිම උපන් ජලයම ගෝචර
කොට සිටින මත්ස්‍යයන් ආදී සතුන්ගේ ද වෙනස් ජාති ඇත. එක් ජලජ සත්වයෙකුගෙන් අනෙක්
සත්වයා වෙනස් ය. පියාපත් විදහා අහසේ පියාසර කරන සත්ත්වයන්ගේද වෙනසක් ඇත. පක්ෂීන්
විවිධය. නානාප්‍රකාරයහ. මෙසේ විවිධ සත්ව කොටස් අතර වෙන වෙනම ජාතිමය ලිංග ඇත් ද, ඒ
ආකාරයෙන් මිනිසුන් කෙරෙහි ජාතිමය ලිංගයක් නැත.’
මේ ආකාරයට ගස් වැල් වෙන්කර හඳුනා ගන්නේ ඒ ඒ ශාක වර්ගයට උරුම ජාති ලක්ෂණයන් ඇති නිසා
බව වාසෙට්ඨ සූත්‍රයේදී පෙන්වාදෙන බුදුරජාණන් වහන්සේ සතුන් පිළිබඳව ද තත්ත්වය එයම බව
දැක්වූහ. තණ පඳුරු, මහා වෘක්ෂ, කෘමීන්, පක්ෂීන්, සිව්පාවුන් අතර එක් එක් වර්ගයා
වෙන් වෙන්ව හඳුනා ගැනීම සඳහා ප්‍රකට ජීව විද්‍යාත්මක සාධක ඇතත් මිනිසුන් අතර
එවැන්නක් නොමැත යන්න බුද්ධ දේශනාවයි.
“යථා ඒතේසු ජාතීසු - ලිංගං ජාතිමයං පූථූ
එවං නත්ථි මනුස්සේසු - ලිංගං ජාතිමයං පුථු”
හිසකෙස් පටන් පාදය දක්වා කායික ලක්ෂණ හා කටහඬ මෙන්ම මෛථුනය වැනි ලක්ෂණ කෙරෙහි පවා
අවධානය යොමු කළ බුදුන් වහන්සේ ඒ හැම එකකින්ම හෙළිවන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයා එකම
සත්ව කොට්ඨාසයක් බව පෙන්වා දෙමින් මිනිසුන්ට ජාතිවාදයක් ඇතිකර ගැනීමට පදනමක් නොමැති
බව අවධාරණය කළහ.
ජාතිවාදයට ඓතිහාසික පදනමක් නොමැති බැව් බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ අස්සලායන
සූත්‍රයේදීය. එහිදී බ්‍රාහ්මණයන් උප්පත්ති මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බව දැක්වෙන
බ්‍රාහ්මණ මතය පිළිබඳ බුදුරදුන්ගේ අදහස අස්සලායන විසින් විමසන ලදී. මෙයට පිළිතුරු
දෙන බුදුන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ උත්පත්ති ක්‍රමය සාමාන්‍ය වෙනත් පුද්ගලයන්ගේ
උප්පත්ති ක්‍රමයම බව වැඩිවිය පැමිණෙන, ගැබ් දරන, දරුවන් බිහිකරන හා දරුවන්ට
කිරිපොවන බැමිණියන් දක්නට ලැබීමෙන් සනාථ වන බව වදාළහ. අනුස්සාවය හෙවත් පරම්පරාගත
විශ්වාසය ප්‍රමාණය වශයෙන් ගෙන ආදිම බ්‍රාහ්මණයන් එසේ පහළ වූවායැයි ඇතැම් බමුණන්
තර්ක කළද, ‘මම මෙය දකිමි, මම මෙය දනිමි’ යනුවෙන් නිශ්චිත වශයෙන් කියාපාන්නට සමත්
අයෙකු බමුණු පරපුරේ කිසිදා නොසිටි බව බුදුන් වහන්සේ චංකී සූත්‍රයේ දී පෙන්වා දුන්හ.
හුදු සාම්ප්‍රදායික අන්ධ විශ්වාස කරපින්නා ගනිමින් තම ජාතියම උසස් යැයි තර්ක කළ
බමුණන් අන්ධයින්ගේ පෙරහරක් බඳුයැයි බුදුන් වහන්සේ වදාළහ.
මුලින්ම ගමන් කරන අන්ධයාට මඟ නොපෙනේ, ඔහුගේ කනවැල අල්ලාගෙන පස්සෙන් යන අය අතර
අන්තිමයා දක්වා කිසිවෙක් මග නොදකිති. මේ ආකාරයට අනුස්සාවය හෙවත් පරම්පරාගත
විශ්වාසයන්හි ඓතිහාසික පදනමක් නොමැති බව බුදුන් වහන්සේ අවධාරණය කළහ.
වර්ණභේදය, ජාතිභේදය සමාජ සාධාරණත්වය ඉක්මවා ගිය එකක් බව එය මිනිසුන්ගේ මූලික
අයිතිවාසිකම්වලට පටහැනි වූ, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඒක පාක්ෂික බෙදුමක් බවත්, එය
පිළිගැනීමට මිනිසුන් බැඳී නැති බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ එසුකාරී සූත්‍රය
තුළිනි. ජාතීන් වශයෙන් මිනිසුන් උස් පහත් වශයෙන් වෙන් කොට ඔවුන්ට වෙන් වෙන් වශයෙන්
පිළිපැදීමට චර්යා ධර්මයන් නියම කිරීම සියලු දෙනාම ඒකමතිකව පිළිගෙන තිබේදැයි බුදුන්
වහන්සේ ඵසුකාරී බමුණාගෙන් විමසූ විට ලැබුණු පිළිතුර වූයේ ‘නැත’යන්නයි. එවිට බුදුන්
වහන්සේ වදාළේ බමුණන් සිදුකරන මෙම ක්‍රියාව මිනිසෙකුට බලහත්කාරයෙන් මස්කවා මුදල්
අයකර ගැනීම වැනි ක්‍රියාවක් බවයි. යමෙකු නොපිළිගන්නා දෙයක් බලහත්කාරයෙන් ඔහු පිට
පැටවීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඒක පාක්ෂික, ඒකාධිපති ක්‍රියාවක් බව මෙයින් පැහැදිලි
කර දී තිබේ.යමෙකු ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් යුක්තව අන්‍යයන් පහත්කොට සලකා තම
ජාතියම, තම වර්ගයාම උසස් යැයි සිතමින් ක්‍රියා කරන්නේ නම් ඔහු පිරිහීමට පත්වන බව
බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ පරාභව සූත්‍රය තුළිනි.
“ජාතිත්තද්ධො ධනත්තද්ධෝ
ගොත්තද්තද්ධෝ ච යෝ නරෝ
සඤ්ඤාතිං අති මඤ්ඥේති
තං පරාභවතෝ මුඛං”
තම ජාතියම තම වර්ගයාම උසස්ය. අන්‍ය ජාතීන් පහත් යැයි ප්‍රකාශ කිරීමේ කිසිදු
සත්‍යතාවක් නොමැති බැව් බුදුන් වහන්සේ පෙන්වා දූන්හ. තම ජාතියම පාරිශුද්ධය, අන්‍ය
ජාතීන් පහත් අපිරිසුදු ජාතීන් යැයි විශ්වාස කරමින් ක්‍රියාකළ අය පිරිහීගිය ආකාරය
ඉතිහාසය පුරාම දැකගත හැකිය. ඉතාලියේ ජාතිවාදය සම්බන්ධයෙන් වර්තමානයේ අත්දකින කරුණු
හා අතීත සිදුවීම් අතර වෙනසක් නොමැත.
මිනිසා කෙතරම් තාක්ෂණය විද්‍යාව අතින් දියුණුවට පත්ව සිටිය ද ජාතිවාදයේ, වර්ගවාදයේ
භයානක විෂබීජයන් තවමත් ඔඩුදුවමින් තිබෙන අයුරු දැකගත හැකිය. මෙය අපේ රටට පමණක් සීමා
වූවක් ද නොවේ. දියුණුවේ හිනිපෙත්තට ගොස් සිටින රටවල් අතර ද ජාතිවාදී, වර්ගවාදී මත
බහුල වශයෙන්ම පවතී.
ජාතිවාදය නිසා මිනිසුන් දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් සිය ජීවිත වලින් වන්දි ගෙවූහ.
ඉතිහාසය පුරාවටම මහා ජන සංහාරයන් බොහෝ ප්‍රමාණයක් සිදුවී ඇත්තේ ජාතිවාදය
මුල්කරගෙනය. ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි හමුදාව විසින් පමණක් ඝාතනය කළ යුදෙව්වන්
සංඛ්‍යාව මිලියන පහද ඉක්මවයි. මෙය සිදුවූයේ ජාතිවාදයේ ප්‍රතිඵලයක් වශයෙනි.
ජාතිවාදය, වර්ගවාදය සැමදාම මිනිස් වර්ගයාට සිදුකර ඇත්තේ අතිමහත් විනාශයකි.
වර්තමානයේ ද ලොව පුරා බොහෝ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිවෙමින් එම විනාශයම සිදුකරන
අයුරු දැකිය හැකිය. මේ හේතුවෙන් සැවොම එක්ව ජාතිවාදය පරාජය කළ යුතු ය. සමාජයෙන්
අතුගා දැමිය යුතු ය. මේ සඳහා බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගත හැකිය. මිනිසා කිසිවිටෙකත්
උප්පත්තියෙන් උසස් හෝ පහත් බවට පත් නොවන බවත් මිනිසා උසස් හෝ පහත් බවට පත් වනුයේ
ඔහුගේ ක්‍රියාවෙන්ම බවත් බුදුන් වහන්සේ වසල සූත්‍රයේ දී පෙන්වාදී වදාළහ.
‘කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ’ බ්‍රාහ්මණයා වුවද පඤ්චවිධ දුශ්චරිතයෙහි
යෙදේ නම් පුරවැසියෙකු වශයෙන් ගර්හාවට ලක්වෙයි. සුචරිතවත් ශුද්‍රයා දුසිරිතෙහි යෙදෙන
බමුණාට වඩා උසස්ය. සදාචාර ජීවිතය බමුණන්ගේ ජන්ම උරුමයක් යැයි කියා ගනිතත් එය
අනුගමනය කිරීමට පහත් යැයි සම්මත කුලවල අයට ද හැකියාවක් ඇති අතර එයින් බමුණන් ලබන
ප්‍රතිඵලයම ලැබීමට පුළුවනි.
දුශ්චරිතයෙහි හැසිරෙන බ්‍රාහ්මණයා දුගතිගාමී වන අතර සදාචාර සම්පන්න ශුද්‍රයා
සුගතිගාමී වන බව ද අස්සලායන සූත්‍රයෙහි පැහැදිලිකොට ඇත. ඉහත සඳහන් ආකාරයට ජාතිවාදයේ
කිසිදු පදනමක් නොමැති බවත් එය හුදු මිථ්‍යා සංකල්පයක් පමණක් බවත් පෙන්වාදුන් බුදුන්
වහන්සේ ජාතිවාදයට වඩා සදාචාරාත්මක න්‍යාය ධර්ම සමාජයේ ක්‍රියාත්මකවන ආකාරය කෙරෙහි
අවධානය යොමුකිරීම වැදගත් බව පෙන්වා දුන්හ. මිනිසාට ශිෂ්ටාචාරවත් විය හැක්කේ
ජාතිවාදය, වර්ගවාදය පසෙකලා ආචාරවිද්‍යාත්මක පදනමකින් ක්‍රියාකළහොත් පමණක් බව බුදු
දහමට අනුව සිහිතබාගත යුතු ය. |