UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් දළදා තේවාව  සිරි දළදා තේවාමුර මාරුව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන්  මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයට

අසිරිමත් දළදා තේවාව 

සිරි දළදා තේවාමුර මාරුව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් 

මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයට

අසේල කුරුළුවංශ

සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගලපුර ඉංගී‍්‍රසීන්ගේ පාලනයට නතුවීමෙන් පසු උතුම් වූ දළදා වහන්සේ උදෙසා කරන්නාවූ පුද සිරිත් නොකඩවා සිදු කිරීමේ කාර්යය ද ඔවුන් භාරයට ගැනිණි. රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් රජුගේ නොමඳ පුද සත්කාරයන්ට ලක් වූ දළදා වහන්සේ උදෙසා මහා සංඝරත්නය පෙරටුව රාජ්‍ය පාලකයින් ඉටුකළා වූ එම බැතියෙන් උතුරා ගිය සත්කාරය ඉංගී‍්‍රසි පාලකයින්ගෙන් එලෙසින්ම ඉටු නොවිණ. මේ නිසාම ස්වභාවධර්මයේ නොයෙක් පීඩාවන්ට ලක්වන්නට ලක්වැසියන්ට සිදුවිණි.

1847 බ්‍රිතාන්‍ය රජය විසින් ගත් තීරණයකට අනුව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම, දියවඩන නිලමේ, සතර මහ දේවාල බස්නායක නිලමේවරු ඇතුළු භාරකාර මණ්ඩලයකට දළදා වහන්සේගේ භාරකාරත්වය හා පුද පූජා පැවැත්වීමේ වගකීම පවරා දුන්නේ ය. එහෙත් ඉන් වසරක ඇවෑමෙන් ඇති වූ 1848 කැරැල්ල හේතුවෙන් යළිත් ඉංගී‍්‍රසීන් විසින් දළදා වහන්සේගේ භාරකාරකත්වය පවරාගනු ලැබීය.

දළදා සමිඳුන්ගේ භාරකාරත්වය යළි මෙරට බෞද්ධයන්ට හිමිවූයේ ඉන් වසර පහකට පසුය. ඒ වන විට කැරැල්ල සංසිඳී රටේ සාමය ස්ථාපිතවීම ඊට හේතු විය. එවකට මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මහනායක පදවිය හෙබවූ ස්වාමීන්ද්‍රයන්වහන්සේ දෙනම හා දියවඩන නිලමේට දළදා වහන්සේගේ භාරකාරත්වය පැවැරිණි.

එම කාලවකවානුවේ සිට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය උභය මහා විහාරීය මහා නායක හිමිවරු දෙනමට පැවරුණු අතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්කර ගැනීම කාරක සංඝ සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. දළදා වහන්සේ උදෙසා සිදු කළ යුතු තේවා කටයුතු සිදුකළ යුතු ආකාරය උභය මහා විහාරීය මහා සංඝරත්නය මහා නාහිමිවරු මූලිකත්වයෙන් සාකච්ඡා කොට එකඟතා ඇතිකර ගනිමින් ඒවා සම්මතකර ගත්හ. එම චාරිත්‍ර අද ද නොනැසී ඒ ආකාරයෙන් පවත්වාගෙන ඒමට උභය මහා විහාරීය මහනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු කටයුතු කිරීම සුවිශේෂී කරුණකි.

ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය මහා විහාර දෙකට භාරදීමත් පසු ඇතිකරගත් එකඟතාවන් අනුව තේවා කටයුතු වර්ෂයක් පාසා හුවමාරු කර ගනිමින් උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරනු ලබති. වාර්ෂික වස් එළඹීම සිදුකෙරෙන ඇසළ පුන් පොහෝ දිනට පසුදින මෙම තේවා මාරුව සිදුකිරීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රයයි. ඒ අනුව මෙවර දළදා තේවාමාරුව මල්වතු පාර්ශ්වයෙන් අස්ගිරි පාර්ශ්වයට පවරාදීම ඇසළ පුන් පොහෝ දිනට පසුදා එනම් 20 වන දින සිදුකෙරෙනු ඇත.

තේවාමුර මාරුව මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබති. තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ පත්කිරීම සිදුකරනු ලබන්නේ අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටතේ ය. ඒ සඳහා වර්තමානයේ භික්ෂූන් වහන්සේ පස්නමක් පත්කරනු ලබන අතර උඩු මහලේ දන්ත ධාතුන් වහන්සේ අබියස තේවා කටයුතු සඳහා තෙනමක් පත් කෙරෙයි. අදාළ පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කරන්නාවූ ජ්‍යෙෂ්ඨ හිමිවරු තෙනමක් මේ සඳහා පත්කෙරෙන අතර ඉන් එක් නමක් දළදා තේවා භාර නායක හිමි ලෙස කටයුතු කරති. උන්වහන්සේ තේවා කටයුතුවල ප්‍රධානත්වය ගනී.

පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරුප්පුවට එක් නමක් වශයෙන් සෙසු දෙනම පත් කෙරෙන අතර උන්වහන්සේලා තේවාව භාර පාර්ශවයේ නේවාසික උපසපන් භික්ෂූන්වීම අනිවාර්යය සාධකයකි. ආගමික කටයුතු කෙරෙහි දක්ෂතාව ඇති ශ්‍රද්ධා සම්පන්න ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේ සඳහා පමණක් මෙම උතුම් අවස්ථාව හිමිවෙයි.

තේවා මාරුව සිදුවන අවස්ථාවේ දළදා මාලිගාවේ ලේකම්තැන වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලුම බඩු භාණ්ඩවල ලේඛනය සෙවුවායින් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමි භාණ්ඩ භාර ගැනීම සිදු කරයි. අනතුරුව තේවා මාරුව සිදුවෙයි. දළදා මැදුරේ විහාරාධිපති වශයෙන් තේවා භාරකාරත්වය මහා නාහිමියන්ට පැවරෙන අතර උන්වහන්සේ විසින් පත්කරන්නාවූ හිමිවරු පස්නම විසින් අදාළ පුද පූජාවන් නො අඩුව සිදු කිරීමට වගබලා ගනිති. තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නයට සහායවීම පිණිස දියවඩන නිලමේතුමන් විසින් නිල වශයෙන් ගිහි පිරිසක්ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි.

පල්ලේමාලයේ තේවා කටයුතුවල නිරත නොවූ භික්ෂුවකට ඉහළ මාලයේ තේවා කටයුතු කිරීමට අවකාශ නොලැබෙන අතර පල්ලේ මාලයේ තේවාව සිදුකිරීම යනු දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ තේවා කටයුතු සිදු කිරීමට ලබාගන්නා පෙරහුරුවක් ලෙස දැක්විය හැකිය. දළදා මාලිගාවේ සිදුකෙරෙන්නා වූ තේවා මුරයට අයත් සුවිශේෂී කටයුත්තක් වන්නේ සෑම සතියකම බදාදා දින සිදු කෙරෙන්නා වූ නානුමුර මංගල්‍යයයි.

අස්ගිරි මහා විහාරයේ ඉහළ පන්සල, මැද පන්සල හා පහළ පන්සල ලෙසින් පාර්ශ්ව තුනක් ක්‍රියාත්මකවන අතර දළදා තේවා කටයුතු අස්ගිරි පාර්ශ්වයට පැවරෙන අවස්ථාවේ මෙම පාර්ශ්ව තුනට එම අවස්ථාව බෙදී යයි. අදාළ පාර්ශ්වයෙන් සුදුසු භික්ෂූන් වහන්සේ නම් කළ පසු මහ නාහිමියන්ගේ අනුමැතිය මත දළදා තේවාවට භික්ෂූන් වහන්සේ පත් කෙරෙයි.

ආනන්ද රහතන් වහන්සේ බුදුන් උදෙසා එකල සිදුකළා වූ ඇප උපස්ථාන ඒ අයුරින්ම ජීවමාන බුදුන් සේ සලකන්නාවූ දළදා සමිඳුන් උදෙසා ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරෙයි. එදා අනඳ හිමි බුදුන් උදෙසා කළ උපස්ථානය මෙකල සිදු කිරීම සඳහා මහා පුණ්‍ය බලයක් භික්ෂුවකට තිබිය යුතු ය.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]