Print this Article


බුදුපිළිමයේ උපත - 23:  දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මූර්ති කැටයමෙන් නිරූපණය වේ

බුදුපිළිමයේ උපත - 23: 

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මූර්ති කැටයමෙන් නිරූපණය වේ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුපියාණන් වහන්සේ බුද්ධගයාවේ සත් සතිය ගත කිරීමෙන් අනතුරුව මෙකල කිලෝමීටර් 250ක් පමණ දුර මඟ ගෙවා පා ගමනින් සාරානාත් හෙවත් නූතන යුගයේ සාරානාතයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග තවුසන් සිතුවේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සියලු දුක් විඳීම් ඉවත දා නැවතත් සැපවත් ජීවිතයකට පත්වී ඇතිසේය. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නොදැක්වීමට ඔව්හු කතිකා කර ගත්හ. එසේ වුවද බුදුරජාණන් වහන්සේ විසින් පස්වග තවුසන් සමීපයට වැඩම කරවන අවස්ථාවේදී තම කැමැත්තෙන්ම සිටි තැන්වලින් නැගිට බුදුරජාණන් වහන්සේට ගෞරව හා පුද සත්කාර කිරීමට පස්වග තවුසෝ පටන් ගත්හ.

-බුදුපියාණන් වහන්සේ බුද්ධගයාවේ සත්සතිය ගත කිරීමෙන් අනතුරුව මෙකල කිලෝමීටර් 250ක් පමණ දුර මඟ ගෙවා පා ගමනින් සාරානාත් හෙවත් නූතන යුගයේ සාරානාතයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග තවුසන් සිතුවේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සියලු දුක් විඳීම් ඉවත දා නැවතත් සැපවත් ජීවිතයකට පත්වී ඇතිසේය.

එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නොදැක්වීමට ඔව්හු කතිකාකර ගත්හ. එසේ වුවද බුදුරජාණන් වහන්සේ විසින් පස්වග තවුසන් සමීපයට වැඩම කරවන අවස්ථාවේදී තම කැමැත්තෙන්ම සිටි තැන්වලින් නැගිට බුදුරජාණන් වහන්සේට ගෞරව හා පුද සත්කාර කිරීමට පස්වග තවුසෝ පටන් ගත්හ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ ළංවත්ම ඔව්හු තමන් කරගත් කතිකාවන්හි පිහිටා සිටින්නට නොහැකිවූහ. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්හ. තවත් තවුසෙක් පා සේදීමට දියද, පා පුටුවද, පාද කඨලිකාවද ගෙනවුත් ළං කොට තැබීය. (ශාක්‍ය මුනින්ද්‍රවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමි පි. 81 (2000) භාග්‍යවතුන් වහන්සේ ද පැනවූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන්පසු තවුසෝ බුදුරජාණන් වහන්සේ පෙරසේ තමනට සම කෙනෙකුට කතා කරන්නාක් මෙන් ඇවැත්නි, ගෞතමයෙනි කියා ආමන්ත්‍රණය කරන්නෝ ඇවැත්නි ගෞතමයෙනි. අපි ඒ කාලයෙහි ඌරුවේලායෙහි වසන්න මෝ ඔබගේ පාසිවුරු ඔසවාගෙන හැසුරුනෙමු. මුවදෝනා දිය හා දැහැටි පිළියෙළ කොට දුනිමු. ඔබ විසූ පිරිවෙන ඇමද්දෙමු.

ඉන්පසු ඔබට වත් පිළිවෙත් කළෝ කවුරුද අප ඔබ හැර දමා ගිය කල අප ගැන යමක් සිතුණේ නැද්ද? යන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හා කතාවට පටන්ගත්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා මහණෙනි, තථාගත වූ තැනැත්තහුට ඇවැත්නි කියාත්, නම කියාත් ආමන්ත්‍රණය නොකරව්.

මහණෙනි, තථාගත තෙම සියලු කෙලෙස් නැසූහ. මනාකොට සියලු ධර්මයන් තෙමේම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, කන් යොමු කරව්, තථාගත වූ මවිසින් නිවන ලද්දේය.

ඒ ඔබ යුෂ්මතුන්ට අනුශාසනා කරමි. (ඉහත සඳහන් ග්‍රන්ථය පි. 82 ) බුදුරජාණන් වහන්සේ ධර්මය හඳුන්වා ඇත්තේ චක්‍රයකටය. මෙහි චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු ධර්මයේ අණසක කිසිදු වෙනසකින් තොරව ලෝකයෙහි පැවැත්වීමයි. අනෙක් අතින් මෙම සූත්‍රයට ඇතුළත් චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. (Lalithavistara – P -51 )
 

චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා පමණක් නොව බුදුරජාණන් වහන්සේ මානව රූපීව මූර්තිමත් කරන්නට පෙර (කනිශ්ක රාජ යුගයේ ගන්ධාරයේ බුදු පිළිම නිර්මාණයට පෙර ක්‍රි.ව. 2 සියවස) භාවිතා කළ අනෙකුත් ලාංඡන අතරේ සිරිපතුල ඡත්‍රය ශ්‍රී මහබෝධිය මෙන්ම ධර්ම චක්‍රයද භාවිතා කර ඇති බව පුරාණ භාරතීය මූර්ති කලාවෙන් පැහැදිලි වේ. ඒ බව භාරුත් සාංචි ආදී මූර්ති කැටයම්වලින්ද පැහැදිලිවේ.

චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලා ශිල්පවල යොදාගෙන තිබුණද ප්‍රථම ධර්ම දේශනා අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත් සංකේතය ලෙසට පත්ව ඇති බව සාංචි, අමරාවතී, ගන්ධාර හා භාරුත් වැනි පුදබිම්වල මූර්ති කැටයම්වලින් දැකගත හැකිය. අංක එක සාංචි ස්තූපයේ බටහිර තොරණේ දෙවැනි පෙළෙහි සාරානාත්හි (බරණැස) තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව පැවැත් වූ බැව් එහි හරිමැද විශාල ධර්ම චක්‍රයක් කැටයම් කිරීමෙන් පෙන්වා ඇත. ධර්ම චක්‍රය දෙපස සතා සිව්පාවුන් ඇතුළු විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ආකාරයෙන් සිහිපත් කරන්නේ එම දේශනාව අවසානයේ අකණිටා බ්‍රහ්ම ලෝකය තෙක් දෙව් මිනිසුන් සාධු නාද පැවැත් වූ අවස්ථාව යැයි අනුමාන කළ හැකිය. එසේම දැනට කල්කටා කෞතුකාගාරයෙහි ඇති චක්‍රයෙන් පෙන්නුම් කරන්නේද ප්‍රථම ධර්ම දේශනාවයි. මෙහිදී දෙවිවරුන් හා මිනිසුන් බුදුරජාණන් වහන්සේට (චක්‍රයට) නමස්කාර කරනු දැක්වෙයි. එමෙන්ම මුවන් දෙදෙනෙක්ද චක්‍රය දෙපස වෙයි. මෙම චක්‍රය, ප්‍රථම ධර්ම දේශනාව මූර්තිමත් කරමින් නිමවන ලද්දක් බව එයින්ද පැහැදිලිවෙයි. එයට හේතුව බුදුපිළිමය ඇතිවීමෙන් පසුවද දම්සක් දෙසුම පැවැත්වීම දක්වන ප්‍රතිමාවන්ට පහළින් මිගදාය සිහිපත් කිරීමට මුවන් දෙදෙනෙක් හෝ කැටයම් කර තිබේ. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ මහාචාර්ය, අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමි. (පි. 5 2010) )


පසුගිය සතියෙන්:- බුදුපිළිමයේ උපත - 22:  ප්‍රථම ධර්මදේශනයට පසුබිම සැකසීම