Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය: - ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන “සම්මා දිට්ඨි” මාර්ග අංගය ධර්මානුකූලව පැහැදිලි කරන්න

පිළිතුර:

”දිට්ඨීති දස්සනං” දිට්ඨී යනු දැකීමයි මනාකොට(යහපත්) දැකීම වාච්‍ය අර්ථයයි. බුදු දහමට අනුව සැමගේ දෘෂ්ඨිය යනු කුසල් හා කුසල් මුල්ද, අකුසල් හා අකුසල් මුල් ද දුක්ඛය– දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍යය පිළිබඳ යහපත් හා අයහපත් බව හඳුනාගැනීමේ සමර්ථ වූ නුවණය . සම්මා දිට්ඨියේ අවස්ථා පහක් ඇති බව දේශනාවෙහි සඳහන් වෙයි.

කම්මස්සකා සම්මා දිට්ඨි
ඣාන සම්මා දිට්ඨි
විපස්සනා සම්මා දිට්ඨි
මග්ග සම්මා දිට්ඨි
ඵල සම්මා දිට්ඨි
ඒඅවස්ථා පහයි.

ප්‍රශ්නය: බුද්ධ– ධම්ම– සංඝ යන මේ රුවන් තුනට “තිසරණය” තෙරුවනය. රත්නත්‍රය යන නමින් හැඳින්වෙයි. ඒ කුමක් නිසාද පැහැදිලි කරන්න.

පිළිතුර:

රත්නත්‍රය එනම් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සරණ යන තැනැත්තාට “හිංසතීතී සරණාගතානං තෙනෙව–සරණ ගමනෙන– භයං සන්තා සං දුක්ඛං දුග්ගතිං පරික්කිලෙසෙං හන්ති විනාසේතීති අත්ථො රතනත්තයස්සෙචේතං අධිවචනං”

යන්නෙන් සරණාගත වූවන්ගේ එම සරණා ගමනයෙන් බිය තැතිගැනීම දුගතිං කෙලෙස් මළ යන මොවුන් විනාශ කරයි. යන අර්ථයෙන් තුනුරුවන්ට මෙම සරණ යන නාමය යෙදී ඇත. එහෙයින් ඒ ඒ බිය දුක් පැමිණි කල්හි ඒ තුනුරුවන සරණකොට යාමත් සිහි කර ගැනීමත් උතුම් “සිරිතක්ම” වෙයි.

 

ප්‍රශ්නය: ගිහි විනය නමින්ද හැඳින්වෙන “සිඟාලෝවාද” සූත්‍රය සිවි සඟරාවත(චතුස් සංගහ වත්ථු) හඳුන්වා ඇත්තේ කෙසේද?

පිළිතුර:

දානය ද පි‍්‍රය වචනය ද මෙහි යම් අර්ථචර්යාවක් වේ නම් එයද ඒ ඒ පුද්ගලයා කෙරෙහි සුදුසු පරිදි ධර්මානුකූලව ද සමානාත්මතාවය ද යන මොව්හු යන්නාවූ රියක කඩ ඇණය මෙන් ලොව සංග්‍රහයෝය. මේ සංග්‍රහයෝ නොමැත්තාහු නම් පුතුගේ කරුණින් මව හෝ පියා හෝ බහුමනක් හෝ පූජාවක් නොලබන්නේය. (දී.නි.3)

ප්‍රශ්නය:

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස්වන අංගය සම්මා ආජීවයයි. නිවැරැදි ලෙස ජීවිකාව පවත්වා ගැනීම එයින් අදහස් වෙයි. බෞද්ධ සම්මා ආජීවය පැහැදිලි කරන්න

පිළිතුර:

මිථ්‍යා ජීවයෙන් සම්‍යආජීවය වෙන්කොට හඳුනාගැනීමට ඇති ශක්තිය යහපත් ජීවිත පැවැත්ම සඳහා මූලික විය යුතුය. සම්මා, මිච්ඡා යනු හොඳ නරක , යහපත් අයහපත්, හරි වැරැදි උසස් පහත් ලෙසින්ද නම් කළ හැකිය. යමක් කිරීමෙහිදී චේතනාව අනුව හොඳ හා නරක ක්‍රියාව වෙන්කොට හඳුනා ගැනීම බෞද්ධ පිළිවෙතයි. සම්මා ආජීවය නම් සීල සම්පන්න බවින් යුතු හෙවත් “අලෝභ , අදෝස, අමෝහ, චේතනා මුල් වූ ක්‍රියාවන්ගෙන් හා වචනයෙන් ජීවන මාර්ගය සකස්ව තිබිය යුතුය.

න අත්ත හේතු න පරස්ස හෙතු
න පුත්ත මිච්ජෙ න ධන නරට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

මෙයින් නිවැරැදි මග ධර්මයට එකඟවීම ප්‍රමාණයක් වශයෙන් සැලකෙයි. තමා නිසා හෝ අනුන් නිසා හෝ පුතුන් නිසා හෝ රටක ධනය හෝ සමෘද්ධිය අධාර්මිකව නොපතන තැනැත්තා සිල්වතා ද ධාර්මිකයා ද වන බව සඳහන් වෙයි.

ප්‍රශ්නය: මිනිසා විසින් කරනු ලබන “සෑම ක්‍රියාවක්ම බුදු සමයෙහි කුසල හා අකුසල කර්ම යන නිර්වචන දෙක යටතේ විවරණය කර තිබේ. මෙය සාවද්‍ය (වැරැදි සහිත ) නිගමනයකි. පැහැදිලි කරන්න.

පිළිතුර:

මිනිසා විසින් කරනු ලබන සියලු ක්‍රියාවන් කර්ම නාමයෙන් පිළිගැනීම ජෛන මතයකි. බුදු දහමට අනුව චේතනා පූර්වක ක්‍රියා පමණක් කුසල හා අකුසල කර්ම වශයෙන් වෙන්කොට හඳුනාගනී. (චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි) චෙතනා පූර්වක කොටගත් සෑම ක්‍රියාවකම ප්‍රධාන ලක්ෂණය වන්නේ ඵලයක් (විපාකයක්) අපේක්ෂා කිරීමයි. එබදු සෑම ක්‍රියාවකටම සාධාරණ අවස්ථා තුනක් දක්නට ලැබේ. චේතනාව, ක්‍රියාව, විපාකය

ප්‍රශ්නය: ”ආදිත්ත පරියාය” සූත්‍රය අසා සියල්ලෝම රහත් ඵලයට පත්වූහ. මේ සියල්ලෝ යනුවෙන් සඳහන් වන්නේ කවුරුන් ගැන ද?

පිළිතුර:

උරුවෙල් කස්සප , නදී කස්සප, ගයා කස්සප නම් වූ තුන් බෑ ජටිලයෝ.

ප්‍රශ්නය: එක්තරා මහ රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පටිච්ච සමුප්පාද ධර්ම විචක්ෂණ ලෙස සාරංශ කර සිව්පද ගාථාවකින් දේශනා කළහ. ඒ මහරහතන් වහන්සේගේ නම කුමක්ද?

පිළිතුර:

අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස පිරිවැජියාට (පරිබ්‍රාජක) දේශනා කළ ගාථාවයි.

යෙ ධම්මා හෙතුප්පභවා
තෙසං හෙතුං තථාගතො ආහ
තෙසං ච යො නිරෝධො
එවං වාදී මහා සමණො
යනු එම ගාථා ධර්මයයි.