![]() |
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 13 වනදා සිකුරාදා |
||||||||
ලක්දිව පුරා ප්‍රචලිත කේන්ද්‍රස්ථානයකි
ශ්‍රී ලංකාවේද අට සැට ලෙනේ සිට අෂ්ට මූලායතන දක්වා සංවර්ධනය වූ විහාර සංකීර්ණ ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවටත් අධ්‍යාපන මධ්‍යස්ථාන බවටත් පත්වුණි. මෙකී ආරාම සංකීර්ණ නාමාවලියේ මෑතකාලීන අධ්‍යාපන මධ්‍යස්ථානයක් වු පානදුර පින්වත්තේ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් විහාරය ලක්දිව පුරා ප්‍රචලිත කේන්ද්‍රස්ථානයකි. ආදිකර්තෘ අතිපූජ්‍ය පින්වත්තේ සීලානන්ද නායක මාහිමිපාණන් වහන්සේ, අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායකව වැඩ සිටි අතිපූජ්‍ය පොහද්දරමුල්ලේ ඤාණානන්ද මහනාහිමි, නිකායේ ලේඛකාධිකාරිව වැඩසිටි, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය පින්වත්තේ දේවානන්ද නාහිමියන් ආදී මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලා ආරම්භ සමාරම්භ කොට රක්ෂිත සුරක්ෂිත කළ හෙයින් ප්‍රපූජ්‍යත්වයට හා සුස්ථීරත්වයට පත් මෙම සද්ධර්මාකර පිරිවෙන් ආයතනය හා විහාරය අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මූලස්ථානයක් ලෙස හඳුන්වා දිය හැක. මෙකී පිරිවෙන් විහාරයේ වර්තමාන විහාරාධිපති අප නිකායේ අනුනායක අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද මාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීම හා අවවාද අනුශාසනා පරිදි අංග සම්පූර්ණ හා දර්ශනීය සංඝාවාස සංකීර්ණයක් ඉදිකරවා සතර දිගින් වඩින මහා සංඝරත්නයේ කැපසරුප් පරිහරණය සඳහා පූජා කරන මෙම ඓතිහාසික මොහොතේ ඒ සඳහා කාලය ශ්‍රමය හා ධනය වැය කළ සියලු දෙනාහට මෙයින් ආශිංසනය කරම්හ.
ආධ්‍යාත්මික ජීවිතයේ ශාන්ති නිකේතනය පන්සලය
වර්තමානයේ, ගම්මාන මැකී යමින් නාගරික හෝ අර්ධ නාගරිකයින් බිහිවන පසුතලයක පන්සල ද තම අතීත හැඩතලයන් කෙරෙන් දුරස් වෙමින් කාර්යබහුල මිනිසාගේ ජීවන යාන්ත්‍රණය සමඟ එක්වෙමින් සාම්ප්‍රදායික භෞතික හැඩරුවින් වෙනස් වෙමින් නවීන විහාරාරාංගයන්ගෙන් සමන්විත වෙනු පෙනේ. පානදුර පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ අභිනව දෙමහල් සංඝාවාසය ඉදිකෙරෙන්නේද නූතන අවශ්‍යතාවයන් සපුරාලමින් පැවිදි සිසුන්ගේ අධ්‍යාපනය විෂයෙහි වඩාත් ඉඩ පහසුකම් සලසාදීමේ පියවරක් ලෙසිනි. රජය පිරිවෙන් අධ්‍යාපනයට සුවිශේෂ අවධානයක් යොමුකර ඇති වර්තමානයේ මෙවන් අනුග්‍රහයන් අප සියලු දෙනාගේ ඇගයීමට ලක්විය යුතුය. එහිලා විහාරාධිපති අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය ද, මඟපෙන්වීම ද, මහඟු පිටිවහලක් සපයන ලද බව අමතක නොකළ යුතුවේ. එමතුද නොව දශක තුනක් තිස්සේ අප නාහිමිපාණන් වහන්සේ පිරිවෙන් විහාරස්ථානයේ අභිවෘද්ධියට ඉටුකළ සුවිශාල සේවාව ඔස්සේ අද දවසේ සද්ධර්මාකර විද්‍යායතන, පිරිවෙන් විහාරස්ථානය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද නාහිමිපාණන් වහන්සේට, සමස්ත බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය පිරිනැමෙනු ඇත. සද්ධර්මාකර පිරිවෙනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි
දෙස් විදෙස් ධර්මදූත මෙහෙවරෙහි නියුතු ධර්ම ශාස්ත්‍ර ගවේෂණයෙහි අගතැන් ගිහි පැවිදි උගතුන් රැසක් බිහි කළ මහා තක්ෂිලාවක් ලෙසද, ප්‍රදේශයේ ආගමික, අධ්‍යාපනික, සමාජයීය, ආර්ථික දියුණුවට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ පුදබිමක් ලෙසද පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. කලින් කලට ශ්‍රේෂ්ඨ යතිවරුන්ගේ කැපවීම, අප්‍රතිහත ධෛර්යය තුළ දියුණුවට පත් වූ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනට විහාරාධිපති අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අභිනව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදි කරගත හැකි වීම සතුටට කරුණකි. අභිනව සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කිරීමේ පූජෝත්සවය සහ සර්වරාත්‍රික පිරිත් ධර්ම දේශනාව, සැම සිත් පහන් වන උත්තරීතර අවස්ථාවක් වේවායි මෙත් සිත් පෙරදැරිව ශුභාශිංසන පිරිනමමි. |
|||||||||
©
2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |