ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සබැඳි දරමිටි පෙරහර
සිදුහත් බෝසතාණන් වහන්සේ විසින් බුද්ධත්වය සාක්ෂාත් කරන ලද්දේ බුද්ධගයාවේ පිහිටි
ශ්‍රී මහා බෝධි මූලයේදී ය. සකල බෞද්ධ ජනතාවගේ මහත් භක්ති ප්‍රණාමයට ලක්වූ අනුරාධපුර
පූජා නගරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගයා ශීර්ෂයේ පැවති එම බෝධියේ දක්ෂිණ
ශාඛාවය. මෙරට පිහිටි පෞරාණික උරුමයන් අතර දිගු හා අච්ච්ඡින්න ඓතිහාසිකත්වයක් ඇති
ලොව පැරණිම වෘක්ෂය මෙයයි. අනුරාධපුරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් (එධපතඤ ඩ්ඥපඪබචඨඥ
ඉඪබඥ) බවට පත් කිරීමේ දී නගර සැළසුම්, වෙහෙර විහාර ස්තූප මෙන්ම ලොව පැරණිම වෘක්ෂය
හා ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර ආදියත් සැලකිල්ලට ලක් විය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනයට පාත්‍රවන ‘ශාරීරික’, ‘පාරිභෝගික’ හා
උද්දේසික, යන චෛත්‍ය තුන අතුරින් (ත්‍රිවිධ චෛත්‍යය) අදත් ජීවමානව පාරිභෝගික,
ධාතුන් වහන්සේ නමක් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිති.මේ නිසාම මෙම ශ්‍රී
මහා බෝධිය ‘ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ’, ශ්‍රී මහා බෝධිය, ජය සිරි මා බෝ සම්දු, ආදී
ලෙස හඳුන්වනු ලැබේ. ‘අස්වස්ථ’ යනුවෙන් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන මෙය පාලියෙන්
අස්සත්ථ, ලෙසත් සිංහල භාෂාවෙන් ඇසතු ලෙසත් හැඳින්වේ.
‘බෝධි’ යන්නෙන් අදහස් වන්නේ ප්‍රඥාව නුවණ, අවබෝධය යන්නයි. මෙය වැඩිදුරටත් විග්‍රහ
කරන විට බෝධි, සම්බෝධි, සම්මා සම්බෝධි යන සමානාර්ථ පදවලින් සිදුහත් බෝධිසත්වයන්,
විසින් සාක්ෂාත් කළ යථාභූත ඤාණ දර්ශන සංඛ්‍යාත බුද්ධ ඤාණයද, එය ප්‍රතිවේද කරනු
පිණිස ප්‍රගුණ කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයද, ඒ මගෙහි ගමන් කර සාක්ෂාත් කරගත්
සෝතාපත්ති, සකදාගාමි, අනාගාමි, අර්හත් යන චතුර්විධ මාර්ග ඤාණය හා නිර්වාණය ද එම
කර්තව්‍ය සඳහා ආධාරභූත ගයාවේ පිහිටි අපරාජිත මහා බෝධි නම් වූ අශ්වත්ථ වෘක්ෂයද යන
අරුත් රාශියක් අන්තර්ගතවන බව පැහැදිලි වේ. (සිරි ධම්මරක්ඛිත නායක ස්ථවිර, 1994 –
09)
ශ්‍රී මහා බෝධියේ දක්ඛිණ ශාඛාව ලක්දිව වෙත වැඩමවන ලද්දේ භාරතයේ ධර්මාශෝක අධිරාජයාගේ
දියණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදීය.
මහාවංශයේ ද බෝධි වංශයේද විග්‍රහ කෙරෙන ආකාරයට මහත් වූ උත්සවශ්‍රීයෙන් හා භක්තියෙන්
යුතුව මෙම කටයුත්ත සිදුකරන්නට එවකට ලංකාද්වීපයේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමන්
කටයුතු කර ඇත.
මෙසේ ශ්‍රී මහා බෝධිය රෝපණය කළ දා පටන් ලංකාවේ රාජ්‍යත්වය හිමිකරගත් රජදරුවන්
බහුතරයක් මෙහි ආරක්ෂාව හා මතු පැවැත්ම සඳහා ක්‍රියාකළ ඇති බව පෙනේ. පළමුවන හා දෙවන
සිරිනාග (ක්‍රිස්තු වර්ෂ 2 – 3), ගොඨාභය (ක්‍රිස්තු වර්ෂ 3) කීර්ති ශ්‍රී රාජසිංහ
(ක්‍රිස්තු වර්ෂ 18 සියවස) එසේ කටයුතු කළ රජවරුන් අතර කිහිපදෙනෙකි.
ජය ශ්‍රී මහා බෝධිය රෝපණය කර ඇත්තේ මහමෙව්නා උයනේ (මහා මේඝ වනය) මේදිකා තුනකින්
සමන්විත මළුවේ ඉහළ ම ස්ථානයේ ය.
ශ්‍රී මහා බෝධි ආගමනයත්, බෝධාභාර කුල ශ්‍රේණිවල පැමිණීමත් නිසා ශ්‍රී ලාංකීය සමාජය
නවමු ආකාරයකට හැඩ ගැසෙන්නට විය. බෝධිය හා සබැඳි විවිධ චාරිත්‍ර වාරිත්‍ර, පුද පූජා
රැසක් ද හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී මහා බෝධිය උදෙසා පැවැත්වෙන ආගමික උත්සව කිහිපයක්
මේ අතර ප්‍රධාන වේ.
1. දුරුතු මංගල්‍යය (අලුත් සහල් මංගල්‍යය)
2. නානුමුර මංගල්‍යය
3. පරණ අවුරුදු මංගල්‍යය
4. කාර්ති මංගල්‍යය
මේවා පමණක් නොව නිකිණි පොහොය මූලික කරගෙන පැවැත්වෙන චාරිත්‍ර විධි, උත්සව ද පවතී. ඒ
අතර දරමිටි පෙරහර මෙම පෝ දිනය මුල්කරගෙන පවත්වන ලබන විශේෂ පෙරහරකි. නිකිණි පෝය
දරමිටි පෝය නමින් පුරාණ ලක්වැසියන් හඳුන්වන්නේ ද මේ නිසා ය.
අතීතයේ පටන් වන සතුරන්ගෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම උදෙසා ජනතාව
බෝධියේ සිව්දිසාවෙන් ගිනිමැල ගසා පසුදා පහන් වනතුරු එහි ආරක්ෂාව සඳහා රැඳී සිටියහ.
මෙය වර්ෂය පුරාම විවිධ ජනතාව මැදිහත්ව ඉටු කළ බව පෙනේ.
මෙසේ ගිනිමැල ගැහීම සඳහා අවශ්‍ය දර ගෙනැවිත් මේ භූමියේ තැන්පත් කර තැබීමට ජනතාව
යොදා ගත්තේ මේ නිකිණි පොහොය දිනයයි. එදිනට ජනයා අවට ගම්වලින් ඒකරාශි කරගන්නා දරමිටි
රැගෙන පෙරහරින් පැමිණීම ‘දරමිටි පෙරහර’ නම් විය.
වාසනා සිරිමල්වත්ත
එම්.එස්. සී. පුරාවිද්‍යා,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන නිලධාරී |