Print this Article


පූජාච පූජනීයානං

වත්තල ශ්‍රී සීලරතන නා හිමි

වැලිගම අග්‍රබෝධි රජමහා විහාරාධිපති හා පරිවේණාධ්‍යක්ෂක, කැලණි රජ මහා විහාරවාස ලෙස වැඩ විසූ විචිත්‍රභාණී, සරභඤ්ඤ විශාරද ගිරුවාපත්තුව ඇතුළු ගාලු , මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අපවත් වී වදාළ වත්තල ශ්‍රී සීලරතන මා හිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1923 සැප්තැම්බර් 11 වන දින, වත්තල ග්‍රාමයේ අන්‍ය ආගමික පවුලකය. උන්වහන්සේගේගිහි නම චන්ද්‍රදාස ජයසූරිය විය. පියා බෞද්ධයෙක් වු අතර මෑණියන් අන්‍ය ආගමික භක්තිමත් කාන්තාවක් වූවාය.

මොහු මූලික අධ්‍යාපනය ලැබුවේ වත්තල ඇවරියවත්තේ ශාන්ත ෂේවියර් කන්‍යාරාමයේය. පසුව එම කන්‍යාරාමය හා අනුබද්ධ වත්තල පල්ලිය පාසල් අධ්‍යාපනය ලැබුවේය.

මේ අතර ඔහු හැඳල පුරාණ විහාරස්ථානයේ ඉරිදා දහම් පාසලට යාමට පටන් ගත්තේය. එහිදී බුදුදහම පිළිබඳව ඔහුට මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවිය.

“නිමලව සාරානන්ද හිමි,හැඳල පුරාණ විහාරාධිපති හික්ගොඩ ශ්‍රී ඉන්දරතන හිමි යන දෙනම එක්වී වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරාධිපතිව වැඩ විසූ බද්දේගම ධම්මරතන හිමියන්ට මේ කුමරා බාර කළහ. වයස අවුරුදු 11 මහණ වී වැලිගම පන්සලේදී අවුරුදු 4 ක් පමණ බණ දහම් ඉගෙන ගත්හ.” .

1937 ජනවාරි 8 දා වැලිගම අග්‍රබෝධි විහාරස්ථානයේදී මහණ වූ උන්වහන්සේගේ පැවිදි ආචාර්යවරුන් වශයෙන් අග්‍රබෝධි රජමහා විහාරාධිපති වැඩ විසූ බද්දේගම ධම්මරතන හිමි සහ වලානේ සද්ධාවාස හිමිවරුන්ය. උන්වහන්සේ ගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම සිදුවීම නම් පැවිදි වීමත් සමඟම උන්වහන්සේගේ මව්තුමියද බුද්ධාගම වැළඳ ගැනීමයි. මේ අතර උන්වහන්සේගේ උපසම්පදාව සිදුවූයේ 1943 වසෙර්ය.

1938 වසරේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ එහි අවසානය දක්වාම ඉගෙනගත් අතර, කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් ඉංගී‍්‍රසි භාෂාව හදාරා ඇත. මේ කාලයේ වත්තල හිමියනුත් , මාපිටිගම බුද්ධ රක්ඛිත හිමියනුත් සමීපතම හිතවතුන් වශයෙන් ඇසුරු කර ඇත.

කැලණි රජමහා විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම ධම්මරක්ඛිත නා හිමි 1947 ජුලි 17 දා අපවත්වූහ. එවිට වත්තල සීලරතන හිමියන්, මාපිටිගම බුද්ධරක්ඛිත හිමිත් කැලණි විහාරයේ පදිංචියට පැමිණියහ. කලක් නතර වී තිබූ පෙරහර 1952 වසරේ නැවත ආරම්භ විය. වසර ගණනාවක් නතර වී තිබූ පෙරහරක් නැවත ආරම්භ කිරීම ඉතාම දුෂ්කර කාර්යභාරයක් වු අතර, වත්තල සීලරතන හිමියන්ගේ දැඩි කැපවීමත්, උත්සාහයක් නිසා කැලණි පෙරහර ඉතාම දර්ශණීය පෙරහරක් වශයෙන් පැවැත්වීමට හැකිවීමේ ගෞරවය උන්වහන්සේට හිමිවූහ. උන්වහන්සේගේ උත්සාහය මෙන්ම අධිෂ්ඨානය වූයේ කැලණි පෙරහර නවීකරණය කිරීමෙන් තොර පෙරහැරක් පැවැත්වීමටය. එම සම්ප්‍රදාය අදත් ක්‍රියාත්මකවීම සතුටට කරුණකි.

ලංකාවේ “පිරිත් රජ්ජුරුවෝ’ යන ආදරණීය පදයකින් හැඳින්වූ උන්වහන්සේ, පිරිත්දේශනා සඳහා රජගෙදරටත් දිළිඳු පැලටත් එක හා සමානව වැඩම කළ යතිවරයාණන් වහන්සේ නමකි. “වත්තල හාමුදුරුවෝ” යන නාමය ලක්දිව පුරා ඇති විහාරාරාමවල නොදන්නා කෙනෙක් නොසිටිය බවට මහා සංඝරත්නය සාක්ෂි දරණ නොඅනුමානය.

ඒ හිමියන්ගේ මිහිර, ගැඹුරු, ප්‍රතාපවත් හඬ උදේ, සවස ගුවන්විදුලිය, ඇතුළු ජනමාධ්‍ය තුළින් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත නිවෙස්වලද නින්නාද විය. එපමණක් නොව, සිංගප්පූරුව ස්වීඩනය ,ඉන්දියාව, ජර්මනිය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව ,මැලේසියාව වැනි රටවල වෙසෙන සිංහල බෞද්ධ ජනතාවගේ නිවෙස්වල වත්තල හාමුදුරුවන්ගේ පිරිත් පටියක් නිතරම අනිවාර්යයෙන්ම නින්නාද විය.

කැලණි රජමහා විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය විද්‍යාවේදී,තලේවෙල විජිත ධම්මරක්ඛිත නා හිමියන් සමඟ කැලණි විහාරය හා සම්බන්ධ වීමේදීද එමතු නොව වර්තමාන විහාරාධිපති , මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් සමඟ ද මහත් සේවයක් සැලසූහ. ඒ බැව් වර්තමාන නා හිමියන් වත්තල නා හිමියන්ගේ ආදාහන උත්සවයේදී ගුණකථනයක් කරමින් සනාථ කළහ.

වත්තල ශ්‍රී සීලරතන නා හිමියන් ඉටුකළ ශාසනික සේවාව අගයමින් මල්වතු මහා විහාරයේ “කීර්ති ශ්‍රී ධම්මරතන සද්ධාවාස” යන නාමය සහිත විශේෂ කර්මාචාර්ය ධූරයක්ද, ගිරුවාපත්තුව, ඇතුළු ගාලු – මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියද, කෝට්ටේ සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙන් “සරභඤ්ඤ විශාරද” යන නාමයද ශ්‍රී රෝහණ සංඝ සභාවෙන් “විචිත්‍රභාණක” ගරු නාමයද ප්‍රධානය කරන ලදී. කැලණියේ විද්‍යාලංකාර පිරුවෙන්හි ආචාර්ය ධූරයක්ද දැරූ උන්වහන්සේ 1995 අගෝස්තු මස 28 වන දින අපවත් වූහ.උන්වහන්සේ අපවත් වී වසර 21 ක් ගත වී ඇති මෙම අවස්ථාවේ කෘත ගුණ සලකන කැලණි ජනතාව වෙනුවෙන් අපි උන්වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා යි පතමු.


පැවිදි දිවියේ පනස් වසර සමරන මහලකොටුවේ විමලධම්ම නා හිමි

භික්ෂූන් වහන්සේගේ මූලික කාර්යභාරය ජනතාවට ධර්මයෙන් අනුශාසනා කරමින් උතුම් නිර්වාණාවබෝධය පිණිසද කටයුතු කිරීම වුවත් ශී‍්‍ර ලාංකික භික්ෂුව රට, දැය, සමය යන ත්‍රිත්වයද අමතක කළේ නැත. මෙය මනාව වටහාගත් විනීත විශාරද බහුශ්‍රැත ශික්ෂාකාමි පටිබල සම්පන්න භික්ෂූන් වහන්සේලා රාජ්‍ය පාලකයාගේ සිට ගැමියා දක්වාත්, මාළිගාවේ සිට පැල්පත දක්වාත් අනුශාසකයන් ලෙස ක්‍රියාකළ ආකාරය අපේ ඉතිහාසයේ සටහන්වී ඇත.

භික්ෂුවගේ මේ කාර්ය භාරය ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරමින් සසුන් කෙත වැජඹෙන සඟරුවනකි. පැවිදි වී වසර පනහක් සපුරන මාතලේ කොටුවේගෙදර ශී‍්‍ර සුධර්මෝදය විහාරය, උකුවෙල කඩුවෙල වැලිකොටුව පුරාණ විහාරය යන උභය විහාරාධිපති ශ්‍රී විද්‍යාරත්න පිරිවෙනේ කෘත්‍යාධිකාරි මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ සංඝ නායක ශී‍්‍ර සිද්ධාර්ථ රතනාසාරාභිධාන මහලකොටුවේ විමලධම්ම නාහිමිපාණෝ.

මාතලේ දිස්ත්‍රික්කයට පමණක් නොව මධ්‍යම පළාතටම, ආගමික, ශාසනික, සාමාජික වශයෙන් සුවිශාල සේවයක් සිදුකරන උන්වහන්සේ ඔක්තෝබර් 14 වන දින ලග්ගල මහලකොටුව ගමේ ජන්ම ලාභය ලැබූහ. මහලකොටුව ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා මාතලේ වේරගොඩ විද්‍යාරත්න පරිවෙනාධිපති මාතලේ දිසාවේ සංඝනායක මහලකොටුවේ රතනසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි වූ උන්වහන්සේ උපසම්පදා වී ඇත්තේ 1981 ජුනි 25 වන දිනදීය.

මා/විද්‍යාරත්න පිරිවෙනෙන් මූලික අධ්‍යාපනයත්, පේරාදෙණිය භාරති පිරිවෙනෙන් ප්‍රාචීන අධ්‍යාපනයත් ලබා දැන උගත්කම් සපුරාගත් විමලධම්ම හිමිපාණන් උපසම්පදාව ලැබුවේ 1981 ජුනි 25 වන දින මල්වතු මහා විහාරයේදීය.

සමිති, සමාගම් රාශියක අනුශාසකත්වය දරමින්, මාතලේ දිසාවේ සංඝ නායක පදවියෙන්ද පිදුම් ලත් උන්වහන්සේගේ ශාසනික, ආගමික, සාමාජික මෙහෙයෙහි සන්ධිස්ථානය ලෙස මා සලකන්නේ කොටුවේගෙදර දායක පිරිසකගේ ආරාධනයෙන් 1992 මැයි මස 14 වන දින ශී‍්‍ර සුදර්මෝදය නමින් විහාරස්ථානයක් ආරම්භ කිරීමයි. අද මේ පුණ්‍ය භූමිය සකලාංග සම්පූර්ණ විහාරස්ථානයකි. විද්‍යායතනයකි. ධර්ම නිකේතනයකි.

විහාර පිවිසුමෙහි නිමවන ලද දර්ශනීය වාහල්කඩ, විහාර මන්දිරය, චෛත්‍යරාජයාණන් වහන්සේ, බෝධින් වහන්සේ, දෙමහල් සංඝාවාසය, ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරය, මහලකොටුවේ ශ්‍රී රතනසාර ගුණානුස්මරණ තෙමහල් පුස්තකාලය සහ මේ මස 29 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත වන ධර්ම ශාලාව, පිරිවෙන් ශාලාව සහ භික්ෂූ ශිෂ්‍ය නේවාසිකාගාරයකින් සමන්විත තෙමහල් ධර්ම මන්දිරය විදහා පාන්නේ මහලකොටුවේ විමලධම්ම නාහිමිපාණන්ගේ නොපසුබට උත්සාහය, ධෛර්ය සහ කැපවීමයි.

2001 මැයි 14 වන දින එවකට අධ්‍යාපන ඇමතිව සිටි සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමාගේ සුරතින් මෙම පුදබිමේදී පුනර්ජීවනය ලැබු විද්‍යාරත්න මූලික පිරිවෙන අද වන විට මහපිරිවෙණකට අවශ්‍ය කරන ලෙස ශිෂ්‍ය ප්‍රමාණයෙන් සහ නේවාසිකාගාර පුස්තකාල ආදි පහසුකම්වලින් පෝෂණය වී ඇති බව සටහන් කරන්නේ වගකිවයුත්තන්ගේ අවධානය සඳහායි.

හුදී ජනයාගේ පහන් සංවේගය ඇතිකරමින් ඉතා සරල ලෙස ගැමි වදන් හසුරුවමින්, උසුරුවමින් කරුණු කාරණා තන්වැසි නුවණින් ඉදිරිපත් කිරීමට විමලධම්ම නාහිමියන්ට ඇත්තේ සහජ දක්ෂතාවයකි. මේ නිසාදෝ ශාසනික, සාමාජික උත්සව අවස්ථාවලදී වියත් සඟ ගණ මැද වුවද උන්වහන්සේට අනුශාසනාවක් කිරීමට නොලැබෙන්නේ කලාතුරකිනි.

සඟපරපුරත් , පැවිදි දිවියත් ශෝභමාන වන්නේ භික්ෂූ ආකල්පවලින් සහ දැන උගත්කම් වලින් පිරිපුන් පැවිදි සහෝදර භික්ෂූන්වහන්සේලාත් පැවිදි සිසු පිරිසත් නිසාය. විමලධම්ම නාහිමියන් තමන් වහන්සේගේ වැඩිහිටි පැවිදි සහෝදර කොළඹ නාලන්දා විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරස්ථ ධර්ම විද්‍යාලයාධිපති අධ්‍යාපනවේදී උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමිපාණන්ගෙන් තම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ලැබෙන සහයෝගය ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් අප සමඟ පවසන්නේ කෘතවේදිත්වයෙනි. “සුඛා සංඝස්ස සාමග්ගි” යන බුදු වදනට අනුගත මේ සත්පුරුෂ ගුණය සංඝ සාසනයේ මහෝපකාරි වන උතුම් ගුණාංගයකි.

මහලකොටුවේ විමලධම්ම නාහිමිපාණන්ගේ පැවිදි දිවියේ ස්වර්ණ ජයන්තිය සනිටුහන් කරමින් ජනාධිපතිතුමන්ගේ සුරතින් මේ මස 29 වන දින තෙමහල් ධර්ම මන්දිරය විවෘත කරන දිනයේදී ප්‍රාචීන ප්‍රාරම්භ , මධ්‍යම,අවසාන යන විභාගත්‍රයේ නව විෂය නිර්දේශයට අනුගතව විශ්ව විද්‍යාලීය මහාචාර්ය කථිකාචාර්ය වියතුන් විසින් ලියවුණු ශාස්ත්‍රී ලිපි 50 ක් අන්තර්ගත කොට “ධම්මගවේසී” නමින් ශාස්ත්‍රීය සංග්‍රහයක් ද එළිදැක්වීමට කටයුතු යොදා තිබීමද විද්‍යාර්තීන්ගේ නොමඳ පැසසුමට ලක්වන්නකි.

පැවිදි දිවියේ දශක පහක් ඉක්මවූ කාල පරාසය තුළ සිදු කළ ජාතික, ආගමික, ශාසනික, සාමාජික මෙහෙය අපමණය. මාතලේ මහ දිසාවේ සංඝනායක මහලකොටුවේ විමලධම්ම නායක සමිඳුනි! ඔබවහන්සේට තවත් එවැනිම කාලයක් මෙම ශාසන අම්බරේ දිදුලමින් මාතලේ දිස්ත්‍රික්කයට පමණක් නොව රටටම අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමට නිදුක් නිරෝගී සුවයත්, දළදා වහන්සේගේ ආශිර්වාදයත්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආරක්ෂාවත්, සියලු දෙවි රැකවරණත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

දුඛී දීඝායුකො භව¢