UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කලාවැව නෑගම්පහ කන්දේගම සිංහගිරි රජමහා විහාරය

කලාවැව නෑගම්පහ කන්දේගම සිංහගිරි රජමහා විහාරය

චෛත්‍යය

අටවිසි බුදුරජාණන් වහන්සේලා  සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් අටවිසි බෝධීන් වහන්සේලා වෙන වෙනම රෝපණය වූ විහාරස්ථානයකි. කලාවැව, නෑගම්පහ, කන්දේගම සිංහගිරි රජමහා විහාරය.

ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලැබීමට පෙර එවැනිම තවත් බුදුවරු විසිහත් නමක් සම්බුද්ධත්වයට පත්ව වැඩ සිටියහ. එලෙස බුදුවීමට බෝධින් වහන්සේලා විසි අට නමක් පිහිටවූ බව සඳහන් වේ.
කන්දේගම නාරද හිමි පොතුවිල සරණතිස්ස හිමි

තණ්හංකර බුදුරජාණන් වහන්සේ රුක්අත්තන බෝධිය මුලද, මේධංකර බුදුරජාණන් වහන්සේ ගස්කෑල බෝධිය මුලද, සරණංකර බුදුරජාණන් වහන්සේ පලොල් බෝධිය මුලද, දීපංකර බුදුරජාණන් වහන්සේ පතන බෝධිය මුලද, කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ සල් බෝධිය මුලද, මංගල බුදුරජාණන් වහන්සේ නා බෝධිය මුලද, සුමන බුදුරජාණන් වහන්සේ නා බෝධිය මුලද, රේවත බුදුරජාණන් වහන්සේ නා බෝධිය මුලද සෝභිත බුදුරජාණන් වහන්සේ නා බෝධිය මුලද, අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ කුඹුක් බෝධිය මුලද, පදුම බුදුරජාණන් වහන්සේ මුරුත බෝධිය මුලද, නාරද බුදුරජාණන් වහන්සේ මුරුත බෝධිය මුලද පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හොර බෝධිය මුලද සුමේධ බුදුරජාණන් වහන්සේ බක්මී බෝධිය මුලද, සුජාත බුදුරජාණන් වහන්සේ කොළ උණ බෝධිය මුලද, පියදස්සී බුදුරජාණන් වහන්සේ රුක් බෝධිය මුලද, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ සපු බෝධිය මුලද, ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ රත්කරව් බෝධිය මුලද, සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ කිණිහිරිය බෝධිය මුලද, තිස්ස බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධිය මුලද, ඵුස්ස බුදුරජාණන් වහන්සේ නෙල්ලි බෝධිය මුලද, විපස්සී බුදුරජාණන් වහන්සේ පලොල් බෝධිය මුලද, සිඛී බුදුරජාණන් වහන්සේ ඇටඹ බෝධිය මුලද, වෙස්සභු බුදුරජාණන් වහන්සේ සල් බෝධිය මුලද, කකුසඳ බුදුරජාණන් වහන්සේ මාර බෝධිය මුලද, කෝණාගම බුදුරජාණන් වහන්සේ අට්ටික්කා බෝධිය මුලද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නුග බෝධිය මුලද, ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධිය මුලද බුද්ධත්වයට පත්වු සේක.

එවැනි බෝධින් වහන්සේ විසි අට නමක් වැඩ සිටින කලාවැව,නෑගම්පහ, කන්දේගම සිංහගිරි රජමහා විහාරස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ඉතා පැරණිතම විහාරස්ථානයකි. මෙහි ඉතිහාස කතාව දේවානම්පියතිස්ස රජ සමය දක්වා දිවෙන බව වත්මන් නාමළුව සිංහගිරි රජමහා විහාරාධිකාරි වාණිජවේදී පොතුවිල සරණතිස්ස හිමියෝ පැවසූහ.

නාමළු විහාරස්ථානයේ ඇති ඉපැරණි බෝධිය (ඇසතු බෝධිය) ඉපැරණි විහාර මන්දිරය

මෙහි වැඩ වාසය කරන ඇසතු බෝධීන් වහන්සේ වසර සිය ගණනක් පැරණිය. රජ සමයේ විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගරා වැටීමෙන් පසුව එම ස්ථානයේම අලුතින් චෛත්‍යයක් ඉදිකර තිබෙන අයුරු දක්නට ලැබේ. ගල්කණු සඳකඩ පහන්,ඇතුළු ඓතිහාසික වටිනාකමකින් යුතු සම්පත් රැසක් අදද මෙහි දැකගත හැකිය. සඳකඩ පහන් තුනක් ද පවතින හෙයින් ඒවායෙහි සත්ත්ව රූප නොපවතී. සත්ව රූප නැතිව තිබුණේ මුල්ම යුගයේ සඳකඩපහන්වල . ඒ නිසා මෙම ස්ථානය ඉතාම පැරණි සිද්ධස්ථානයක් බව පැහැදිලියි යැයි පොතුවිල සරණතිස්ස හිමියෝ පැවසූහ.

සිංහගිරි රජමහා විහාරස්ථානය පිහිටි කඳුමුදුනේ සිට ගලා එන උල්පත් ජලයෙන් ප්‍රදේශයේ ජනතාවගේ පැන් පහස සංසිදුවාලනු ලැබේ. විහාරස්ථානයේ අවශ්‍යතා සඳහා ජලය සපයා ගනු ලබන්නේද එම උල්පත් මගින් බව ප්‍රදේශවාසීහු පවසති.

විහාරස්ථාන භූමියේ බෝධි උයනක් අලුතින් නිර්මාණය කර තිබේ. එම බෝධීන් වහන්සේ වන්දනා මාන කිරීම සඳහා මාර්ග පද්ධතිය වැලි අතුරා සකස් කිරීමද බෝධින් වහන්සේලාගේ ආරක්ෂාවට බෝධිය වටේ ආවරණ සකස් කිරීමද මේ දිනවල සිදුකරයි.

සෑම මසකම පුර පසළොස්වක දින අටවිසි බුද්ධ වන්දනාව හා බෝධි වන්දනාව මෙම ස්ථානයේදී පැවැත්වෙනවා යැයි පොතුවිල සරණතිස්ස හිමියෝ පැවසූහ.

නාමළු සිංහගිරි රජමහා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ධුරය හොබවනු ලබන්නේ කන්දේගම නාරද ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ කන්දේගම ග්‍රාමයේ උපත ලබා මේ වන විට මහර දළුපිටිය පුරාණ ජයසුන්දරාරාම විහාරාධිපති වශයෙන්ද කටයුතු කරනු ලැබේ. ඓතිහාසික නාමළු සිංහගිරි විහාරස්ථානය වෙත ලඟාවීමට ඇත්තේද ඉතා කෙටි දුරකි. අවුකන සිට කරවිලගල හරහා කිලෝමීටර් අටක පමණ දුරකින් නාමළුව විහාරස්ථානය වෙත ලඟාවිය හැකි අතර රැස්වෙහෙර සිට කිලෝමීටර් පහළොවක පමණ දුරකින් ලඟාවිය හැකිය.

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]