Print this Article


පහන් සිතක කවි

පද පංකජ වඳිමි

පන්සිල් පද රකින සිත නිරතුරුව නිවේ
දහමට නැඹුරු නැති සිත හැම විටම තැවේ
කෙටි කර ගන්න දිගු මාවත තිබෙන බවේ
සදහම් ඔසුව හැර වෙන ඔසු නොමැත ලොවේ

සත්වග බව දුකට එසු දුක් වෙදාණෝ
පාපී අඳුර දුරුකළ දිණි සුරාණෝ
සදහම් කුමුදු විකසිත කළ සදාණෝ
තිලොවට තිලක මගෙ සම්බුදු පියාණෝ

ඇදුරාණනේ යන මග පෙන්වුව සසර
නාවියා නැසේ තරණය කළ බව සයුර
කිඳුරාණනේ සදහම් ගී ගැයු මියුර
මම වැඳ වැටෙමි සිඹ ඔබෙ සිරිපා තඹර

සිවු මහ අපායෙහි දුක් ගිනි නිවුනීය
ගිනිදැල් තුළින් මෙත් මල් කැන් පිපුනීය
හැම හදවතම මෙත් සිසිලෙන් තෙමුනීය
හිමි පද වදිමි මම අංජලි කරණීය


බුදු පුද

සැකැසූ විරියෙන්
කිරි අහර පා
රැගෙන සැදැහෙන්
බුදු පුදට යන
මගස වැතුරුණු
දුගිය පෑ සඳ
දෝත මාවෙත පිරිවතින්
දුගී දෝතම
පුදුසුනක් කොට
තැබූවෙමි පා
ඔහුගෙ දෝතෙහි
සැනින් පිබිදුන
එවත මහත රැඳි
දුටිමි බුදුරුව
අසිරිමත් වූ


ලොව සත සහ මල්

රුවෙන් දිලෙනමුත් කිසි සුවඳක් නොමැති
පිපි මල් වැනි මිනිසුන් ඇත ලෝකයෙහි
රුවත් ලස්සනයි ගේ දොර සැප සම්පත්
ඇතත් එවන් සත ළඟ නැත සිල් සුවඳක්

සුවඳින් පිරුණමුත් ලස්සන නැති මල් සේ
තවත් සමහරෙක් සිල් රකිතිය බොහො සේ
එනමුත් තමන්ගේ යුතුකම් පැහැර හරී
සුවඳය ඒ සත එනමුදු ලස්සන නැහැනේ

ලස්සන සුවඳ දෙකමත් නැති පිපි මල්ය
ඒ මල් වගේ ලොව වෙසෙනා මිනිසුන්ය.
ජීවත් වෙන්න කිසි හව්හරණක් නැතිව
සිතින් කිළුටු මේ දන ලොවටම බරය

රුව සුවඳින් පිරි පිරිපුන් පිපි මල්ය
ලොව සුදිලෙන්නෙ මෙලෙසින් පිපි මලෙන්මය
මේ මල් ලෙසින් තුම් සිල් දම් නිති රකින
යුතුකම් ඉටුකරන සත තිලොවම දිනන


කුන්ච නාදය

මෙත් බල පතුරුවා
සිත් මල පුබුදවා
ඇත් කුල සරසවා
මත් බල දුරයවා

සත් වෙත සෙත දෙවා
රත්වූ සිත නිවා
මත් ගති දුර යවා
පත් බුදු මහ රජා

ඇත් කුල පරදවා
සිත් අම මෙත් දෙවා
ගත් මහ නිවමිනා
අත් පත් විය නිවා


අයං වස්සාන කාලෝ

ඇසළ සඳ ගෙන ආවෙ
වස්සාන සමය වෙද
කඨින චීවර මැසුවෙ
මහා පින් ගන්න තෙද
සෙනසුනේ පුද බිමේ
සිල් ගන්න යතිඳු හට
අහර පැන් දන් දීමෙ
කුසල මුණ ගැසුණි මට
ඉල් පොහොය වෙනතුරා
කරම් උවටැන් නිබඳ
ඒ පිනෙන් යමි කරා
නිවන වෙත පින් නොමඳ
කඨින චිවරය මට
ගන්න බැරි වුණත් අද
අත ගසා එයට හෙට
පින් පුරමි බැතිය මැද
පින් සපිරි මිනිස් කැල
වස් සමාදන් තෙරට
උවැටැනින් මෙහෙය කළ
යුතුය පින් ලබන්නට
ගොයුම් ගොත් බුදු පියා
පාරලෙයි වන අරණෙ
වස් විසී සිටි නියා
වඳුරු වටු ඇත් වනේ
කළා උවටැන් දයා
සතා සීපා විහඟ
කළේ නම් එවන් පින්
අපට කළ නොහැකි වග
කෙලෙස සිතනුයෙ ද දැන්


සැරියුත් මා හිමි

මුනිඳුන් දෙසූ සිරි සදහම් දහම් පද
අප කරගමු හදවත තුළ මනට හද
දහම් දුන්න යොදන මුළුලොවට විඳ
බුදුමග පාතබමු නුවණින් උනත් මද

සම්බුදු පියේ මේකය ඕජස් ගලන
අනියත බව නිසා හිමිමෙන් අප හැදින
බුදුපුත් සඟරුවන බස් අසා දෙසන
ක්ෂය කර රාග , මෝහ , ද්වේෂ යමු නිවන

ලොව නම් මිනිසා කෙලෙසක කීමත් කීවත්
අප ගමු මගම ඒ මුනිඳුන් ඒ භගවත්
පාරමී පුරා රැක දෙන හොඳ පිළිවෙත්
හිමි සඳ මග ගොසින් වෙමු මගෙ සැරියුත්


නිවනට මඟ

උපදිත් මැරෙත් එක සිතිවිල්ලක් තුළ ම
ඇලෙත් ගැටෙත් ඒ ඒ සිතිවිලි තුළ ම
ගනිමුත් සිරිත් ජීවිතයක නිරතුරු ම
සැනසෙත් හලොත් කෙලෙසුන් සහමුලින් ම

ජීවිත ගඟ සසර සයුරට වැටෙනව ය
කිමිදී මතුවෙමින් සයුරේ ගත වේ ය
මිනිසත් බවක් ලැබ සයුරින් මතු වේ ය
සයුරෙන් ගොඩවන්න වෑයම් කළ යුතු ය

කය නම් ලෝකයේ පාලකයාය සිත
සිය පාලනේ ආයතන පහක් ඇත
සේවකයෝ පස්දෙනෙකුත් වැඩට ඇත
පින් පව් නිපදවීමේ වැඩ එයට ඇත

ඇලෙමින් ගැටෙමින් මෝහයෙ යන අතරේ
පින්පව් ගුණ දහම් සම්පත් ද තර කෙරේ
සීල, සමාධි, වඩයි දුක දැක සසරේ
උතුම් දැක්මෙන්ම නිවනට දොර ඇරේ


බැඳෙන සිත සහ මිදුන සිත

නැවත නැවතත්
බැඳෙන බවයට
ඇලෙන සිත ඔබ රැගෙන යන්නෙය
අතහරිනු අතීතය
නොබැඳෙනු අනාගතයට
වත්මනෙහි
නොගැලී සිටිනු මැන
හැම දෙයින්
මිදුන සිත
සන්සුන්ය
සැහැල්ලුය
නැවත නැවතත්
බැඳෙන බවයට
මිදුන සිත
ඔබ මුදාලන්නෙය