Print this Article


පන්සිල් රකිමු

මෛත්‍රී වඩවලා වෛරය දුරු කරමු
නිරහංකාර ජීවිත සකසා ගනිමු
දුටු දුටු සැම දෙනට මෙත් සිත වඩමු
මෙත් සිත් වඩවලා පන්සිල් පද රකිමු


මත් රකුසා පරදවමු

දුම් වැටි මත් පැන් පානය හොඳ නැත
ඉන් ලෙඩ වෙනවා හැමගෙම ගත සිත
අම්මා කඳුළෙන් පුරවාගෙන නෙත
හැන්දෑවට බිය සැකයෙන් ගෙයි ඇත

දවසෙම දහඩිය කඳුළැලි වැය කොට
හවසට බීගෙන ගෙට ගොඩවෙන විට
දුවගෙන ගොස් දරුවෝ නිදි පැදුරට
සුව සේ සැතපෙනවද? සැකයකි මට

යන්තම් පිරිමහගෙන තුන් වේල
අම්මා සකසති බත සම්බෝල
හංගා කඳුළැලි දෑසින් නීල
උන්නත් නොසිතයි මේ ගොන් රාල

තිත තැබුවොත් මිනිසුනි මත් වතුරට
අත මිට සරුවී කිරි උතුරති ගෙට
සිත සතුටින් හැමදෙන පසුවෙන විට
නැත යන වචනය දුරුවෙයි සදහට

පරිහානිය වෙත පවුලක් ලංකර
සිරිදුව පන්නා පුතුමන් සංකර
දිරිය නසන මත් රකුසාගෙන් තොර
පරිසරයක් ගොඩ නංවමු සුන්දර


සපුරන් මිණිමුතු

බුදුන් සරණ පළමුව ඔබ යා යුතුය
දහම් සරණ දෙවැනුව ඔබ යා යුතුය
සඟුන් සරණ තෙවැනුව ඔබ යා යුතුය
මේ තුන් සරණ ඔබ සපුරන් මිණි මුතුය

පණ ඇති සතෙකු කිසි විටක ද මරණු එපා
අන් සතු දෙයක් නිකමටවත් ගන්න එපා
වැරැදි ලෙසට කම් සැපවත් විඳිනු එපා
රහමෙර බිබී බොරු බේගල් දෙසනු එපා

දනට පිනට දී පින් රැස් කර ගන්න
ලෝභ , ද්වේශ, මෝහය නැති කර ගන්න
සිත, කය වදන තුන්දොර සකසා ගන්න
සසර වසන තුරු දැහැමින් ජීවත් වන්න


ඔවදන

නුවණින් ක්‍රියාකොට වෑයම් කර නිතින
කුසල් කරනු පිහිටක් කරගනු එයම
කෙලෙස් මල නසා නිකෙලෙස් උතුමෙක්ව
ජාති ජරා දුක් ගින්නෙන් මිදෙනු මැන


පිරිසුදු සිතට දම් බිඳක්

සුපිපුණු මල පරවී යාදෝ
මගෙ මේ කය දිරලා යාදෝ
සියල්ල මේ වැනසී යාදෝ
බුදු දම ලෝකේ පවතී දෝ

කය දිරනා බව නම් සත්තයි
මල් පරවෙන බව සහතිකමයි
සියල්ල නැතිවෙන බව උරුමයි
සම්බුදු සසුනේ රැස් විහි දෙයි

පින් පව් දෙක හඳුනා ගන්නේ
පිනට තමයි හොඳ හිත යන්නේ
පව්කාරයො ලොව බිහිවන්නේ
කරුම විපාකය පල දෙන්නේ

සිත පිරිසුදු නම් මිනිසෙකුගේ
ඔහු ගැන කියනුම කුමට අගේ
සම්මා සම්බුදු දහම දිගේ
ඔහු යනවාමයි නිවන් මගේ

සම්බුදු ධර්මය ලොව බැබලේවා
සැදැහැති පිරිසක් අපට ලැබේවා
දහමේ අරටුව සිතට දැනේවා
සම්බුදු සසුනේ පිහිට ලැබේවා

දෙව් ලොව යන්නට ඔබ සැරසේනම්
අලි වලසුන්ගෙන් යනු හරි අවදානම්
සිත පිරිසුදු නම් නිවන් ලැබේනම්
අරි ම ඟටයි අපෙ සිත සූදානම්


උතුම් සම්බෝධිය පතා

සිතින් තුන්ලෝකයම දිනුවෝ
උතුම් සම්බෝධිය පතා
සතුන් සසරින් මුදාලන්නට
පෙරුම් පිරු අප බෝසතාණෝ
සරා සංකෙය කප් කලක් ලොව
සිතින් පාරමි දම් පුරා
නවා සංකෙය කප් කලක් තුළ
පාරමී වදනින් පුරා
ලැබු නිර්වාණය ද හැරදා
ලෝ සතුන් සසරින් මුදා
මිසක් තනිවම නිවන් නොලබමි
යළිත් සසරෙම මං සදා
එදා දීපංකර බුදුන් ලඟ
මඩේ හිඳ විවරණ ලබා
සාර සැකි කප්කෙළක් සසරේ
තිහක් පාරමි දම් පුරා
කෙලෙස් මරු සහ මුලින් පරදා
උතුම් සම්බෝධිය දිනූ
සුගත් ගෞතම බුදු පියාණෝ
දොහොත් මුදුනින් නමදිමු


කාලය ඇවිත්

දෙදහස් හයසිය වසරක් ගත විය
සම්බුදු පදවිය ලබලා
නිවන් දකින්නට හොඳටම කල් ඇති
අපමණ බුදුබණ අහලා
නොපනත්කම් , නොමිනිස් කම්,
හැම තැනකම පිරිලා
සදහම් දිවයින නැවතත් ගොඩගමු
බොදුවනි, අත්වැල් බැඳලා


පින්කෙත

බුදු සසුනට ඇතුල් වෙලා
මේ සසරෙන් එගොඩ වෙන්න
බුදුහිමි දෙසු දහම් අසා
ශීලය ආරක්ෂා කළා
සදාතන මේ ජීවය
අපට ලැබුණු මහඟු පිනකි
මෙයින් පිහිට නොලැබුනොතින්
අනේ ඉතින් සසර දිගයි
සසර දුකින් එතෙර වෙන්න
අප කාගෙත් මේ අරමුණ
නිවන් කරා යන්නට මග
පහදාගමු කුසල් බලෙන්
බෞද්ධයෙකුගේ ලස්සන
දාන සීල භාවනාව
පිළිපැද්දොත් නිවන් පුරය
අත ළඟවෙයි ඒ පින්කෙත